Main Logo

Monday 3 October 2016

ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


නුතනත්වය අද ජාත්‍යන්තරවාදයෙන් මිදෙමින් පවතිනවා. අර පශ්චාත්නූතනත්වය යන්න ඇතැම් බටහිර පඬියන්ගේ හිත්වල ඇතිවුණු භ්‍රාන්තියක් පමණයි. නූතනත්වය ආරම්භ වුනේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ. එහි ආරම්භය කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට මාරුවුණු චින්තන විප්ලවය සමග බැඳී තිබෙනවා. එහි ප්‍රධාන කරුණක් වූයේ සාමූහිකත්වයෙන් පුද්ගලිකත්වයට මාරුවීම. තවත් කරුණක් වූයේ වියුක්ත චින්තනය. ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද බිහිවුණේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි. ලෝකය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් වෙනුවෙන් බව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මෙන් ම කතෝලික චින්තනයෙහි ද පිළිගැනෙනවා. ඒ නිසා එය ධනවාදයටත් මාක්ස්වාදී සමාජවාදයටත් පොදුයි.

චින්තන විප්ලවයෙහි ප්‍රතිඵලයක් ලෙස ඊනියා ජාතික රාජ්‍ය බිහිවූවා. මෙයින් කියැවෙන්නේ යුරෝපිය රටවල ජාතිය යන සංකල්පය ගොඩනැගුණේ  ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතේ බවයි. ඒත් එයින් කියැවෙන්නේ නැහැ ලෝකයේ අනෙක් රටවලත් ජාතිය ඇතිවුනේ එම චින්තනය යටතේ බවක්. ලංකාවේ හා චීනයේ ජාතිය ඇතිවුනේ අවුරුදු දෙදහසකටත් වඩා ඈත කාලයක. මෙරටට එකල කීවේ සිංහලේ හෙවත් සිංහල දේශය. සිංහලේ හිටියේ සිංහලයන්. සිංහලයන්ට සිංහල නමින් විඥානයක් තිබුණු නිසා තමයි විදේශිකයන් අපට සිංහලයන් කියා කිවුවේ. සිංහලේ කියන එක අරාබියෙන් සෙයිලාන් වුනා. පෘතුගීසීන් හරහා ඉංගිරිසියෙන් සිලෝන් වුනෙ අරාබි සෙයිලාන්. එපමණක් නොවෙයි. දෙමළෙන් ඊළාම් කියන්නෙත් සිංහලාම් කියන එකෙන් බිඳී එන්නක්. මදුරාසි (චෙන්නායි) විශ්වවිද්‍යාලයේ දෙමළ ශබ්ද කෝෂයෙහි ඒ බව සඳහන් වෙනවා. විග්නේස්වරන් මේවා නොදන්නවා වෙන්න බැහැ. ඔහු බටහිරයන්ගේ අවශ්‍යතාවට ඒ නොසලකා හරිනවා. සිංහල දේශපාලනඥයන් නම් බොහෝ දෙනකු, ඒකාබද්ධ විපක්‍ෂයේත් ඇතුළුව,  මේ කිසිවක් දන්නේ නැහැ.

දෙමළ භාෂාව කතාකරන ජනයාට දෙමළ නමින් විඥානයක් දහනවවැනි සියවසට පෙර තිබී නැහැ. පාණ්ඩ්‍ය චෝල පල්ලව වැනි රාජ්‍ය දෙමළ නොවෙයි. සිංහලයන් අතීතයේ දී දෙමළ කියා කිවුවේ සතුරනට. අප පෘතුගීසීන්ටත් දෙමළ කියා කිවුවා. රාජාවලිය ඒ සම්බන්ධ සාක්‍ෂි දරනවා. අපේ සංස්කෘතිය යම් පමණකට උකහාගත් කාම්බෝජ වැසියන් සතුරන්ට දෙමළ කියා කියනවා. ඒ කෙසේ වෙතත් යුරෝපයේ ජාතීන් ඇතිවීමට පෙර සිංහල හා චීන ජාතීන් ඇති වී තිබෙනවා. දෙමළ විඥානය වත්මන් තමිල්නාඩුව ප්‍රදේශයේ ඇති කෙළේ දෙමළ කතෝලික පූජකවරුන්. දෙමළ විඥානයක් මුලදී නොතිබූ නිසා ම අපි දෙමළු වැනි ව්‍යාපාර අද තමිල්නාඩුව කියන ප්‍රදේශයේ ඇති වුනා. ඒ සටන්පාඨය දෙමළ විඥානයක් ඇතිකිරීම සඳහා ම ගොතාගත්ත එකක්. ලෝකයේ කිසිම රටක කිසිම දිනෙක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. පාණ්ඩ්‍ය චෝල පල්ලව ආදිය වාංශික රාජ්‍ය මිස කිනම් අර්ථයකින්වත් දෙමළ රාජ්‍ය නොවෙයි.  මෙරට සිංහල විඥානයේ ආරම්භය හත්වැනි අටවැනි සියවස්වලට දීමට කතාකරන ලෙස්ලි ගුණවර්ධන වගේ ඉතිහාසඥයන් දෙමළ විඥානය ගැන කතා නොකෙළේ ඔවුන්ට කසිකබල් මාක්ස්වාදයෙන් උරුම වුනු සිංහල බෞද්ධ විරෝධි මනසක් තිබූ නිසයි. ඔවුන්ගේ මත පුනරුච්චාරණය කරන වත්මන් පුස්සන් ගැන කතාකීිමට තරම්වත් දෙයක් නැහැ. මයිකල් ප්‍රනාන්දු කියන්නෙ අනන්‍යතාව කියන වචනයේ තේරුමවත් දන්නෙ නැති හිටපු සිංහල මහාචාර්යවරයෙක්.

යුරෝපීය ජාතීන් ඇතිවීමේ දී මානව අයිතිවාසිකම් වැනි සංකල්ප ද ක්‍රමයෙන් විකාශය වූවා. ඒ රාජ්‍යයේ ආධිපත්‍යයෙන් පුද්ගලයන් මිදීම සඳහා. කලින් තිබූ සාමූහිකත්වය මූලික කරගත් යුරෝපීය වැඩවසම් රාජ්‍යයන්හි පුද්ගලයන්ට නොතිබූ අයිතිවාසිකම් ජාතික රාජ්‍යයන්හි ක්‍රමයෙන් ඇතිවුනා ඒ අතර රාජ්‍ය අතර වෙළඳාම වැඩී යාමේ ප්‍රතිඵලයක් ලෙසත් මානව අයිතිවාසිකම් සංකල්පය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසත් ඊනියා ජාත්‍යන්තරවාදයක් බිහි වූවා.  මානව අයිතිවාසිකම් අද වන විට ජාත්‍යන්තරවාදයේ හා යටත්විජිතවාදයේ මෙවලමක් බවට පත්වෙලා.

ජාත්‍යන්තරවාදය කියන්නේ හුදෙක් බුද්ධිමය සංකල්පයක්. අපට මිනිසුන් ලෙස හැඟීමක් තිබෙනවා. එතනින එහාට යන මිනිස් විඥානයක් නැහැ. එය බටහිර උගතුන්ගෙ හා කසිකබල් මාක්ස්වාදයේ සංකල්පයක් පමණයි. බර්ලින් තාප්පය බිඳවැටීමෙන් පස්සෙ බටහිර උගතුන්ගෙ මත හා මාක්සාවාදී මත අභිසාරී වෙන්න, එකට එකතු වෙන්න, පටන් ගත්තා. අද වන විට ධනවාදය සමාජවාදය වගේ වචනවලට තිබූ තේරුම් වෙනස් වෙලා. ඔවුන්ට ඇත්තෙ ඊනියා ජාත්‍යන්තරවාදයක්. අද කසිකබල් මාක්ස්වාදීන් ද සේවය කරන්නෙ මිනිසුන්ගෙ හිත්වල නැති ඊනියා ජාත්‍යන්තරවාදයකට. ඔවුන් ජාතිකවාදයට විරුද්ධයි. ලිබරල්වාදී පඬියන් හා මාක්ස්වාදී පඬියන් අතර ඇත්තේ සමානත්වයක්. කසිකබල් මාක්ස්වාදීන් ද අද සේවය කරන්නේ ජාතිකත්වයට එරෙහිව ඊනියා මානව අයිතිවාසිකම්වලට හා යල්පැනපු ජාත්‍යන්තරවාදයට. එමගින් ඔවුන් ධනවාදයටත් සේවය කරනවා.

මෙරට මාක්ස්වාදීන් දෙස බැලීමෙන් ද මේ කාරණය හොදාකාරව ම පෙනෙනවා. මේ බටහිර ගැති ඉන්දියාව ඉදිරියේ දණින් වැටුණු ආණ්ඩුව පිහිටුවීමට ජ වි පෙ වගේම ඊනියා පැරණි වමේ ද බොහෝ කොටස් සහභාගි වුනා. ඔවුන් බටහිරට හා ඉන්දියාවට එහි දී සහාය දුන්නා. ඩිව් ගුණසේකර වැන්නවුන් ද ඉන්නේ එතන. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉඳිමින් ජාතිකත්ව වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නවා. අද සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව සකසන්නට මෙරට බටහිර ඒජන්තයා වූ රනිල් සමග එකතු වු ඉන්නේ මාක්ස්වාදී පුස්සන්. ඔවුන් එකතු කෙරෙන්නේ ජාතිකවාදයට ඔවුන්ගේ ඇති විරුද්ධත්වය මගින්. මේ ඊනියා ජාත්‍යන්තරවාදීන්ට අවශ්‍ය සිංහල බෞද්ධකම, සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට සුවිශේෂත්වය නැති කිරීම පමණයි. එහි දී ඔවුන් බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගන්නවා. ඒත් මොවුන් නොදන්නා දේ තමයි ඊනියා ජාත්‍යන්තරවාදය අද ලෝකයෙන් තුරන්වීම ආරම්භ කර ඇති බව. එහි දී මූලිකත්වයක් ගැනීම පිළිබඳ ව අපට සතුටක් ඇති වෙනවා. බ්‍රෙක්සිට්, පුටින් පමණක් නොවෙයි ට්‍රම්ප් ද කියන්නේ ඊනියා ජාත්‍යන්තරවාදයේ මළගම වැඩි ඈතක නොවන බවයි.




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 ඔක්තෝම්බර් 03