Main Logo

Sunday 23 October 2016

මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


දහහතරවැනි සියවසේ මලබාරයේ මලයාලම් වචන සහිත දෙමළ කතාකළ මුස්ලිමුන් මෙරටට පැමිණීමෙන් පසු බටහිර වෙරළ තීරුවේ පදිංචි වුනා. මෙරට මුස්ලිම් පල්ලිවල ඉතිහාසය වැඩි ඈතකට යන්නෙ නැහැ. අවුරුදු පන්සීයකට අඩුයි. මා කලින් කී පරිදි මුස්ලිමුන් ඔවුන්ගේ මලබාර ඉතිහාසය තමන්ට ආරෝපනය කරගත්තා. මුස්ලිමුන් තමන් ඇවිත් අවුරුදු එකසිය පනහකට විතර පස්සෙ පැමිණි පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට පහරදීම්වලට හසුවුනා. සෙනරත් ඇතුළු සිංහල රජවරු මුස්ලිමුන් රුහුණු රටේ (වත්මන් නැගෙනහිර පළාතේ) හා කඳුකරයේ පදිංචි කෙරුවා. මෙය අප හොඳින් තේරුම් ගත යුතුයි. මුස්ලිමුන් මේ රටේ රටවැසියන්. ඒ බව අප කවුරුත් පිළිගන්නවා. එහෙත් ඔවුන්ට ඊනියා නිජභූමියක් නැහැ.


ඔවුන්ට සිංහල නම් තිබෙන බවත් අමතක නොකළ යුතුයි. ඒ විවාහයෙන් හෝ සිංහල රජවරුන්ගෙන් හෝ ලැබුණු නම්. මා සමග මුස්ලිම් කොංග්‍රසයේ කාරියප්පර් වරක් කීවේ කාරියප්පර් (කාරිය ප්‍රධානියා) යන්න කාරියකරවන යන්නෙන් බිඳුණු එකක් බව. ඒ සිංහල රජවරුන්ගෙන් ලැබුණු නමක්. දෙමළ ජනයාටත් එවැනි සිංහලෙන් බිඳුණු නම් තිබෙනවා. වත්මන් උතුරු පළාතේ වෙල්ලාල හා තවත් කුලයකට දෙකකට හැරෙන්න අනෙක් කුලවල ජනයා දෙමළ සංස්කෘතියට අවශෝෂණය වුනු සිංහල ජනයා. ඉන්දියාවේ මුස්ලිමුන්ට හෝ දෙමළ ජනයාට නොමැති නමුත් මෙරට ඒ ජනයාට ඇති නම් ගැන යමකුට අධ්‍යයනයක් කළ හැකියි.   

නිජභූමිය කියන්නෙ කුමක් ද? මෙය බටහිර සංකල්පයක්. බටහිරයන් නිජභූමිය යන්න ජනවර්ගයක් වෙනුවෙන් යොදන්නේ සංස්කෘතික සම්බන්ධයක් ඇතිව බොහෝ කාලයක් පදිංචි වී සිටි භූමියක් යන අරුතින්. එය ජනවාර්ගික අනන්‍යතාව ආරම්භ වූ භූමිය විය යුතුයි. මේ නිර්ණායක අනුව මෙරට නිජභූමිය වන්නේ කාගේ ද? මෙහි නිජභූමිය යනු පුද්ගලයකුගේ උපන්බිම නො වෙයි. ජනවර්ගයක සංස්කෘතියක උපන්බිම. ඉංගිිරිසියෙන් ජනවර්ග ගැන කියන විට හෝම්ලන්ඩ් යන්න යොදාගන්නවා. පුද්ගලයන් ගැන කියන විට හෝම්ටවුන් ආදී වචන භාවිතා වෙනවා. මෙහි උපන්, හැදුණු වැඩුණු යන්න ගැබ් වී තිබෙනවා.

මෙරට මුස්ලිම් ජනයාගේ සම්භවය කුමක් ද? එය මලබාර් වුවත්, මුස්ලිමුන් කියන විධියට අරාබිය වුවත්, ලංකාව නොවෙයි. ඔවුන් ලංකාවට ඇවිත් තාම අවුරුදු හයසීයකට වැඩි නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය උපන්නේ ලංකාවේ නොවෙයි. අනෙක් අතට ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ  සන්තතික (එකට ගෑවුණු) තීරුවක පදිංචි වී නැහැ. ඔවුන් පදිංචි වී ඉන්නේ සිංහල රජවරුන් ඔවුන් පදිංචි කරපු ප්‍රදේශවල. එකල එහි සිටියෙ සිංහල මිනිසුන්. ඒ් සිංහල මිනිසුන් අතර තමයි මුස්ලිම් මිනිසුන් පදිංචි කෙරුණෙ. 1817න් පස්සෙ ඉංගිරිසින් සිංහලයන් ඒ ප්‍රදේශවලින් පන්නලා, ඝාතනය කරලා දෙමළ මිනිසුන් පදිංචි කෙරුවා. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මුස්ලිමුන්ට ලංකාවේ නිජභූමියක් නැහැයි කියන එක.

කාට හරි පඬියකුට කියන්න පුළුවන් මුස්ලිමුන්ට ලංකාවේ ඇත්තේ නිජභූමියක් නොව නිජභූමි කියල. කාත්තන්කුඩි නිජභූමිය, බේරුවල නිජභූමිය යනුවෙන් ඒ නම් කරන්න පුළුවන් කියලා පඬියා කියාවි. ඒත් පඬියට පෙන්නන්න බැහැ බේරුවල මුස්ලිම් සංස්කෘතිය කාත්තන්කුඩි මුස්ලිම් සංස්කෘතිය කියලා මුස්ලිම් සංස්කෘති තියෙනවා කියලා. ඒ වගේම ඔහුට පෙන්නන්න බැහැ බේරුවල මුස්ලිම් සංස්කෘතිය ඇතිවුනෙ බේරුවල කියලා. අන්තිමේදි පඬියගෙ තර්කය පඬියට ම විරුද්ධව යනවා. ඔහුට වැඩිම වුනොත් පෙන්නන්න පුළුවන් බේරුවල මුස්ලිම් සංස්කෘතිය ආදිය තියෙනවා කියන එක මිසක් මුස්ලිම් සංස්කෘතියක් තියෙනවයි කියන එක නොවෙයි. ඒ සංස්කෘති වුනත් ඒ ඒ ප්‍රදේශවල ඇතිවුනු බවක්, උපන් බවක්, ඒ ඒ ප්‍රදේශ නිජභූමි කරගෙන චිරාත් කාලයක් පැවතුන බවක් පෙන්නන්න බැහැ.

දෙමළ ජනවර්ගයට වුනත් මේ තර්කය අදාළයි. අපි පස්සෙ ඒ ගැන කතාකරමු. මෙරට දෙමළ අනන්‍යතාවක් නොතිබූ බවට වුවමනාවටත් වඩා සාක්‍ෂි තියෙනවා. කොහොමටත් මුස්ලිම් හා දෙමළ සංස්කෘතීන් වෙනත් රටවල ආරම්භ වුනු බව පැහැදිලියි. සිංහල සංස්කෘතිය තියෙන වෙනත් රටක් හරි ප්‍රදේශයක් හරි ලෝකෙ වෙන කොහේවත් නැහැ. සිංහලයන්ට යන්න වෙන රටක් නැහැ කියලා සාමාන්‍ය සිංහල මිනිසුන් කියන විට ඉන් අදහස් කරන්නෙ වෙනත් රටක සිංහල සංස්කෘතියක් නැහැයි කියන එකයි. වංග දේශයේවත්, කාලිංගයේවත්, ලාට රටේවත් සිංහල සංස්කෘතියක් නැහැ. මේ රට සිංහලයන්ගෙ නිජභූමිය. සිංහල සංස්කෘතිය උපන්නෙ මේ රටේ. මෙරට තියෙන අනෙක් සංස්කෘතීන් සියල්ල ඉපදිලා තියෙන්නෙ වෙන රටවල ඒ අතිනුත් මෙරට සිංහල සංස්කෘතිය විශේෂිතයි.

මුස්ලිමුන් ගැන ලියූ ලිපි පහත සඳහන් සබැඳියෙන් ලබාගත හැකියි
https://www.facebook.com/nalinkalaya/posts/317931808586218




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා 
2016 ඔක්තෝම්බර් 23