Main Logo

Sunday 9 October 2016

ට්‍රම්ප් දිනයි ද?

ට්‍රම්ප් දිනයි ද?


ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයක්. අද මුළු ලෝකයේ ම කෙසේ වෙතත් බටහිරින් දැනුම ලබාගන්නා මිනිසුන් අතර මේ ජනාධිපතිවරණය ගැන උනන්දුවක් තිබෙනවා. අප කෙතරම් දුරට බටහිරින් මෙහෙයවනවාද කියනවා නම් අප මුළු ලෝකය ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නේ බටහිර ජනමාධ්‍යයේ ප්‍රචාරයට හසුවන ප්‍රදේශයි. ට්‍රම්ප් කෙනකු ගැන නොඇසූ කෝටි ගණනක් ලෝකයේ ඇති. එමෙන් ම ඇමරිකන් එක්සත් රාජ්‍යවල පුවත්සේවාවන්හි අධිපතිවාදී හැඟීම නිසා ඒ රටේ වෙනත් රටවල්, විශේෂයෙන් ම සුදු නොවන රටවල් ගැන ඇත්තේ ඉතා අල්ප උනන්දුවක් ඒ වුනත් අපට ඒ රටේ ජනාධිපතිවරණය වැදගත්. ලෝක ආධිපත්‍ය¬ය ඇති රටේ ජනාධිපතිවරණය ගැන අපට උනන්දුවක් දැක්වීමට සිදුවෙනවා.

මට නම් ට්‍රම්ප් ගැන ඇත්තේ වෙන ම උනන්දුවක්. ඔහු ජාතිකත්වය යටතේ තරග වදින්නෙක්. ඇමරිකන් එක්සත් රාජ්‍ය ජෝර්ජ් වොෂිංටන් යටතේ එංගලන්තයෙන් නිදහස දිනගත්තේ යම් ජාතිකත්වයක් උඩ සටන් කිරීමෙන්. එදා එක්සත් වුනේ රාජ්‍ය දහතුනක් පමණයි. මේ රාජ්‍යය ක්‍රමයෙන් පළල් වුනා. ඒ අතර නූතනත්වයේ අදහස් ද රටට ගලා ආවා. ලින්කන් යටතේ වහලුන්ට නෛතික නිදහසක් ලැබුණා. ඒත් දකුණේ ප්‍රදේශ එසේ වහලුන් නිදහස් කිරීමට විරුද්ධ වුනා. බොහෝ දෙනා නොදනිතත් ඩෙමොක්‍රටික් පක්‍ෂයත් විරුද්ධ වුනා. ඇමරිකන් කළු ජනයා නෛතික ව නිදහසක් ලැබුවත් ඔවුන්ගේ සංස්කෘතියට පිළිගැනීමක් ලැබුණේ නැහැ. 

සුදු ජනතාවට කළු ජනතාවගේ සංස්කෘතිය රුස්සන්නේ නැහැ. සුදු ජනතාව කළු ජනතාවට අනියත බියකින් පසුවෙනවා. පොලීසිය කළු ජනයාට බයයි. ඒ නිසා ම ඔවුන් කෙරෙහි සැකයකින් පසුවෙනවා. මේ සංස්කෘතික ප්‍රශ්නයක්. පොලීසිය සතියකට වරක් මෙන් කළු අයකුට වෙඩි තබනවා. වෙනත් රටවල මානව අයිතිවාසිකම් ගැන කතාකරන ඇමරිකන් එක්සත් රාජ්‍යවල උගතුන්ට හා පාලකයන්ට තම රටේ මානව අයිතිවාසිකම් පෙනෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අද වන විට නූතනත්වය යටතේ මානව හිමිකම් කියන්නේ වෙනත් රටවල කටයුතුවලට ඇඟිලි ගැසීම සඳහා බටහිරයන් යොදා ගන්නා මෙවලමක් පමණයි.

අද ලෝකයෙන් නූතනත්වයත් ඒ සමග ඊනියා ජාත්‍යන්තරවාදයත් අතුරුදහන් වීම පටන් අරගෙන. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වුනේ ඒ ක්‍රියාවලියෙහි ආරම්භය සනිටුහන් කරමින්. පසුගිය දා එංගලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය රටවැසියන් නොවන විශේෂඥයන්ගෙන් උපදෙස් ගැනීම නතර කළා. ලංඩන් විශ්වවිද්‍යාලයේ සුප්‍රසිද්ධ එල්එස්ඊ ආයතනය එයට විරුද්ධත්වය පළකලා. ඊනියා ශාස්ත්‍රඥයන්ට බොහෝ කරුණු තේරුම් ගැනීමට කල්ගත වෙනවා.

ට්‍රම්ප් සම්බන්ධයෙනුත් කතාව ඒකයි. ඔහු නියෝජනය කරන්නේ නැගී එන සුදු ජාතිකත්වය, සුදු ඇංග්ලිකන් ප්‍රොතෙස්තන්ත සංස්කෘතික ආධිපත්‍යය. ඔබාමා කළු වුවත් ඔහු ඒ සංස්කෘතියේ ඉහළ ම නියෝජිතයෙක්. ඔහු ජනාධිපති වුනේ ඒ නිසයි. ඔබාමා මුස්ලිම් වුනා නම් ඔහුට ජනාධිපති වෙන්න බැහැ. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන කතාකරන පඬියන්ට තමන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ දාසයන් බව තේරෙන්නේ නැහැ. ඔවුන් මෙරට නියෝජනය කරන්නේ තම අධ්‍යාපනය මගින් ලබාගත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය.

ට්‍රම්ප් මෙක්සිකන් හා ලතිනො නමින් හැඳින්වෙන ජනතාව මගින් එන ස්පාඤ්ඤ කතෝලික සංස්කෘතියට මෙන් ම මුස්ලිම් සංස්ෘතියටත් විරුද්ධ වන්නේ එමගින් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට පහරක් වදින නිසයි.  සාමාන්‍ය සුදු ජාතිකයන් ඔහුට පක්‍ෂයි. සුදු ජනයාට ජාතිකත්වය තිබෙනවා. සාමාන්‍යයෙන් වාමාංශිකයන්ට ජාතිකත්වය නැහැ. නූතනත්වයේ ආරක්‍ෂකයන් බවට වඩාත් ම පත්වන්නේ ඊනියා වාමාංශිකයන්. ලංකාවේත් එහෙමයි. ඔවුන් ව්‍යාජ ජාත්‍යන්තරවාදීන්. ඩෙමොක්‍රටික් පක්‍ෂය තද වාමාංශික පක්‍ෂයක් නුනත් ඔවුන් රිපබ්ලිකන් පක්‍ෂයට වඩා ඊනියා ජාත්‍යන්තරවාදීන්. හිලරි ක්ලින්ටන් කොටි සංවිධානයට ආධාර කෙළේත් ඒ පදනමෙන්.

සාමාන්‍ය සුදු ජනතාව හා රිපබ්ලිකන් පක්‍ෂය ට්‍රම්ප්ට පක්‍ෂ වුවත් නූතනත්වයේ සිටින උගතුන් හා ඇතැම් රිපබ්ලිකන් පාක්‍ෂිකයන් ඔහුට පක්‍ෂ නැහැ. ට්‍රම්ප්ට විරුද්ධ රිපබ්ලිකන් ලැයිස්තුව දිනෙන් දින දික්වන්නේ එබැවිනුයි. අද ර්පබ්ලිකන් පක්‍ෂයේ ඇතැමුන් ට්‍රම්ප්ට ජනාධිවරණයෙන් ඉවත්වන ලෙස බලකරනවා. එය එසේ වේ යැයි මා ඒ දිනවල ම සිතුවා. ඔවුන් ඒ රටේ ඊනියා වැදගතුන්. ජනමාධ්‍යවල ඉන්න ඊනියා වැදගත් මාධ්‍යවේදීනුත් නූතනත්වයේ සේවකයන්. ඔවුනුත් ට්‍රම්ප්ට විරුද්ධයි. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධව මාධ්‍ය හසුරුවනවා.

මේ සියල්ල මැද ට්‍රම්ප්ට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔහුට දැනටමත් ජාතිවාදියා කියන ලේබලය වැදිලා. ජාතිකත්වය අගයන බොහෝ දෙනාට ජාතිවාදියා කියන ලේබලය නූතනත්ව උගතුන් අලවනවා. ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගැනීමට ඇති ඉඩකඩ දැන් අඩුවෙමින් පවතිනවා. ට්‍රම්ප් දිුනුවත් නැතත් ඔහු සනිටුහන් කරන්නේ නූතනත්වයේ හා ඒ ආශ්‍රිත ඊනියා ජාත්‍යන්තරවාදයේ මළගමයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 09