Main Logo

Sunday 18 December 2016

ඊනියා ස්වොත්තමවාදය

ඊනියා ස්වොත්තමවාදය


කසිකබල් මාක්ස්වාදීන්ට හා වෙනත් පඬියන්ට අනුව මෙරට සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් තිබෙනවා. මෙහි ස්වොත්තමවාදය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් සුප්රිමසි කියන එකට කියලයි මා හිතන්නෙ. සුප්රිමසි කියන එකෙන් ස්වොත්තමවාදය කියන එක ලැබෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මෙය එලෙස සිංහලට පරිවර්තනය කෙළේ බෞද්ධයකු වෙන්න තියෙන ඉඩකඩ ඉතා අල්පයි. තමන් උත්තම යැයි කියා ගන්නා සම්ප්‍රදායක් සිංහල බෞද්ධ සංස්කෘතියේ නැහැ. අති උතුම් වගේ ව්‍යවහාර අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මේ වචන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ගලා එන දේ. පඬියන් කියන්නෙ මේ රටේ තිබෙන ප්‍රශ්නය මේ ඊනියා ස්වොත්තමවාදය කියලා. මා දන්නා ලෙස ස්වොත්තම කියලා කියන්න පුළුවන් යුැදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙ යෙහෝවා දෙවියන් වහන්සේට.

සිංහල බෞද්ධ සංස්කෘතිය ඊනියා ස්වොත්තමවාදීවත් අධිපතිවාදීවත් නොවෙයි. මුළු ලෝකයේ ම මෙතරම් බැටකන සංස්කෘතියක් තවත් නැතිව ඇති. අද බටහිර ජාත්‍යන්තරවාදයෙ ප්‍රධාන සතුරා බවට සිංහල බෞද්ධ සංස්කෘතිය පත්වෙලා. අවුරුදු එකසිය පනහකට පමණ පෙර ඉංගිරිසි ආණ්ඩුකාරයන් දැනගත්ත දෙයක් තමයි හාමුදුරුවරුන් හා ගිහියන් අතර  සම්බන්ධය තිබෙනතාක් කල් සිංහලයන් යටත්කිරීමට නොහැකි බව. අද ඒ සම්බන්ධය කැඩීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටිනවා. එකල සිංහල රජවරුන් පන්සලට අනුග්‍රහ දැක්වූයේ බුදු සසුනේ චිරස්ථිතිය සඳහා. අද මේ යමපාලන ආණ්ඩුව පන්සලට අනුග්‍රහ දක්වන්නේ බුදුසසුන නැසීමට.

ජයම්පති ලාල් විජේනායක වැනි කසිකබල් මාක්ස්වාදීන්ට හා රනිල් වැනි එවැනි ම කසිකබල් ලිබරල්වාදීන්ට ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය නොව එයින් ගම්‍යවන දේ. වගන්තියක් ව්‍යවස්ථාවක තිබූ පමණින් ප්‍රශ්නයක් වන්නේ නැති බවත් වෙනත් වගන්ති මගින්, අර්ථකථන මගින්, එය නිෂේධ කළ හැකි බවත් නීතිඥයන් ලෙස ඔවුන් දන්නවා. පඬියන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය. මෙරට ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා ස්වොත්තමවාදයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන නොලැබීම. අදත්, ඊනියා නිදහස ලැබී අවුරුදු හැටඅටකට පසුවත් මෙරට අධිපතිවාදී සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. කාදිනල්තුමා පමණක් නොව පාප්වහන්සේත් අද ඇංග්ලිකන් ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදයට යටයි. මෙරට කාදිනල්තුමා නියෝජනය කරන්නේ ඒ අධිපතිවාදී ජාත්‍යන්තරවාදයයි. අපි කාට රිදුනත් කාට කණගාටුවුනත් ප්‍රශ්නයක් අසමු. මෙරට වඩා වැදගත් කාදිනල්තුමා ද මහානායක හාමුදුරුවරුන් ද?

සිංහල බෞද්ධයන් බහුතරයට මහානායක හාමුදුරුවන් වැදගත් බව කියන්න අවශ්‍ය නැහැ. මට දැනගන්න ඕන රාජ්‍ය පාලනයේ දී වඩා වැදගත් කවු ද යන්නයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අටපිරිකර රැගෙන මහානායක හිමිවරුන් බැහැදැකීමට යන්නේ සිංහල බෞද්ධයන් රැවටීමට මිස අවවාද අනුශාසනා ලබා ගැනීමට නො වෙයි. රාජ්‍ය පාලනයේ දී මහානායක හාමුදුරුවන්ටවත් වෙනත් හාමුදුරු නමකටවත් කිසිම වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. මහානායක හාමුදූරුවරුන්ට කරන බොරු අටපිරිකර පූජාවන්ට සිංහල බෞද්ධයන් රැවටෙන්න ඕන නැහැ. මේ මහානායක පදවි සහ විහාරාධිපතිකම් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නැහැ. ඒවා ඇති කෙළේ ඉංගිරිසින්. මහානායක හිමිවරුන්ට දෙන අක්තපත්‍රයේ මා හිතන විධියට ආණ්ඩුවට ඔත්තු සැපයයිය යුතු බවට අදත් සඳහන් වෙනවා. විහාරාධිපති තනතුරු ඇති කෙරුවේ ඉංගිරිසි ප්‍රයිමො ජෙනිචර් නීතිය මුල් කරගෙන. මෙයින් කියැවෙන්නේ වැඩිමහල් පුතුට තම දෙමවුපියන්ගේ බූදලය හිමි වන බවයි. ඒ නීතිය පැනවීම නිසා එංගලන්තයේ ඉඩම් හිමි පෙලැන්තිය රැකුනා වගේ ම අනෙක් පුතුන් කර්මාන්ත පටන්ගැනීමට යොමු කෙරුණා. මේ නීති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති වූ දේ. මෙහි මුල ඇත්තේ දෙවියන් වහන්සේ හා ආදම්.

විහාර්ධිපතිධුර ඇති කෙරුවේ ප්‍රයිමෝ ජෙනිචර් නීතිය අනුව යමින් ප්‍රධාන ගෝල නමට පන්සල අයිති වන ලෙස. ඒ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ සම්ප්‍රදායක් මිස සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක් නොවෙයි. යක්‍ෂ ජනතාවගේ කාලයේ සිට මෙරට ලෙන් විහාර පූජා කර ඇත්තේ අගත අනගත චතුදිස සගස යනුවෙන් වැඩි නොවැඩි සතර දිග්භාගයේ භික්‍ෂූන් වහන්සේ වෙත. සංඝායා වහන්සේට අප දානයක් වුවත් දෙන්නේ සාංඝීක කරලා. ගෝල පරම්පරාවකට නො වෙයි. සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඉංගිරිසින් අප මත පැටවූ කරුණුවලින් නිදහස් වන්නේ කෙසේ ද යන්න.

රනිල් සුමන්තිරන් ජයම්පති ව්‍යවස්ථාව මුළුමනින් ම රෝම ලන්දේසි නීතිය මත පදනම් වේවි. එය සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් වන බවට කිසිම සැකයක් නැහැ. ඔවුන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ. මේ රටේ පිරිවෙන් අධ්‍යාපනයත් ඇතුළු ව සියලු ම  අධ්‍යාපනය යුදෙවු ක්‍රිස්තියානි. අපට සංකල්ප, ප්‍රවාද ආදී දැනුම ලැබෙන්නේ බටහිරින්. විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, ඊනියා සිවිල් සමාජ, සියල්ල ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ. කෘෂිරසායනික වකුගඩු රෝගය සිංහල වෙදකමෙන් සුවකළ හැකි ව තිබිය දී එයට ඉඩක් ලැබෙන්නේ නැත්තේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදය නිසා. ඒ අතර රෝගීන් මිය යනවා. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදය තම ආධිපත්‍යය රැක ගැනීම සඳහා ලෙඩුන් මරණයට පත් කරනවා. මෙරට බටහිර ජාතීන් සිංහල බෞද්ධයන් පාගා අනෙක් සංස්කෘතීන් හා ජනවර්ගවලට ආධිපත්‍යයක් හා තනතුරු වරප්‍රසාද ලබා දුන්නා.

සිංහල බෞද්ධයන් 1956 සිට උත්සාහ ගන්නේ තමන්ට අහිමි වූ දේ ලබාගැනීමට. සිංහල බෞද්ධයන් පමණයි යටත්විජිතවාදීන්ට විරුද්ධව සටන් කෙළේ. 1935 පිහිටු වූ සමසමාජ පක්‍ෂය කටයුතු කෙළේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව. ඔවුන්ගේ ප්‍රධාන ම සිද්ධියක් වූ බ්‍රෙස්ගර්ඩ්ල් නාටකය අඹු සැමි ආරවුලකට වඩා දුරගිය එකක් නොවේ. හැරල්ඩ් ලැස්කි පඬිවරයා ඇන් ඇම් ලංකාවේ හොඳම අගමැති වීමට තිබු බව කීවේ නිකම් නොවේ. ඇන් ඇම් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ හොඳ ම ආරක්‍ෂකයා වීමට තිබුණා. සිංහල බෞද්ධයන්ට තමන්ට නැති වූ තවත් බොහෝ දේ දිනාගැනීමට තිබෙනවා. ජයම්පති ඇතුළු පඬියන් ස්වොත්තමවාදය ආදී බොරු සංකල්ප යොදා ගනිමින් කරන්නේ සිංහල බෞද්ධයන්ට තම අයිතිවාසිකම් දිනා ගැනීමට ඉඩ නොතබා සිංහල බෞද්ධයන් තව තවත් පෑගීමයි.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 18.