Main Logo

Monday 19 December 2016

විය හැකි කතාවක්


විය හැකි කතාවක්

ලබන ජනවාරියට රනිල් මෛත්‍රිපාල ගිවිසුමට අවුරුදු දෙකක් පිරෙනවා. ගිවිසුම ඇත්තේ අවුරුදුව දෙකකට පමණයි. ඉන්පසු ආණ්ඩුව කැඩෙන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. අවශ්‍ය නම් දහනවවැනි සංශෝධනය යටතේ මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකම්  ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ජනවාරි විසිගණනකට පසු සෙනසුරු ඒරාෂ්ටකය ගෙවෙනව. ඉන් පස්සෙ හරි ඒ ආසන්නයෙ හරි දේශපාලනයෙ වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. මේ කතාවට පඬියන් නම් සිනහසේවි. ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවාවි. ඒත් ඒ ප්‍රසිද්ධියේ. තමන්ගෙ පුද්ගලික ජීවිතවල දි මේ අය බොහොමයක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට පිටින් යනවා. ඒ අතර කුප්‍රසිද්ධ ආධාරක පංති පවත්වපු අයකුත් ඉන්නවා. බොහෝ දෙනකුට, විශේෂයෙන් ම සාමාන්‍ය පෙළට පස්සෙ විද්‍යාව හදාරලා නැති අයට,  පොරවල් වෙන්න ලෙහෙසිම විධිය තමන්ට නොතේරෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කිරීම. දැනට ලංකාවේ ඉන්න චන්ද්‍රසිරි ධර්මවර්ධනට, කාලෝ ෆොන්සේකාට හා කාලෝ මෙන් ම බෞද්ධයකු නොවන ටියුඩර් වීරසිංහට මා අභියෝග කරනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් විවාදයකට එන්න කියා. මගේ පැත්තෙන් එන්නෙ මා විතරයි.  ඒ විවාදය එක් පාර්ශ්වයකට කට උත්තර නැතිවන තුරු පැවැත්විය යුතුයි. ඕ්න නම් දෙවියන් ඉන්න එකත් කතා කරන්න පුළුවන්. ටියුඩර දෙරණෙ දි බුදුහාමුදුරුවන් මෝඩයකු යැයි කී බව බොහෝ දෙනාට තවමත් තේරී නැහැ. දෙරණට තේරුණා ද දන්නෙ නැහැ.

අද සිරිකොතෙන් කියනවා මෛත්‍රිපාලගෙ පිං ඇමතිවරුන්ට යන්න කියලා. මෙය කියන්නෙ රනිල්ගෙ ඕන කමට. ඩිලාන් පෙරේරා වැනි අය බොහොම සැරේට කියනවා ඒ ගොල්ලන් යන්නෙ සිරිකොතට අවශ්‍ය වෙලාවට නොව ජනාධිපතිට ඕන වෙලාවට කියලා. ඩිලාන් සුපිරි ඇමතියකු පත් කිරීමටත් විරුද්ධයි. මෛත්‍රිපාලත් කියනවා වෙනසකට සූදානම් වෙන්න කියලා. මෛත්‍රිපාලගෙ ඒ කතාවෙන් මෙරට බටහිර තානාපති කාර්යාල කලබල වෙලා කියලයි කියන්නෙ. ඒ අතර චමල් රාජපක්‍ෂ අගමැති කරන කතාවකුත් පැතිර යනවා. මේ කතා ගොතන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ. බටහිර තානාපති කාර්යාල දෙන උපදෙස් අනුව වැඩකරන කොට ඒ තානාපති කාර්යාල කලබල වෙන්නෙ අහවල් දේකට ද?

පහුගිය දවසක මේ වෙන්න යන දේ ගැන කතාව සුළුවෙන් එළියට පැන්න. ඒ කතාව ඒ ආකාරයෙන් ම සිද්ධ වෙයි ද කියන එක හරියට කියන්න බැහැ. අද දේශපාලනයෙ රඟපෑම් හුඟක් තියෙනවා.  එහි දෙබස් ලියන්නෙ කවුද කියලා දන්නෙ නැහැ. අධ්‍යක්‍ෂණය කෙරෙන්නෙ නම් බටහිර තානාපති කාර්යාලවලින්.  දුමින්ද දිසානායක වගේ කෙනකු අවුරුදු දෙකකට උඩ දි ගෝඨාභයට තර්ජනය කරලා මරා දමන ලද ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපතිකම ඝාතකයාට ම දෙන්න කියලා. මේ හැම තර්ජනයක් ම කෙරෙන්නෙ බටහිර තානාපති කාර්යාලවල හයියෙන්.

අද බටහිර තානාපති කාර්යාල සැලැස්ම ඒකාබද්ධ විපක්‍ෂය දිය කිරීම. මෛත්‍රිපාලගෙ මැති ඇමතිවරු ටික දෙනකු ආණ්ඩුවෙන් අස්වෙලා විරුද්ධ පක්‍ෂෙට යන සූදානමක් තිබෙනවා. කිහිප දෙනකු ආණ්ඩුවෙ ම ඉඳීවි. මේ සියල්ල වෙන්නෙ රනිල් දැනුවත් ව. බටහිර තානාපති කාර්යාල  රනිල් දැනුවත්  කරනවා. රනිල් විතරක් නොවෙයි සම්බන්ධනුත් දන්නවා. අද මෛත්‍රිපාල කණ්ඩායම හා රනිල් කණ්ඩායම අතර කෙරෙන බොරු වාග් ප්‍රහාර රනිල් දැනුවත් ව කරන ඒවා. ඊනියා ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවෙන් අස්වුනා ම නිල වශයෙන් ජාතික ආණ්ඩුවක් නැහැ. කතානායකට එවිට ආණ්ඩුවෙ ඉන්න සංධානයක් ගැන කතාකරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. සංධානය එවිට විරුද්ධ පක්‍ෂයෙ බලවත් ම කණාඩායම. විරුද්ධ පක්‍ෂයෙ නායකකම ඩිලාන්ට හරි වෙනත් කාට හරි දෙන්න පුළුවන්. එවිට ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුවෙ අද තියෙන තැනවත් නැතුව යනවා.

ඒකාබද්ධ විපක්‍ෂය ද ඇතුළු ව සංධාන කණ්ඩායම මෛත්‍රිපාලගෙ අණසකට යටත් කර ගැනීම තමයි මෙහි මූලික පියවර. මෛත්‍රිපාල ජනාධිපති ලෙස අමාත්‍ය මණ්ඩලයෙ ඉඳීවි. ඔහුගෙ ඇතැම් හිතවතුන් විපක්‍ෂයෙ වාඩිවේවි. වාඩිවෙලා ඇතැම් කරුණුවල දි ආණ්ඩුවට විරුද්ධ වේවි. ඒත් ආණ්ඩුව වැටෙන්නෙ නැහැ. හකීම් ආදීන් දිගට ම ආණ්ඩුවට සහාය දේවි. ඒ විතරක් නොවෙයි සම්බන්ධනුත් වක්‍ර ව, සමහර විට සෘජුව ම, ආණ්ඩුවට සහාය දේවි. එතකොට අනුර කුමාර දිසානායක. ඔහු තවදුරටත් රනිල්ට ඩෑෂ්පහරවල් එල්ල කරන්න උදවු කරාවි. කරු ජයසූරිය විපක්‍ෂ නායක හා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක (අනුර කුමාර) කියන විධියට පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරාවි. ඒකාබද්ධ විපක්‍ෂයට දැනට ලැබෙන කාලයවත් ලැබෙන එකක් නැහැ. ඇතැම් විට ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුවට හරි මෛත්‍රිපාලගෙ කණ්ඩායමට හරි එකතු වෙන්නත් පුළුවන්. ව්‍යවස්ථාව ගෙනාව ම මේ ඔක්කොම රනිල්ගෙ පූර්ව එකඟත්වයෙන් බොරු සංශෝධන ඉදිරිපත් කරලා ඒක සම්මත කර ගනීවි.

මේ සියල්ල ඒ විධියට ම වේවි කියලා මා කියන්නෙ නැහැ. ඒත් එහෙම වෙන්න හරි ඒ කිට්ටුවෙන් සිද්ධ වෙන්න හරි ඉඩක් තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ සිහින මවමින් ඉන්නෙ නැතිව මාධ්‍ය සංදර්ශනවලට සීමා වෙන්නෙ නැතිව ගමට යන්න ඕන. ගිහින් මිනිසුන් සංවිධානය කරන්න ඕන. අද මහින්ද නම් ගමට යනවා. අනෙක් අයත් යනව ද දන්නෙ නැහැ. ජනමාධ්‍යයෙන් නම් ඒ බවක් පේන්නෙ නැහැ. මෛත්‍රිපාලලා දුමින්ද දිසානායකලා වැඩ කරන්නෙ රාජපක්‍ෂලා කෙරෙහි තියෙන පෞද්ගලික බද්ධ වෛරයකින්. රාජපක්‍ෂලා මේ භවයේ දී පමණක් නොවෙයි සංසාරයේ දී ම මේ වෛරයට පාත්‍ර වෙයි වගේ. මෛත්‍රිපාලලාට දුමින්දලාට රටට වඩා වෛරය වැදගත්. වෛරයෙන් වෛරය සංසිඳෙන්නෙ නැහැ. බටහිරයන්ගෙ වැඩ පිළිවෙළ පරාජය කිරීමට අප කටයුතු කළ යුත්තේ වඩ වඩාත් ධාර්මික වෙමින්.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 19