Main Logo

Sunday 25 December 2016

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

ජාත්‍යන්තරවාදී ආධිපත්‍යය

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදයයි. එය ජාත්‍යන්තරවාදයක්. එහි ආධිපත්‍යය දරන්නේ එංගලන්තයවත්, එක්සත් රාජ්‍යවත්, ඕස්ටේ‍ර්ලියාව වැනි වෙනත් බටහිර රාජ්‍යයක්වත් නො වෙයි. ජාත්‍යන්තරවාදය ඇත්තේ ඒ රටවල ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යවලටත් උඩින්. ඒ රාජ්‍ය¬ එකක්වත් ජාතික රාජ්‍යයක් නො වෙයි. ඒ රාජ්‍ය ආගමික රාජ්‍ය. එකී රාජ්‍යවල ජාතිකත්වයක් තවමත් ඇති වී නැහැ. බටහිර උගතුන් ඒවාට ජාතික රාජ්‍ය කියා කියන්නේ ඉතාමත් සීමිත නෛතික අර්ථයකින්. වැඩවසම් යුරෝපයේ තිබූ රාජ්‍යවලට නිශ්චිත දේශ සීමා තිබුණේ නැහැ. අටවැනි හෙන්රිගෙන් හා ප්‍රංශ විප්ලවයෙන් ද ඊනියා ඇමරිකන් විප්ලවයෙන් ද ඔවුන්  උගත් පාඩමක් වූයේ නිශ්චිත දේශසීමා ඇති රාජ්‍ය පිහිටුවිය යුතු බවයි.

මේ නිශ්චිත දේශසීමා සහිත රාජ්‍යවල රටවැසියන්ට ජාතියක් කියා කිවුවා. ඒ අනුව ඒ රාජ්‍යවලට ඊනියා ජාතික රාජ්‍ය නම පටබැඳුණා. ඒ ජාතික රාජ්‍ය නම් සංකල්පය ලොවේ පිළිගැනුණා. එයින් කියැවෙන්නේ සංකල්පය නිවැරදි බව නො වෙයි. සංකල්ප තැනීමේ ඒකාධිකාරය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සතු බවයි. ඒකීය රාජ්‍ය යනු කුමක් ද කියා නිර්වචනය කරන්නේත්, ලංකාව ඊනියා යුද්ධාපරාධ කර ඇත්දැයි විනිශ්චය කරන්නේත්, ඊනියා විද්‍යාත්මක දැනුම යනු කුමක් ද කියා තීරණය කරන්නේත්, විද්‍යාඥයන් කවුද කට්ටඩි මහතුන් කවුද කියා නිගමනය කරන්නේත්, කැස්ටනේඩා කට්ටඩියකු යැයි කියමින් ඔහු ප්‍රතික්‍ෂෙප කරන්නේත් බටහිරයන්. බටහිරයන්ට මෙතරම් බලයක් ලැබුණේ ඔවුන්ගේ නිර්ණායක නිවැරදි නිසා නො වෙයි. බටහිර රාජ්‍ය කිහිපයක් අත්කර ගත් දේශපාලන බලය හේතුකොට ගෙන. අද වන විට මේ දේශපාලන බලය ඇත්තේ රාජ්‍යවලටත් උඩින් ඇති ව්‍යුහයකට. ඒ ව්‍යුහය බටහිර විද්‍යාඥයන් ඇතුළු උගතුන්ගෙන්, ඔත්තු සේවාවන්ගෙන්, බහුජාතික සමාගම්වලින්, ජනමාධ්‍යවලින්, ඇතැම් විදේශ අමාත්‍යාංශවලින් යුක්තයි. අද දින ලෝකය පුරාම ක්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් පමණක් නොව වෙනත් අයත් නත්තල සමරන්නේත් ජනවාරි පළමුවැනි දා අවුරුද්ද පවත්වන්නේත් මේ ආධිපත්‍යය නිසයි. මේ ජාත්‍යන්තරවාදය ඇත්තේ කතෝලික චින්තනයටත් උඩින්.

බ්‍රෙක්සිට්, ට්‍රම්ප් ජයග්‍රහණය ආදියෙන් පෙන්නුම් කරන්නේ මේ ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයට විරුද්ධව එංගලන්තයේ හා එක්සත් රාජ්‍යවල රටවැසියන් ක්‍රියා කිරීමට සූදානම් බව. මේ රටවල් අද ජාතික රාජ්‍ය බවට පත්වීමට සූදානම්. ඒ අර උගතුන්ගේ ඊනියා ජාතික රාජ්‍ය නො වෙයි. ජාතික විඥානයක් ඇති ජාතික රාජ්‍ය බවට පත්වීමට. එහෙත් මේ රටවල ජාතික ව්‍යාපාර තවමත් ඇති වී නිසා. ට්‍රම්ප්ට ජාතිකත්වයක් තිබුණත් ජාතික ව්‍යාපාරයක් නැහැ. මේ රටවල් ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයෙන් මිදීමට ජාතික නිදහස දිනා ගැනීමට කටයුතු කරන්නේ කෙසේ ද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතුයි.

ජාතික නිදහස වෙනුවෙන් කටයුතු කිරීම මේ රටවල ජනයාට පහසුවන එකක් නැහැ. ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ඡන්දදායක නියෝජිත මණ්ඩලයේ (ඉලෙක්ටෝරල් කොලේජ් - එය ඊනියා විද්‍යාලයක් ලෙස පරිවර්තනය නොකළ යුතුයි) බහුතරයක් ලබා ගැනීමෙන් පසුවත් එරට ජනමාධ්‍ය උත්සාහ කෙළේ නියෝජිත මණ්ඩලයේ ඡන්ද හැරවීමටයි. රිපබ්ලිකන් පක්‍ෂයෙන් පත් වූ  නියෝජිතයන්ට ජනමාධ්‍ය දිගින් දිගට ම බලපෑම් කළා. එහෙත් අවසානයේ දී සිදුවූයේ වොෂිංටන් රාජ්‍යයෙන් තේරී පත් වූ ඩෙමොක්‍රටික් පක්‍ෂයෙන් පත් වූ නියෝජිතයන් හතර දෙනකු හිලරි ක්ලින්ටන්ට විරුද්ධව ඡන්දය දීමයි! එහෙත් අදත් ජනමාධ්‍ය ට්‍රම්ප්ට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. 

මෙයින් කියැවෙන්නේ නැහැ ඒ රටවල සියළු ජනමාධ්‍ය ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයේ සංයුතියක් කියා. ඒ රටවල සුළු ජනමාධ්‍ය තිබෙනවා ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයට විරුද්ධව ක්‍රියා කරන. එහෙත් ඒවාට කළ හැකි බලපෑම අල්පයි. ඒ කෙසේ වුවත් අප මතක තබාගත යුතු කරුණක් නම් ට්‍රම්ප් ජයග්‍රහණය කෙළේ ප්‍රධාන ජනමාධ්‍ය හා ඊනියා උගතුන් ඔහුට විරුද්ධව කටයුතු කරද්දී. ජනමාධ්‍යවලට හා ඊනියා උගතුන්ට සැමදාමත් සාමාන්‍ය ජනයා රැවටීමට නොහැකියි.  ලංකාවේත් තත්වය එහෙමයි. එහෙත් 2015 ජනවාරි අටවැනි දා නම් සාමාන්‍ය ජනයා සුළු ප්‍රමාණයක්, විශේෂයෙන් ම අක්මුල් නැති තාක්‍ෂනික තරූණ තරුණියන් ඊනියා උගතුන්ට හා ජනමාධ්‍යවලට රැවටුණා. අප ඒ තත්වය නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. මේ ඊනියා උගතුන් හා විද්‍යාඥයන් කවුදැයි ජනතාවට හෙළිදරවු කළ යුතුයි.

මා කියන්නේ අලුත් දේ. එහෙත් කාලෝ ෆොන්සේකා වැනි අනුකාරකයකු වරක් දොරමඬලාව වැඩ සටහනක් අවසානයේ දී මට පිළිතුරු දීමට වෙලාවක් නොදී කියා සිටියේ මා අලුත් යමක් කීවොත් ඒ අසත්‍ය බවයි. ඒ කියමනත් ඔහු බටහිරින් ලබාගත් දෙයක්. ඒ බටහිර කියමනට අනුව ඔහු කියන කිසිම දෙයක්  අසත්‍ය වීමට නොහැකියි. ඒ ඔහු කිසි දිනෙක අලුත් දෙයක් නොකියන නිසා!

මා නිතර කියන කරුණක් නම් මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව එංගලන්තයට ගොස් මාස කිහිපයකින් වැටහුණ බවයි. මට පමණක් නො වෙයි, කිසිම සිංහල බෞද්ධයකුට, සිංහල බෞද්ධ සංස්කෘතික පරිසරයක හැදුනු වැඩුනු අයකුට බටහිර විද්‍යාඥයකු වීමට බැහැ. එසේ වන්නේ බුද්ධිය යැයි කියන ගුණය නිසා නොව සංස්කෘතික ප්‍රශ්නයක් නිසා. බුදුදහම විද්‍යාත්මක යැයි කෑමොර ගසන සිංහල බෞද්ධයන්ට බටහිර විද්‍යාඥයන් වීමට බැහැ. අද බටහිර රටවල වෙසෙන ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයන්ටවත් කෙතරම් පහසුකම් තිබදයදීත් බටහිර විද්‍යාඥයන් වීමට බැහැ. එහෙත් ඔවුන් ඒ බව පිළිගන්නේ නැහැ. 

අප රටේ උගතුන් ඉතා වැඩි පිරිස අංක එකේ අනුකාරකයන් මිස අංක එකේ බුද්ධිමතුන් නො වෙයි. අප ඒ බව හොඳින් වටහා ගත යුතුයි. මේ උගතුන් බටහිර දැනුමට අලුතින් එකතු කර ඇති ප්‍රවාදයක්, සංකල්පයක් නැහැ. ඔවුන් දන්නා එකම දෙය බටහිර දැනුමට ආ වැඩීම හා අපේ දැනුමට ගැරහීම. අපි ඔවුන් ගැන පසුව තවදුරටත් කතා කරමු.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 25