Main Logo

Thursday 15 December 2016

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක් ද යන්න කිසිවකු පැහැදිලි ව කියන්නේ නැහැ. මා එයට සේවකයන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට සමහර විට තම පත්වීම් සේවා කොන්දේසි ආදිය ගැන නිසි අවබෝධයක් නැති ඇති. අර්ජුන රණතුංග නම් බොහෝ දේ හංගන බව පැහැදිලියි. චීන සමාගම සමග රජය දැනට අත්සන් කර ඇති ගිවිසුමට අර්ජුන අත්සන් කර නැහැ. එයට අත්සන් කර ඇත්තේ ලේකම්වරුන් තුන්දෙනකු. අර්ජුන අත්සන් කර නැත්තේ ඔහු ගිවිසුමේ යම් යම් දේට අකමැති නිසා බව පැහැදිලියි. එහෙත් ඔහු රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ. ඔහු අවසන් ගිවිසුමට අත්සන් කරාවිද? අද නම් ඔහු රනිල් වෙනුවෙන් සේවකයන් සම්බන්ධයෙන් ඉතා දැඩිව ඉන්නවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් තවත් අය ද සමග එකතු වී ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිය අනුව මහින්දට පහර දෙනවා. ඒ සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ව. සේවකයන් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට. එසේ කෙළේ ඇයි ද කියා අප දැනුවත් විය යුතුයි. කෙසේ වුවත් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට වුවත් ඔවුන්ගේ සේවය අහෝසි නොකිරීම ආණ්ඩුවේ යුතුකමක්. චීන සමාගම සමග ඒ සඳහා  එකඟතාවක් ඇති කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්.  සෝභිත හාමුදුරුවන්ට චම්පකට ඒ බව මතක් කරන්න බැරිද?

නාවික හමුදාපතිට මුහුදු කොල්ලකාරයන්ගෙන් නැව් බේරගන්න අණ දුන්නෙ ජනාධිපති වෙන්න බැහැ. මෛත්‍රිපාල ඒක දැනගන්න ඇත්තෙ පත්තරෙන්. මුහුදු කොල්ලකාරයන්ගෙන් නැව් බේරගන්න  නාවික හමුදාපති කොට කලිසමක් ඇඳගෙන නැවේ යන්න ඕන කියලා සරත් ෆොන්සේකා කියනවා. නාවික හමුදාවෙ හිටපු නිලධාර්යකු මේ ගැන යමක් කියනව නම් හොඳයි. ජාතික හෙළ උරුමයට, ජනතා විමුක්ති පෙරමුණට, සරත් ෆොන්සේකට, අර්ජූන රණතුංගට සහ තවත් වෙනත් අයට අද තියෙන එකම ප්‍රශ්නෙ මහින්දට පහර ගහන එක. ඒක බොහෝ විට පෞද්ගලිකයි. ඒක පිටිපස්සේ චන්ද්‍රිකාත් ඉන්නවා. මේ අය රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මහින්දගෙන් පළිගන්න හදනවා.

මේ සියල්ල අතරෙ රනිල් කඩිනමින් 87 - 89ට ආපසු යන්න සූදානම් වෙනවා. නැවතත් අප භීෂණ යුගයකට යන බව පැහැදිලියි. හම්බන්තොට වරාය සිද්ධිය ඒ සඳහා පෙර සූදානමක්. රනිල් භිෂණ යුගයේ හිටපු ප්‍රධානියෙක්. බටලන්දෙන් ඔහු නිදහස් වුනා කියලා කියනවා. 87-89 භීෂණය ඇති වුනෙ ඉන්දු ලංකා ගිවිසුමට දැක්වූ විරෝධයත් සමග. ඉන්දියාව අප මත බලයෙන් ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා පැටෙව්ව. භීෂණයෙන් වැඩි පුර ම බෑට කැවේ ජ වි පෙ. එහි අති විශාල   සිංහල බෞද්ධ. ජ වි පෙරමුණට සහාය දුන් මුස්ලිම් හෝ දෙමළ හෝ ප්‍රතිශතය කුමක් ද?  එ ජා ප ආණ්ඩුව භීෂණය දියත් කෙළේ සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව. අදත් භීෂණය දියත් වෙන්න යන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව. එහි දී සිවල් සමාජය ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදියත් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ජනමාධ්‍ය ද සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමට උපකාර කරනවා. බුදු හාමුදුරුවො මෝඩයෙක් බෝසතාණන් වහන්සෙ මිථ්‍යාදෘෂ්ටිකයෙක් කියලා අබෞද්ධයන් ලවා කියවනවා. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමෙන් සිංහල බෞද්ධයන් භීෂණයට ලක්කිරීමට රනිල්ට උපකාර කරනවා. අද රනිල් සමාජයීය මාධ්‍යවලට තර්ජනය කරනවා. ඒවා තහනම් කිරීමට වළි කනවා. ඔහු බලයට පත් කිරීමට ඒ මාධ්‍ය කටයුතු කරන විට රනිල්ට ඒව හොඳයි.

වරාය සේවකයන්ගෙ ප්‍රශ්නය නිසා වරාය හා අවට අක්කර පහළොස්දාහක් පමණ චීනයට බදු දීමට යැම යටගහන්න ඉඩ දිය යුතු නැහැ. අද හම්බන්තොට ඉඩම් චීන සමාගමකට බදු දෙන්න යන්නෙ පළමුව අවුරුදු අනූනවයකට. දෙවනුව තවත් අවුරුදු අනූනවයකට. මේ ඉඩම් හම්බන්තොට ජනතාවට අහිමි කරලා චීන රජයට සම්බන්ධ සමාගමකට බදු දෙන්න යැම ගැන සම්බන්ධන් කියන්නෙ මොකක් ද? ඔහු යාපනයෙ ඉඩම් ගැන දක්වන උනන්දුව හම්බන්තොට ඉඩම් ගැනත් දකාවනවා ද?

වඩා වැදගත් ඊනියා සංවර්ධනය ද රටේ ආරක්‍ෂව ද? යාපනයෙ ඉඩම්වල ඉන්නෙ හමුදාව. හමුදා කඳවුරු තියෙන්නෙ රාජ්‍යයෙ ආරක්‍ෂාවට, ආණ්ඩුවෙ ආරක්‍ෂාවට නොවෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතෙ හමුදාව ඉතා වැඩි වශයෙන් කෙළෙ රාජ්‍යය ආරක්‍ෂා කිරීම. ඒත් මේ ආණ්ඩුව හමුදාව රාජ්‍යය ආරක්‍ෂා කිරීමෙන් ඉවත් කරලා ශිවාජිලිංගම්ලා විග්නේස්වරන්ලා වෙනුවෙන්. ඔවුන් කටයුතු කරන්නෙ තවත් ප්‍රභාකරන් කෙනකු බිහි කරන්න. හමුදාව යාපනයෙන් ගෙන්ව ගත්තොත් මොකක් ද වෙන්න පුළුවන්. සම්බන්ධන් හමුදාව යාපනයෙන් එළවන්න හදන්නෙ ඉඩම් ගැන පමණක් හිතලා නොවෙයි.

හමබන්තොට ඉඩම් පවරා ගන්න යන්නෙ රාජ්‍යය ආරක්‍ෂා කරන්න නොවෙයි. ඊනියා සංවර්ධනයක් සඳහා. එහි ඉන්නෙ හමුදාව නොව චීන සමාගමක්. ඔය සංවර්ධනය කිරීමට ඉඩම් පවරාගන්න අවශ්‍ය නැහැ. මේ බොරු සංවර්ධනය හුදෙක් ආණ්ඩුවෙ පැවැත්ම සඳහා කෙරෙන්නක්. විදේශිකයන් ලවා ආයෝජනය කරවීමට වුවමනා ම නම් ඒ සඳහා අනූනව අවුරුදුවලට ඉඩම් බදු දෙන්නෙ නැතිව වෙනත්ක්‍රම තිබෙනවා. ආණ්ඩුච තම පැවැත්ම සඳහා හම්බන්තොට ඉඩම් පවරා ගන්න අතරෙ රාජ්‍ය ආරක්‍ෂාව අමතක කරලා පාවා දීල යාපනේ ඉඩම් සුමන්තිරන්ලාට දෙන්න යනවා. අද මේ රටේ ක්‍රිස්තියානි රාජ්‍යය බලවත් වෙලා. පෝය දවසෙ දෙවියන් ගැන සැක ඈැතිකරලා බුදු හාමුදුරවො මොාඩයෙක් කියලා කියවන රූපවාහිනීවලට මා අභියෝග කරනවා පුළුවන් නම් නත්තල් දවසෙ දෙවියන් වහන්සෙ ගැන සැක පහළ කරවන ක්‍රිස්තුස් වහන්සෙ මිථ්‍යාදෘෂ්ටිකයෙක් කියන වැඩ සටහනක් ප්‍රචාරය කරන ලෙස. ඒක බැරි නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියලා කියන වැඩ සටහන් මාලාවක් ප්‍රචාරය කරන්න පුළුවන් ද? මෙරට ක්‍රිස්තියානි ආධිපත්‍යය නැති කරන්න හාමුදුරුවරුන් කටයුතු කරන බවක් පේන්නෙ නැහැ.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 15