Main Logo

Tuesday 20 December 2016

කතාවේ දෙවැනි කොටස

කතාවේ දෙවැනි කොටස

විය හැකි කතාවක් යන්න විය හැකි දෙයක් මිස නිසැකයෙන් ම වෙන දෙයක් නො වෙයි. කොහොමත් කාලය කියන්නෙ පඤ්ඤත්තියක් විතරයි. එය පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. මේ ගැන වෙන ම ලියන්න ඕන. කාලය අතර අහපු ඇතැමුන්ට එය තේරිලා නැහැ. ක්වොන්ටම් භෞතිකයේත් කාලය කාරකයක් ලෙස ගන්නේ නැහැ. එය පංචෙන්ද්‍රිය ගෝචර නැති නිසා. ඒත් ඒ සඳහා අනිශ්චතතා අසමානතාවක් ලියන්න පුළුවන්. අටුවාවේ කාලය පඤ්ඤත්තියක් පමණක් බව කියන අතර අභිධර්මයෙහි චිත්තක්‍ෂණ ගැන කියැවෙනවා. චිත්තක්‍ෂණ ගැන කතා කරන්නේ කාලය පවතී යන අරුතකින්. අප බුදුදහම සන්දර්භයෙන් තොර යථාර්ථයක් ලෙස ගෙන වැරදි නිගමනවලට එළඹෙනවා. අනාගතය දකින්න හැකි අය ඉන්නවා. ඒ අනාගතය දකින්නේ වත්මනෙහි පවතින්නේ යැයි කියන යම් යම් අවශ්‍යතා මත පදනම් වෙලා. ඒවා වෙනස් කරන්න පුළුවන්. එවිට ඇත්තේ වෙන ම කතාවක්. අංගුලිමාල තම මව මැරීමට එන බව බුදුන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මැදිහත් වී එය වැළැක්වූවා. අනාගතය වෙනස් කළා. මෙහි සිදුවන්නේ අනාගතයේ දී සිදුවිය හැකි අවස්ථා කිහිපයක් ඇති බවත් ඒ ඒ අවස්ථාව ඇති වන්නේ කෙසේ දැයි දැනගෙන ඒ අනුව කටයුතු කිරීමත්. අංගුලිමාලට පංචානන්තරීය පාප කර්මයක් කිරීමට මෙන් ම නිවන් දැකීමටත් හැකි කමක් (සම්භාවිතාවක්) තිබුණා. යම් යම් අවශ්‍යතා යටතේ ඒ දෙක සිදු විය හැකි ව තිබුණා. බුදුන් වහන්සේ මැදිහත්වීම එක් අවශ්‍යතාවක්. බුදුන් වහන්සේ මැදිහත් නූන නම් අංගුලිමාල තම මව මරනවා. බුදුන් වහන්සේ එය දැක වැළැක්වූවා.


මට අනාගතය දකින්න බැහැ. අනාගතය ගැන කාටත් දකින්න හැකි වන්නේ පවත්නා අවශ්‍යතා අනුවයි. ඒත් අවශ්‍යතා වෙනස් කරන්න පුළුවන්. ඒක හැමෝටම කරනාන බැහැ. ඒත් අතීතය නිශ්චිත ව කිව හැකියි. දැකිය හැකියි. ජ්‍යොතිෂයටත් මේ අදාළයි. නාඩි වාක්‍යවලටත් අදාළයි. ජ්‍යෙතිෂයේ දී යම් යම් දේ කරලා අනාගතය වෙනස් කරන්න උත්සාහ කරනවා. යන්ත්‍ර මන්ත්‍ර ආදිය කරන්නේ ධාර්මික වන්නේ ඒ අවශ්‍යතා වෙනස් කිරීමටයි. මා අනාගතය ගැන කියන්නේ හුදෙක් විශ්ලේෂණයෙන් ලබාගන්නා නිගමන ලෙසයි. මට ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. මේ කතාවත් මා කියන්නේ විය හැකි දෙයක් ලෙසයි. එය වෙනස් කරන්න පුළුවන්. ඒ කළ හැක්කේ ඒකාබද්ධ විපක්‍ෂයටයි. ධාර්මික වීමත් එහි දී කාර්යභාරයක් ඉටු කරාවි.

මෛත්‍රිපාලගේ මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් විපක්‍ෂයට යෑමට ඉඩ තිබෙනවා. ඒ එ ජා ප සමග ඇති ආරවුලක් නිසා නොව, ඒකාබද්ධ විපක්‍ෂය විනාශ කිරීම සඳහා. එ ජා ප ආරවුලක් නැතිවා නො වෙයි. ඒත් එය අතිශෝක්තියෙන් රඟ පානවා. දේශපාලනඥයන් හොඳ නළුවන්. මෛත්‍රිපාලගේ කණ්ඩායම විපක්‍ෂයේ බලය තමන් අතට ගනීවි. යම් අයුරකින් ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන හරි චමල් රාජපක්‍ෂ හරි වෙනත් කවුරු හරි විපක්‍ෂ නායකකම භාර ගත්තොත් ඒකාබද්ධ විපක්‍ෂය එයින් ම ඉවර වේවි.

පළාත් පාලන ආයතන මැතිවරණ තවදුරටත් කල් දාන්න බැහැ. ඒ පැවැත්වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මල් පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලබනවා. මෛත්‍රිපාලගේ කණ්ඩායම තුන්වැනි තැනට එන්නේ ජ වි පෙරමුණට හතරවැනි තැන හෝ පහළ තැනක් හෝ පමණක් හිමි වන නිසා. මෛත්‍රිපාලට තම පැවැත්ම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය විනාශ කරන්න ඕන. මෛත්‍රිපාලගෙ කණ්ඩායම විපක්‍ෂයට ගිහිල්ල ඒකාබද්ධ විපක්‍ෂයෙ කිහිප දෙනකුත් එක්ක පළාත් පාලන ආයතනවලට තරඟ කරන්න ඉඩ තියෙනවා. එය මල් පොහොට්ටුවට ප්‍රශ්නයක් වේවි. පළාත් පාලන ආයතනවලට තරග කිරීමට බලාපොරෙත්තු වෙන ඇතැමුන් අද මල් පොහොට්ටුවට එකතු වී තිබෙන්නේ බැසිල්ට තියෙන කැමැත්තක් නිසා නො වෙයි. යන්න වෙන තැනක් නැති නිසා. බැසිල්ට අකමැති අයත් එතන ඉන්නවා. මෛත්‍රිපාලගෙ කණ්ඩායම විපක්‍ෂයෙ ඉන්න විට මේ අය ඒ කණ්ඩායමට එකතු වෙන්න ඉඩ තියෙනවා.

ඒ අතර ජ වි පෙ ජනවාරි මාසෙ රට රත් කරන්න හදනවා. අනුර කුමාර බොහොම බැරෑරුම් විධියට ඒක කියනවා. ඔහු මේ හදන්නෙ නැවතත් ජනතාව පාරට බස්සලා 1987 -90 කාලයෙ වගේ භීෂණයකට තල්ලු කරන්න. රනිල් ඉතිරි ටික කරාවි. ඒකාබද්ධ විපක්‍ෂෙ මේ සියල්ල ගැන හොඳින් කල්පනා කරනවා නම් හොඳයි. ඒත් ඔවුන්ගෙන් මේ ලිපි කියවන්නෙ අතේ ඇඟිලිවලටත් අඩු ප්‍රමාණයක්. මේ සියල්ල පිටුපස ඇත්තෙ ව්‍යවස්ථාව. ජ වි පෙරමුණ ඊනියා අරගලයක් කරලා තරුණයන් බිලි දේවි. ඒ අතර මෛත්‍රිපාල විරුද්ධ පක්‍ෂෙ බලය අතට ගනීවි. මේ සියල්ල අතරෙ ජනමත විචාරණයක් තියලා මිනිසුන් බය කරලා රනිල් භීෂණය මැදීන් ව්‍යවස්ථාව සම්මත කර ගනීවි.

මේ සියල්ල විය හැකි දේ මිස නිශ්චිත ව සිදු වන දේ නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට මේවා වෙනස් කරන්න පුළුවන්. ඒ කොළඹ ඉඳන් ජනමාධ්‍ය සන්දර්ශන පවත්වලා නො වෙයි. ඔවුන් ගමින් ගමට පන්සලෙන් පන්සලට යා යුතුයි. ව්‍යවස්ථාවට විරුද්ධව ජනමතයක් ඇති කළ යුතුයි. ජ වි පෙරමුණේ භීෂණයට විරුද්ධව ජනතාව සාමකාමී මාවතකට තල්ලු කළ යුතුයි. රට ධාර්මික කළ යුතුයි. ජ වි පෙරමුණට හෝ ඔවුන්ගෙන් කැඩී ගිය කණ්ඩායමකට හෝ තුන්වැනි වතාවකටත් තරුණ තරුණියන් බිල්ලට දීමට ඉඩ නො දිය යුතුයි. මේ ලිපිවලින් එතරම් වැඩක් නැති බව මා දන්නවා. ලිපි කියවන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ජාතික ව්‍යාපාරය හා ජනමාධ්‍ය (එක් අයකු දෙදෙනකු හැරෙන්න)  අප කොන් කරනවා. වෙන කළ හැකි දෙයක් නැති නිසා ලිපි ලියනවා.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 20