Main Logo

Wednesday 28 December 2016

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?


පසුගිය පොහෝ දින විකාශය වූ නොපෙනෙන මානයේ දී ටියුඩර් වීරසිංහ කියා තිබෙනවා බෝසතාණන් වහන්සේ මිසදිටුවකු ය කියා. ඔහු කියා ඇත්තේ බුද්ධත්වය ලැබීමට පෙර උන්වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයකු ය කියා. ටියුඩර් වීරසිංහ රුසියාවේ උපාධි ලබාගත් අයකු.  ලංකාවේ මෙතරම් විභ්වවිද්‍යාල තිබිය දී ඔහු රුසියාවට ගියේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. සමහර විට ලංකාවේ විශ්වවිද්‍යාල ඔහුට සරිලන තත්වයක නොතිබෙන්න ඇති. එහෙත් ඔහු උගන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක මණ්ඩපයක. ඔහුගේ දැනුම මෙරට ශිෂ්‍යයන්ට ලබා දීමට ඔහු තීරණය කරන්න ඇති.

මා ඔහුට, කාලෝ ෆොන්සේකාට හා චන්ද්‍රසිරි ධර්මවර්ධනට තනි තනිව ම හරි කණ්ඩායමක් ලෙස හරි මා සමග බටහිර විද්‍යාව හා දෙවියන් ගැන විවාද කරන්න එන්න කියා ආරාධනය කළා. මේ ලිපි කාලෝ ෆොන්සේකාට නම් විද්‍යුත් තැපෑලෙන් යැවෙනවා. එහෙත් අනෙක් දෙදෙනාට යැවෙන්නේ නැහැ. චන්ද්‍රසිරි දැන් කැනඩාවට ගිහින් ද කියා දන්නේ නැහැ. ඔහු තවමත් ලංකාවේ නම් ඔහුට හා ටියුඩර්ට මගේ ආරාධනය කවුරුන් හෝ ලබා දෙන්නේ නම් කෘතඥ වෙනවා. එහෙත් මේ විවාදය රූපවාහිනී නාළිකාවල කෙරෙන විවාද මෙන් පැයකට දෙකකට සීමා කරන්න බැහැ. එක් පාර්ශ්වයකට කට උත්තර නැති වන තුරු විවාදය පැවැත්විය යුතුයි.

ඇතැමුන්ට අනුව මා කරන දෙයෙහි කිසිම තේරුමක් නැහැ. තමන් පාසලෙහි ගණිතය ඉගෙන ගත් බවත් බටහිර විද්‍යාව බොරුවක් බව දැනගැනීමට ථෙරවාදය ප්‍රමාණවත් බවත් එක් අයකු කියා තිබුණා. ඔහු බටහිර විද්‍යාව බොරු යැයි කියන්නේ කිනම් අර්ථයකින් දැයි පැහැදිලි නැහැ. ඒ කෙසේ වෙතත් ථෙරවාදය උගත් බොහෝ පඬියන්, හාමුදුරුවරුන් බටහිර විද්‍යාව ඉහළින් පිළිගන්නවා. එපමණක් නොවෙයි, ඔවුන්, උන්වහන්සේලා ථෙරවාදය බටහිර විද්‍යාවට හා නූතනත්වයට එකඟ වන ආකාරයට කපා කොටා ඉදිරිපත් කරනවා. මට දොස් කියන පඬියන් මේ කිසිවක් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් සමහරවිට බටහිර රටවල සිල් රකිනවා වෙන්න ඇති. ඔවුන් සිදුහත් කුමරු මිසදිටුවකු යැයි කීම ගැන කියන්නේ කුමක් ද? මේ මතවලින් බුදුදහමට හානියක් නොවන බව ඔවුන් කියන්න ඉඩ තියෙනවා. ථෙරවාදී බුදුදහම අවසානයේ දී ඉතිරි වුනේ ලංකාවේ පමණයි. ඒ ඉහත කී අන්දමේ පඬියන් නිසා නොවන බව නම් පැහැදිලියි.

මිසදිටුවකු යන්න අර්ථදැක්වෙන්නේ තමන් විශ්වාස කරන දැනුම් පද්ධතියෙහි. බටහිර විද්‍යාඥයන් මිසදිටු යන සංකල්පය යොදා නොගත්තත් ඔවුනුත් මිථ්‍යා (මිත්ස්) යන වචනය යොදා ගන්නවා. බටහිර විද්‍යාඥයන්ට අනුව සාධාරණ වශයෙන් ඔවුන්ගේ විද්‍යාව නොවන අනෙක් දැනුම් මිථ්‍යා. ඇතැම් ථෙරවාද බෞද්ධයන් බුදුදහම බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්නේ ඒ නිසා. මේ පඬියන්ට අනුව පුනබ්භවය, සංසාරය, දෙවියන් නැහැ. ඒ බටහිරයන්ට අනුව ඒ කිසිවක් පංචෙන්ද්‍රිය ගෝචර නොවන නිසා. බටහිරයන්ට අනුව සංසාරය මිථ්‍යාවක්. එවිට සංසාරය ගැන විශ්වස කරන අප සියළු දෙනා ම මිසදිටුවන්.

සිදුහත් කුමරු බුදු වීමට පළමු මිසදිටුවකු වන්නේ කිනම් අර්ථයකින් ද? ටියුඩර් වීරසිංහ ඒ තේරුම් කර දුන්නා නම් හොඳයි. අඩුම තරමෙන් සාකච්ඡාව මෙහෙය වූ තැනැත්තාටවත් ඒ ප්‍රශ්නය ඇසීමට අමතක වුනා. ඔහුගෙන් ඒ බලාපොරොත්තු වෙන්නත් බැහැ. ටියුඩර් තමන් බෞද්ධයකු නොවන බව කියා තිබෙනවා. ඔහු බුදුන් වහන්සේ මිසදිටු නොවන බව කියන්නේ කිනම් අරුතකින් ද? ටියුඩර් තමන් කිනම්වාදියකු දැයි කියන්නේ නැහැ. ඔහුගේ දැනුම් පද්ධතිය අනුව බුදුන් වහන්සේ මිසදිටුවකු වන්නේ නැද්ද? එසේත් නැත්නම් ටියුඩර් කියන්නේ බුදුන් වහන්සේ බුදුදහමට අනුව මිසදිටුවකු නොවන බවත් එහෙත් සිදුහත් කුමරු බුද ුදහමට සාපේක්‍ෂව මිසදිටුවකු බවත් ද? ටියුවර් කියන්නේ බුද ුදහමට අනුව මිසදිටු නොවීමට නිවන් අවබෝධ කරගත යුතු බව ද?
ටියුඩර් කියන අන්දමට අප සියළු දෙනාත් මිසදිුටුවන් වෙන්න ඕන. අප නිවන් අවබෝධ කර නැති නිසා. සමහරවිට ටියුඩර් කියනවා ඇත්තේ සිදුහත් කුමරු වැරදි පාරවල ගිය නිසා මිසදිටුවකු වූ බව වෙන්න පුළුවන්. සිදුහත් කුමරු ආළාර කාළාම වැන්නන්ගෙන් උගත් නිසා ඒ අයගෙන් ඉගෙනීමට ගිය නිසා මිසදිටුවකු වූවා ද? අප ඉගෙන ගන්නේ බටහිර දැනුම ලබාගත් ගුරුවරුන්ගෙන්. ඔවුන්ගෙන් ඇතැමුන් බෞද්ධයන්වත් නො වෙයි. මට පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් උගන්වා ඇති හොඳම ගුරුවරු සිංහල නෙබෟද්ධයන්  නො වෙයි. මා මිසදිටුවෙක් ද?

ඇතැම්විට අප බෞද්ධයන් නිසා කාගෙන් ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. බෞද්ධයන් කාගෙන් ඉගෙන ගත්තත් මිසදිටුවන් නොවන්න පුළුවන්. එහෙත් සිදුහත් කුමරු බෞද්ධයකු නොවූ නිසා වැරදි පාරවල යෑම හේතුවෙන් මිසදිටුවකු වූ බව කියන්න කිසිවකු පෙළඹෙන්න පුළුවන්. සිදුහත් කුමරුට බෞද්ධයකු වීමට හැකි කමක් තිබුණේ නැත්තේ සාමාන්‍ය අර්ථයකින්. නමුත් අප වැනි බෞද්ධයන්ට අනුව බුදුවන්නට පෙරුම් පුරන අයකු සසරින් එතරවීමට කටයුතු කරන අයකු මිසදිටුවකු වන්නේ නැහැ.

සිදුහත් කුමරු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අයකු. එතුමා අනේක වතාවක් බුද්ධොත්පාද නොවන කාලවල ඉපදෙන්න ඇති. ඒ කාලවලත් එතුමා බුදු වෙන්න පෙරුම් පිරුවා. සවිඤ්ඤාණිකව බෞද්ධයකු නූනත් අවිඤ්ඤාණික ව එතුමා බෞද්ධයෙක්. එතුමා අවසාන භවයේ දී ඉපදිමට පළමු පස්මහා බැලුම් බැලූ බව කියනවා. ඒ බුදුවීමට මිසක් පුහු පඬියකු වීමට නො වෙයි. සිදුහත් කුමරු අවසානයේ දී අභිනිෂ්ක්‍රමණය කෙළේ මිසදිටුවකු වීමට නොව බුදු වීමටයි. එතුමා ඒ සඳහා විවිධ මාර්ගවල ගමන් කළා. ඒ මාර්ග වැරදි ද නැද්ද යන්න කල් තබා දැන ගැනීමට ක්‍රමයක් තිබුණේ නැහැ. එහෙත් ඒ මග වැරදි බව දැනගත් විට එතුමා ඒ මග අත්හැරියා. එසේ කෙළේ ඒ මග යෑමෙන් බුදු වීමට නොහැකි බව එතුමා තේරුම් ගත් නිසා. එතුමාගේ අවශ්‍යතාව වූයේ බුදු වීමයි. එතුමා මිසදිටුවකු වන්නේ කෙසේ ද?

ටියුුඩර් සංසාරය පිළි නොගත්තත් සිදුහත් කුමරු ඒ විවිධ මාර්ග අත්හැරිය බව පිළිගන්නේ යැයි සිතනවා. එසේ ඒ මාර්ග අත්හැරියේ එයින් බුදුවීමට නොහැකි බව තේරුම් ගත් නිසා. එතුමාට ඒ සම්‍යක්දෘෂ්ටිය නොතිබුනා නම් එතුමා පුහු පඬියන් මෙන් ම දිගට ම වැරදි මාවත්වල ගමන් කරන්න තිබුණා. මිසසිටු ද නැද්ද යන්න යම් දැනුම් පද්ධතියකට සාපේක්‍ෂයි. යමකු බෞද්ධයකු වුනත් නැතත් අරමුණ නිවන් අවබෝධය නම් ඔහුගේ දෘෂ්ටිය බුදු දහමට සාපේක්‍ෂව සම්‍යක්දෘෂ්ටිය මිස මිථ්‍යාදෘෂ්ටිය නො වෙයි. සිදුහත් කුමරු බටහිර දෘෂ්ටිවලට අනුව නම් මිසදිටුවකු වෙන්න පුළුවන්. ටියුඩර් සිදහත් කුමරුට මිසදිටුවකු යැයි කීවේ කිනම් අරුතකින් ද? අපට දැනගැනීමට අවශ්‍යයයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 28