Main Logo

Thursday 22 December 2016

බෞද්ධ ප්‍රබෝධය

බෞද්ධ ප්‍රබෝධය

වත්මනෙහි බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව බොහෝ දෙනා කියනවා. විශේෂයෙන් ම තරුණ තරුණියන් අතර බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන බවයි කියන්නේ.  කලකට පෙර මා රූපවාහිනී නාළිකාවක වැඩ සටහනකට ගිය විට එය මෙහෙය වූ තැනැත්තා ද කීවේ බෞද්ධ ප්‍රබෝධයක් තිබෙන බවයි. මා ඔහු සමග එකඟ වූයේ නැහැ. එය පැහැදිලි කිරීමටත් කාලයක්් තිබුණේ නැහැ. නැවතත් මට මේ කතාව ඊයේ පෙරේදා අහන්න ලැබුණා. කතාව කී තැනැත්තා කියා සිටියේ තරුණ තරුණියන් ආරණ්‍යවලට යන බව, බෞද්ධ පොතපත කියවන බව, භාවනා කරන බව, සිල් සමාදන් වන බව ආදියයි. ඹැලූ බැල්මට මෙය ඇත්තක්. ඒත් මේ තරුණ තරුණියන්ගේ ඡන්දය මෛත්‍රිපාලට වැඩිපුර ලැබෙන්න ඇති කියලත් හිතනවා. ඒ නැතත් මේ බෞද්ධ ප්‍රබෝධය කුමක් ද? එය ගලා එන්නේ කොතෑනකින් ද?

මා මේ ආරණ්‍යවලට යන, බෞද්ධ පොතපත කියවන, සිල් සමාදන්වන, භාවනා කරන තරුණ තරුණියන්ට විරුද්ධ නැහැ. ඒත් මේ ප්‍රබෝධයේ අඩුවක් තිබෙන බව මගේ වැටහීමයි. මේ තරුණ තරුණියන් ධාර්මික පැත්තට යොමු වීම කොහොමටත්  හොඳයි. එය ඔවුන් නොදැනුවත් ම රටේ ආධ්‍යාත්මික ශක්තියක් ගොඩ නැගීමට ඉවහල් වෙනවා. සම්‍යක් දෘශ්ටික දෙවි දේවතාවුන්ට රටට පිහිට වෙන්නට ඉන් පොඩි ඉඩකඩක් හරි ඇති වෙනවා. ඒත් මේ තරුණ තරුණියන්ට බොහෝ විට එතරම් දේශපාලන විඥානයක් නොමැති වීම අඩුවක්. දැනට අවුරුදු කිහිපයකට උඩ දී ජාතික හෙළ උරුමය වටා මේ සමහර අය එකතු වුනා. බෞද්ධ ශ්‍රද්ධාවෙන් මෙහෙයවනු ලදුව ඔවුන් භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට වඩම්මන්න කටයුතු කරන්න ඇති. අද ජාතික හෙළ උරුමය කැබිනෙට්ටුවේ දී රට පාවා දෙන පනත්වලට එකඟ වෙලා ඊනියා මාධ්‍ය ප්‍රකාශකයන් ලවා ඒ කිසිවක් නොදන්න බව කියනවා. එක අතකට ජනාධිපති කරන්නෙත් ඒකමයි. කැබිනෙට්ටුවේ පනත් සම්මත වන්නේ ඔහු නොදැනුවත් ව නො වෙයි. ඒත් ඉන්පසු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු මහා ඇමතිලා ලවා ඒ පනත්වලට විරුද්ධත්වය පළ කරවනවා. ජාතික හෙළ උරුමයේ භික්‍ෂූන් වහන්සේට ඡන්දය දීමෙන් පසුව අර තරුණ තරුණියන් හා ඔවුන්ගේ නංගිලා මල්ලිලා මහින්ද රාජපක්‍ෂ හොරකු ලෙස සලකා මෛත්‍රිපාලට ඡන්දය දෙන්න ඇති. රාජපක්‍ෂලාට විරුද්ධ ව මෛත්‍රිපාලගේ වෛරය තේරුම් ගැනීමට මේ මෛත්‍රි භාවනාව හා වෙනත් භාවනා වඩන තරුණ තරුණියන්ට නොහැකී වුනා ද?

මේ බෞද්ධ ප්‍රබෝධය සිංහල කමෙන් වියෝ වූවක්. එය එක්තරා ආකාරයකින් ඕල්කට් බෞද්ධ ප්‍රබෝධයක්. ඕල්කට්තුමාට සිංහල කමක් තිබුණේ නැහැ. ඔහු සීකිම් දේශයෙන් පැමිණ සිංහල බෞද්ධ වූ මහින්ද හිමියන්ගෙන් මුළුමනින් ම වෙනස්. බෞද්ධ ප්‍රබෝධයේ තරුණ තරුණියන් මහින්ද හාමුදුරුවන්ගේ පොතපත කියවනවා ද කියා මා දන්නේ නැහැ. ඔවුන් සමහරවිට තොරතුරු තාක්‍ෂණය සමග බැඳී ඇති. කෘත්‍රිම බුද්ධිය (ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්) ගැන යමක් කමක් දන්නවා ඇති. මේ අය නැගී එන ලෝකයක බෞද්ධයන් විය හැකියි. සිංහල බෞද්ධ ප්‍රබෝධයකින් තොර ඊනියා බෞද්ධ ප්‍රබෝධයක් වැඩි කල් තියෙන්නේ නැහෑ. එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට යට වෙනචා. ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් බිහි වූ බෞද්ධ පාසල් ක්‍රියාත්මක වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ.

එහෙත් මේ නැගී එන ලෝකය, පැරණි ලෝකයෙන් වෙනස් වීමේ දී බලපාන චින්තන විප්ලවය ගැන නොදන්නවා ඇති. ඒ චින්තන විප්ලවය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වන බවත් නොදන්නවා ඇති. අනාගත ලෝකයක න්‍යාය ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යාය නොව චතුස්කෝටිකය බව බෞද්ධ පොතපත කියවාත් නොදන්නවා ඇති. ඔවුන්ගේ සංස්කෘතියේ ශක්තිය ඔවුන් නොදන්නවා ඇති. අද අවශ්‍ය වන්නේ බෞද්ධ ප්‍රබෝධයකට වඩා සිංහල බෞද්ධ ප්‍රබෝධයක්. අනගාරික ධර්මපාලතුමා ඇති කිරීමට වෑයම් කෙළේ සිංහල බෞද්ධ ප්‍රබෝධයක්.

සිංහල බෞද්ධකම බිහි කෙළේ ගැමුණු රජු. එතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය මත පිහිටා සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නැගුවා. එතුමා මේ රාජ්‍යය බිහි කර් අවුරුදු දෙදහසකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. මේ රාජ්‍යයේ ආකෘති තමයි පසු කලෙක මියන්මාරය, තායිලන්තය ආදී ථෙරවාද රටවලත් ස්ථාපිත කෙරුණේ. ටේ‍රවෝ ලිං මේ රාජ්‍ය ගැන ලියා තිබෙනවා. එහෙත් ඔහු ගැමුණු රජුට දිය යුතු ගෞරවය දී නැහැ. මා 1992 තරම් ඈත කාලයක සිංහල බෞද්ධ රාජ්‍යය ගැන ලිපි පෙළක් දිවයින පුවත්පතට ලිවුවා. එය පොත් පිංචක් ලෙස 1998 දී තරම පළ කෙරුණා. ඒ මාටින් යැක් චීන සභ්‍යත්ව රාජ්‍යයක් ගැන ලිවීමට බොහෝ කලකට පෙර. එහෙත් යැක්ට ලැබුණු ප්‍රචාරය ම්ගේ ලිපි පෙළටවත් පොත් පිංචටවත් ලැබුණේ නැහැ. ජාතික ව්‍යාපාරයේ අයත් ඒ නොසලකා හැරියා. ඒ මේ රටේ හැටි. ජාතික ව්‍යාපාරයටත් වඩා වැදගත් වන්නේ සිංහලට පරිවර්තනය කරන ලද විජාතික අදහස් හා සංකල්ප.

ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යය අඩු තරමෙන් කන්ද උඩරට 1815 තෙක් පැවතුණා. ඉන්පසු මෙරට ඇති වූයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. කැප්පෙටිපොළ නිළමෙ, පුරන් අප්පු, ගොන්ගාලෙගොඩ බණ්ඩා, ධර්මපාලතුමා ආදීන් සටන් කෙළේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමට. 1956 දී ඒ සටනට සුළු ජයග්‍රහණයක් අත් වුනා. ඉන් පසු සටන වරක් උඩ ගියා, වරක් පහළට ගියා. මේ සටන අද තාවකාලික ව පසු බැස ගිහින්. තරුණ තරුණියන්ගේ ඊනියා බෞද්ධ ප්‍රබෝධය ක්‍රියාත්මක වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක. ඒ රාජ්‍යයට තර්ජනයක් නොවන තාක් එවැනි බෞද්ධ ප්‍රබෝධවලට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඉංගිරිසින් ධර්මපාලතුමාට දැක්වූ විරෝධය ඕල්කට්තුමාට දැක්වූයේ නැහැ.

අප තේරුම් ගත යුතු කරුණ නම් ගැමුණු රජු බිහි කළ සිංහල බෞද්ධ රාජ්‍යය නොවන්නට ලෝකයේ ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් ආරක්‍ෂා නොවන බව.  බුදුදහම නම් පුස්තකාලවල තියේවි. පුස්තකාලවලටත් ථෙරවාදය ගියේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ඒ ග්‍රන්ථාරුඪ කළ නිසා. බෞද්ධ ප්‍රබෝධයක් වුනත් ඇති වන්නෙ බෞද්ධ සංස්කෘතිය රැක ගත් නිසා. අපේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය වර්ධනය කරන සිංහල බෞද්ධ ප්‍රබෝධයකටයි.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 22