Main Logo

Saturday 31 December 2016

රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක මහතා අද අවසන් ගමන් යනවා. එතුමා පිළිබඳ ලිපියක් ලිවීම අවශ්‍යයි. එතුමා වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ නොකිරීම පිලිබඳව පවුලේ අයට අප ස්තුති කළ යුතුයි. එතුමාගේ අභාවය ගැන, මතුපිටින් නොව හදවතින් ම ශෝක වන දසදහස් සංඛ්‍යාත ජනතාව හොරණ නිවසට ඇදී එනවා. එතුමාට රාජ්‍ය ගෞරව ලැබෙන්නේ නැති බව පැහැදිලියි. රාජ්‍ය අනුග්‍රහය කියන එකේ එතරම් වැදගත් කමක් නැහැ. ජනතා අනුග්‍රහයෙන් ජනතා ගෞරවය මැද අවමංගල කටයුතු සිදුවෙනවා ඇති.


අද අවසන් ගමන් යන්නේ රයිගම් කෝරළයේ අසහාය නායකයා. මට කුඩා කල සිට ම එතුමා ගැන දැන ගැනීමට ලැබුණා. මා ජීවත් වූයේ ද රයිගම් කෝරළයේ හොරණට නුදුරින් පාණදුරේ වෑකඩ. 1960 දී මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයකු ලෙස එතුමා හොරණ ආසනය දිනා ගත්තා මට මතකයි. පසුව එතුමා ශ්‍රී ල නි පක්‍ෂයට එක්වුනා. එහි ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කළා. එහෙත් එතුමා කිසි දිනෙක පක්‍ෂය පාවා දුන්නේ නැහැ. අභාවප්‍රාප්ත වන තුරුම පක්‍ෂය අත්හැර වෙනත් පක්‍ෂවලින් තරග කිරීමට ගියේත් නැහැ. එතුමා කිසිම දිනෙක තනතුරු සඳහා හෝ පෞද්ගලික හේතු මත හෝ ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ.

ශ්‍රී ල නි පක්‍ෂය 1951 දී පිහිටුවා ඇත්තේ ලිබරල් පක්‍ෂයක් ලෙස වුවත් වැඩි කල් නොගොස් ම ජාතිකත්වයේ පක්‍ෂයක් බවට පත්වුනා. 1956 දී ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ පිහිටුවනු ලැබුයේත් ජාතිකත්වයේ පක්‍ෂයක් ලෙස. ඒ පක්‍ෂ දෙක ම අදත් ජාතිකත්වයේ පක්‍ෂ ලෙස මහින්ද රාජපක්‍ෂගේ හා දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණක්. විශේෂයෙන් ම චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්‍ෂය බටහිර ජාත්‍යන්තරවාදයේ තවත් එ ජා පක්‍ෂයක් බවට පත්කිරීමට කරන ලද උත්සාහය පරාජය කිරීමත් එහි දී රත්නසිරි වික්‍රමනායක මහතාගෙන් ලැබුණු දායකත්වයක් අප අගය කළ යුතුයි.

ශ්‍රී ල නි පක්‍ෂයත් මහජන එක්සත් පෙරමුණත් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරනවා. අද පංච මහා බලවේගය දිය කර දැමීමට උත්සාහයක් ගැනෙනවා. රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් අපට කළ හැකි උසස්ම ගෞරවය මේ බටහිර ගැති උත්සාහය පරාජය කිරීමයි. එතුමා කලක් මෙරට අගමැති පදවිය දැරුවා. එහෙත් අගමැති පදවිය දැරීම නිසා එතුමා තම ජාතිකත්ව ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන් යැයි කියාගන්නා අවස්ථාවාදීන් භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාරලිමේන්තු ගොස් ඇමතිකම් ලබාගෙන භික්‍ෂූන් වහන්සේ අත්හැරිය ආකාරය අපට අමතක වන්නේ නැහැ. රත්නසිරි වික්‍රමනායක මහතා අගමැති පදවිය දරද්දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් සිංහල මන්ත්‍රී කණ්ඩායම පිහිටුවනු ලැබුවා. රත්නසිරි වික්‍රමනායක මහතා ඒ මන්ත්‍රී කණ්ඩායමේ කටයුතුවලට සහභාගි වූයේ චන්ද්‍රිකා එයට විරුද්ධ බව දැනගෙනමයි.

රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රද්ධාව තිබූ උපාසක මහතෙක්. එතුමා නිතර අටපිරිකර රැගෙන ඡායාරූප ශිල්පීන් ද පිරිවරාගෙන මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගියේ නැහැ. එහෙත් එසේ යන අය බුදුසසුන නැති කිරීමට කටයුතු කරද්දී එතුමා බුදුසසුන රැක ගැනීමට තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහභාගි වුනා. එතුමා සිංහල බුද්ධාගම රැක ගැනීමේ දී සංඝයා වහනසේගෙන් සිදු වී ඇති කාර්යභාරය මැනවින් තේරුම් ගෙන සිටියා. එතුමා කිසි දිනෙක මහා සඟ ගණ මොකද කෙළේ කියා ඇසුවේ නැහැ. එතුමා සිංහල ජාතිකත්වයේ නොබියව දිගින් දිගට ම හිටියා.

මෑතක දී මියගිය  උත්තර භාරතීය සංගීතයට සිංහල නාද රටා එකතු කළ මහතා කතෝලික රටක් වූ පිලිපීනයෙන් මැග්සේසේ ත්‍යාගය ගැනීමේ දී ඊනියා සංහිඳියාවක් වෙනුවෙන් මහා සඟ ගණ මොකද කෙළේ කියා ඇසුවේ සංඝයා වහන්සේට ගරු කිරීමට නම් නො වේ. එහෙත් ඔහුට පූර්ණ රාජ්‍ය ගෞරව ලැබුණා. කිසිවකුට නොකළ පරිදි මෘත දේහය ඊනියා නිදහස් චතුරස්‍රයේ පීඨිකාවක තබා ටොරිංග්ටන් සාමි යැයි කියන තැනැත්තාගේ නමින් ගෞරවයක් ලබා දුන්නා. ඒ මෙරට විශ්වවිද්‍යාල වටා සිටින පුුහු උගතුන්ගේ මන දොළ පිනවීමට කරන ලද්දක්.  එහෙත් සාමාන්‍ය ජනතාවගෙන් ගෞරවයක් ලැබුණේ නැහැ.

රත්නසිරි වික්‍රමනායක මහතාට චිතකයේ දැවීමට ඊනියා නිදහස් චතුරස්‍රවත්, රාජ්‍ය ගෞරවවත් අවශ්‍ය නැහැ. හොරණ ඒ සඳහා ප්‍රමාණවත්. එතුමාට ලැබෙන මහාජන ගෞරවය කාටවත් නවත්වන්න බැහැ. රාජ්‍ය ගෞරවයට වඩා මහාජන ගෞරවය වැදගත්.

රට ජාතිය ආගම වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ රත්නසිරි වික්‍රමනායක මහතා රයිගම් කෝරළයේ පමණක් නොව ජාතියේ ම ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මෙරට ජනාධිපති වීමට සුදුසුකම් තිබූ පුද්ගලයෙක්. එතුමාට නිවන් සුව අත්වේවා!   


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 31