නැගී එන ජාතිකත්වය
සෝවියට් රාජ්‍යය කඩා වැටීමෙන් පසුව ෆුකුයාමා පොතක් ලිව්වා එන්ඩ් ඔෆ් හිස්ටරි කියා. ඔහු සඳහන් කෙළේ ඉතිහාසය එතැනින් එහාට විකාශය නොවන බවයි. බටහිර ක්‍රිස්තියානි ලිබරල්වාදයත් සමග ඉතිහාසය අවසන් වනු ඇතැයි ඔහු කියා සිටියා. ඔහුට අනුව අවසාන ගැටුම වූයේ ලිබරල්වාදය හා සමාජවාදය අතර. සමාජවාදය පරාජය වීමෙන් පසුව ලිබරල්වාදයට අභියෝගයක් නැතැයි ඔහු සිතුවා. එය තවත් හිතළුවක් පමණක් වූවා. එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාර්ථනය වූවා. ඒ පොත ප්‍රකාශ කිරීමටත් පොත් ප්‍රකාශකයන් ඉදිරිපත් වූවා. පොත ඊනියා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට පත්වුනා.
එහෙත් ටික කලකින්ම හන්ටින්ග්ටන් නම් තවත් බුද්ධිමතකු කියා සිටියා ඉතිහාසය අවසන් වී නැති බවත් එයින් පසු සභ්‍යත්ව ගැටුමක් එන බවත්. ඔහු ක්ලෑෂ් ඔෆ් සිවිලේෂන්ස් නමින් පොතක් ලිවුවා. බටහිර සමාජයීය විද්‍යාඥයන් සභ්‍යත්වය නමින් කියන්නේ මනුෂ්‍යත්වයට පසුව මිනිසුන් වර්ග කිරීමට හැකි ප්‍රවර්ගයට, උප කුලකයට. අපට මිනිසුන් ලෙස හැඟීමක් තිබෙනවා. බටහිරයන් කියන්නේ අපට ඉන්පසු හැඟීමක් ඇත්තේ සභ්‍යත්වයකට අයත් වූවන් ලෙස බවයි. මට මතක හැටියට හන්ටින්ග්ටන් සභ්‍යත්ව හයක් ගැන කිවුවා. එහෙත් ථෙරවාද සභ්‍යත්වයක් ගැන ඔහු කතා කෙළේ නැහැ. ඔහුට අනුව ථෙරවාදී රටවල අයට අපේ යන හැඟීමක් නැහැ. එහි තරමක ඇත්තක් තිබෙනවා. අපට මියන්මාරය හෝ තායිලන්තය හෝ කාම්බෝජය හෝ ගැන හැඟීමක් නැහැ. එසේ නම් අපට ඊනියා සභ්‍යත්වයක් නැද්ද? එයින් අදහස් කරනනේ අපට සංස්කෘතියක් නැති බව නොවෙයි. අප බටහිරයන්ගේ සංකල්ප යොදා ගැනීමේ දී පරෙස්සම් විය යුතුයි. චීන සභ්‍යත්වයක් ගැන බටහිරයන් කතා කළත් සිංහල සභ්‍යත්වයක් හෝ ථෙරවාදී සභ්‍යත්වයක් හෝ ගැන ඔවුන් කියන්නේ නැහැ. සිංහලයන්ට අනෙක් සංස්කෘතීන්ගෙන් අනන්‍ය වූ සංස්කෘතියක් නම් තිබෙනවා.
කෙසේ වෙතත් හන්ටින්ග්ටන්ටත් තිබුණේ හිතළුවක් පමණයි. මෙය බටහිර සමාජයීය විද්‍යාවන් හා බටහිර (ස්වාභාවික) විද්‍යාවන් අතර ඇති වෙනසක්. බටහිර ස්වාභාවික විද්‍යාවල කතන්දර ගොතන්නේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට කියමින්. ඒ කතන්දර යොදා ගෙන එහි අනාවැකි කියනවා. එහෙත් හුදෙක් අනාවැකි කීමට කතන්දර ගොතන්නේ නැහැ. සමාජයීය විද්‍යාවන්හි එසේ අනාවැකි කීමටත් කතන්දර ගොතනවා. බටහිර ස්වාභාවික විද්‍යාවල කතන්දර පට්ටපල් බොරු. බටහිර සමාජයීය විද්‍යාවන්හි ගොතන්නේ පට්ට බොරු. ඒවා බොහෝ විට වියුක්ත වන්නේ නැහැ. හන්ටින්ග්ටන් වියුක්ත කතාවක් කිවුවේ නැහැ. සමාජයීය විද්‍යාඥයන්ට වියුක්ත කතා දිරවන්නේත් නැහැ. ගණනාථ ඔබේසේකරගේ ප්‍රොතෙස්තන්ත බුද්ධාගම හා ස්ටැන්ලි තම්බයියාගේ බුදුදහම පාවාදීම සිහිපත් කරන්න. ඒවා බොහොම සංයුක්තයි.
හන්ටින්ග්ටන් සිතා සිටියේ බටහිර සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර ගැටීමක් ඇති විය හැකිය කියායි. එහෙමත් නැත්නම් බටහිර සභ්‍යත්වය හා චීන සභ්‍යත්වය හෝ වෙනත් සභ්‍යත්වයක් හෝ අතර ගැටුමක් විය හැකිය කියායි. මුස්ලිම් සභ්‍යත්වය හා බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය අතර කෙසේ වෙතත් ඇතැම් මුස්ලිම් සංස්කෘතීන් හා බටහිර සංස්කෘතීන් අතර ගැටුමක් තිබෙනවා. එහෙත් අද බටහිර ලෝකයේ මූලික ව ම ඇත්තේ එය නොවෙයි. බටහිර ලෝකයට සංක්‍රමණිකයන් ප්‍රශ්නයක් වී තිබෙනවා. සංක්‍රමණිකයන් අතර මුස්ලිමුන් ද ඉන්නවා. සංක්‍රමණිකයන් නිසා බටහිරයන්ගේ, විශේෂයෙන්ම බටහිර කම්කරුවන්ගේ රැකියාවන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා. එහෙත් බටහිර ලෝකයේ පැතිර යන ජාතිකත්වය ඒ රැකියා ප්‍රශ්නයට ලඝු කරන්න බැහැ. රුසියාවේ පුටින් මතු වී ඇත්තේ මුස්ලිම් සංක්‍රමණිකයන් නිසා නොවෙයි.
අවුරුදු තිහකට පමණ පෙර ලංකාවේ ද ජාතික ව්‍යාපාරය නැවතත් ඉදිරියට පැමිණියේ රැකියා හෝ වෙනත් හෝ ආර්ථික ප්‍රශ්නයක් නිසා නොවෙයි. එය මතුවූයේ ජනවර්ගවලට විරුද්ධ ඊනියා ජාතිවාදී ව්‍යාපාරයක් ලෙසත් නො වෙයි. එය මතුවූයේ ජේ ආර් ජයවර්ධනගේ ජාත්‍යන්තරවාදී ලිබරල් දේශපාලනයට, ඔහු රටේ සංස්කෘතිය විනාශ කිරීමට, රට විවෘත ආර්ථිකයක නාමයෙන් රටේ විවෘත සංස්කෘතියක් ඇති කිරීමට විරුද්ධව. ලොව පුරා ජාතිකත්වය ඉස්මතු වන්නේ ලිබරල් හෝ සමාජවාදී හෝ ජාත්‍යන්තර වාදවලට විරුද්ධව. ජාත්‍යන්තරවාදවලට දේශ සීමා නැහැ.
මෑත කාලයේ බටහිර රටවල ඊනියා ජාතික රාජ්‍ය ඇතිවුනේ නෛතික රාජ්‍ය ලෙස. ඒවාහි ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඒ රාජ්‍ය ආගමික රාජ්‍ය වූවා. එහෙත් බටහිරයන් ඒ රාජ්‍ය අනාගමික හා ජාතික රාජ්‍ය ලෙස හැඳින්වූවා. ඒ නෛතික රාජ්‍යවල ජාතියක් පිළිබඳ හැඟීමක් විඥානයක් තිබුණේ නැහැ. එහි රටවැසියන් වීමට අවශ්‍ය වූයේ සහතිකයක් පමණයි. ඒ රටවලට විශාල වශයෙන් වෙනත් රටවලින් ජනතාව සංක්‍රමණය වුනා. ඔවුන් ඒ රටවල වෙනත් සංස්කෘතීන් ගොඩ නගන්න කටයුතු කළා. එහෙත් ඒ රටවල ප්‍රධාන, විශේෂිත, අධිපතිවාදී සංස්කෘතීන් තිබුණා. මේ අධිපතිවාදී සංස්කෘතිවලට ඇතැම් විට ගොඩ නැගුණු සංස්කෘතීන් තර්ජනයක් වුනා. බටහිර රටවල පැවතියේ අවුලක්. ඒ රටවලත් අපේ රටවල මෙන් ම ජාතියට උඩින් ක්‍රියාත්මක වූ ජාත්‍යන්තරවාදයක් තිබුණා. අර නව සංස්කෘතීන් ගොඩනැගීමේ දී ජාත්‍යන්තරවාදයත් පිටුවහලක් වුනා.
රටවල් පාලනය කෙරුණේ අවසන් වශයෙන් මේ ජාත්‍යන්තරවාදය මගින්. එහි පාලකයන් යැයි පිරිසකට ඇඟිල්ල දික් කරන්න බැහැ. එහෙත් දේශසීමා නැති බහුජාතික සමාගම්, බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම නිර්මාණය කරන්නන්, විශ්වවිද්‍යාල හා ඊනියා පර්යේෂණ ආයතන, දේශ සීමා නැති සිවල් සමාජ ආදිය, පොදුවේ ගත්කල ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රධානීන්ගේ පාලකයන්ගේ කාර්යභාරය ඉටුකළා. බටහිර ජාතීන් මෙන් ම රුසියාව ඇතුළු සෝවියට් ජාත්‍යන්තරයේ හිර වී සිටි ජාතීන් අද සංස්කෘතික හා ජාතික විඥානයක් ඇති රාජ්‍ය බිහිකර ගැනීමට කටයුතු කරනවා. පුටින් මෙන් ම ට්‍රම්ප් නියෝජනය කරන්නේ මේ ප්‍රවණතාවයි. ට්‍රම්ප් බහුජාතික සමාගම්වලට විරුද්ධ අතර බටහිර විද්‍යාවට වෙන් කරන මුදල් අඩුකිරීමට ක්‍රියාකරනු ඇතැයි මතයක් තිබෙනවා. අද ජාතිකත්වය නැගී එන්නේ ජාත්‍යන්තරවාදවලට විරුද්ධ ව පොදු සංස්කෘතියක් ඇති ජාතීන් බිහිකිරීමට. ජාතියකට පොදු සංස්කෘතියක් තිබිය යුතුයි. ලංකාවේ ජාතිය ගොඩනැගුණේ අවුරුදු දෙදහසකට පෙර. අද අපේ ප්‍රශ්නය වී ඇත්තේ ජාත්‍යන්තරවාදයෙන් නිදහස් වී ජනවර්ග තම අනන්‍යතාව රකිමින් ජාතියට, පොදු සංස්කෘතියට එකතුකිරීම.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 03