Main Logo

Wednesday 14 December 2016

මම ක්‍රිස්තියානි අම්මා මතු බුදුවේවා

මම ක්‍රිස්තියානි අම්මා මතු බුදුවේවා


පසුගිය දිනෙක දෙරණ මල්බර දෙරණ වැඩ සටහනට ඩ්‍රීම් ස්ටාර් තරුණියන් තිදෙනකු සහභාගි වුනා. එහි කියැවුනු සමහර කරුණු මට ඇසුණා. ඉන් කරුණු දෙකක් මගේ මතකයේ රැඳුනා. දෙක ම අවසාන වශයෙන් ගත් කළ සංස්කෘතිය සමග බැඳෙනවා. පළමුවෙන් ම නම් වශයෙන් සඳහන් නොකළත් දන්නෝ බුදුන්ගේ ගීතය හා කිශානි ජයසිංහගේ ගායනය ගැන කියැවුනු බව හිතනවා. මේ ගීය ගැයීම පිළිබඳ කළ විවේචන වැඩ සටහනෙහි දී විවේචනයට ලක් වුනා. ගීය ගැයීම විවේචනය කළ අයකු ලෙස මගේ අදහස් නැවතත් කීම අවශ්‍ය වෙනවා.

මා සංගීතඥයකු නො වෙයි. එහෙත් දන්නෝ බුදුන්ගේ ගීතය ගැන මා යමක් දන්නවා. එමෙන් ම මා කිශානි ජයසිංහ හඳුනන්නේ නැති වුවත් ඇය දක්‍ෂ ඔපෙරා ගායිකාවක බවත් ඇය එංගලන්තයේ සංගීතය හදාරා ඇති බවත් මා අසා තිබෙනවා. ඉහත සඳහන් වැඩ සටහනට සහභාගි වූ තරුණියන්වත් වැඩ සටහනෙහි නිවේදන කටයුතු කළ අයවත් මා ගැන දන්නේ නැතිව ඇති. ඔවුන්ට දැන ගැනීම සඳහා මා නැවතත් කිව යුත්තේ මගේ සංගීත දැනුම ශූන්‍යයට ඉතා ආසන්න බවයි. ඒත් සෘණ පැත්තෙන් නොවෙයි! එසේ නම් සංගීතය ගැන කතා කිරීමට මට ඇති සුදුසුකම කුමක් දැයි කිසිවකුට ඇසිය හැකියි.

මා සංගීතය ගැන පමණක් නොව බටහිර ගණිතය හා භෞතික විද්‍යාව ගැන ද අද දන්නේ සංස්කෘතිය හදාරන්නකු ලෙසයි. එහෙත් එහි එකතුවන යාවත් කාලීන වැදගත් දැනුම් ගැන මා කියවනවා. මේ සියලු දැනුම් අද වන විට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නිසා අප මත පැටවෙන දේ. අද මේ සංස්කෘතික ආධිපත්‍යය ලෝක මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. මෙය ඊනියා ජාතික රාජ්‍යවලට උඩින් සිටින ජාත්‍යන්තරවාදයක ප්‍රතිඵලයක්. එය බටහිර රටවල් හරහා තමයි ක්‍රියාත්මක වන්නේ. එහෙත් මේ ජාත්‍යන්තරවාදය ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවලටත් උඩින් තිබෙන එකක්.

එහි පාලකයන් අපට දැකගන්න නැහැ. එහෙත් බටහිර විද්‍යාව, බටහිර සංගීතය, බටහිර සිනමාව, බටහිර සාහිත්‍යය, බටහිර සමාජයීය විද්‍යා ආදිය පමණක් නොව බටහිර ඔත්තු සේවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, විශ්වවිද්‍යාල, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සමාජ ආදිය විසින් මේ ජාත්‍යන්තරවාදය මෙහෙයවනු ලැබෙනවා. යටත්විජිතවාදය ඊනියා ජාතික රාජ්‍ය අභිබවා දැන්  තමන්ගේ ම වූ ආධිපත්‍යයක් අත්කරගෙන සිටිනවා. අද බටහිර රටවල් ක්‍රියා කරන්නේ මේ ජාත්‍යන්තරවාදයට විරුද්ධව ජාතිකත්වය වෙනුවෙන්. බ්‍රෙක්සිට් පමණක් නොව ට්‍රම්ප් ද නියෝජනය කරන්නේ මේ ප්‍රවණතාව. එහෙත් එය සම්පුර්ණ වීමට තව කලක් ගත වේවි. ඒ අතර සිවල් සමාජ ආදිය අප රටවල චින්තනය හා සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කරනවා. ඊනියා විකල්ප ප්‍රතිපත්ති කොන්ද්‍රය ආදිය මෙහි දී විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

අපට පසුගිය සියවසේ මේ ජාත්‍යන්තරවාදය ලැබුණේ ප්‍රධාන වශයෙන් ම එංගලන්තය හරහා. දැන් එය එක්සත් රාජ්‍ය හරහා සිදු වෙනවා. මාත් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. කිශානි ජයසිංහත් බටහිර ඔපෙරා හැදෑරීමට එංගලන්තයට ගිහින්. ඇය බෞද්ධ යැයි කියන විද්‍යාලයක ඉගෙන ගත්තත් ඇයට සංස්කෘතික අධ්‍යාපනයක් ලැබී නැහැ. එය ඇගේ වරදක් නො වෙයි. ඇය ජාත්‍යන්තරවාදයේ නියෝජිතවරියක ලෙස කටයුතු කරනවා. ඇයට ඔපෙරා සිංහල සංස්කෘතියට අවශෝෂණය කරගන්න බැහැ. කේමදාස කෙළේ බටහිර සංගීතයේ තාක්‍ෂණික පැත්ත ගැනීම පමණක් බව වරක් ඔහුගේ දියණියක සඳහන් කළා. එය ඇත්ත. ලංකාවේ ඊනියා විද්‍යාඥයන් ද කරන්නේ එයමයි. ඔවුන් ද බටහිර විද්‍යාවේ තාක්‍ෂණික පැත්ත පමණක් ගන්නවා. ඔවුන්ටත් බටහිර දැනුමට යමක් එකතු කරන්න බැහැ. කිශානිටත් එසේමයි.

දන්නෝ බුදුන්ගේ මුලින් ම ඔපෙරා ශෛලියට ගැයුණු ගීතයක් බව සැබෑව. ඒත් එය කාලයක් ඇවෑමෙන් සිංහල හඬකින් ගැයී විසිවැනි සියවසේ සිංහල ගීතයක් බවට පත්වුණා. මා විසිවැනි සියවසේ කියන විශේෂණය යොදන්නේ විශේෂ අර්ථයකින්. අප තවමත් සිංහල සංගීතය සොයමින් සිටිනවා.  සිංහල සංස්කෘතියට විරුද්ධව වැඩ කරන මේ යමපාලන ආණ්ඩුවේ ඊනියා නිදහස් සැමරුමක දී කිශානි අර විසිවැනි සියවසේ දන්නෝ බුදුන්ගේ තව තවත් සිංහල කරනවා වෙනුවට එංගලන්තයේ ඔපෙරාවක් බවට පත්කිරීමට සිංහල නොවන ජාත්‍යන්තරවාදී කටහඬකින් ගැයුවා. මිනිසුන්ට ගඩොල් බාග අතට ගන්නට මතක් වුනා. එහි වරදක් නැහැ. ගඩොල් බාගයකින් නොගැසුවේ සිංහල සංස්කෘතිය නිසා. එදා වැඩ සටහනට සහභාගි වූ තරුණියන් කළ යුත්තේ කිශානි අනුකරණය කිරීම නොව සිංහල කටහඬ තේරුම් ගැනීමට කටයුතු කිරීමයි. එය උත්තර භාරතීය සංගීතයෙන්වත් බටහිර සංගීතයෙන්වත් ලබාගන්න බැහැ. එහි දී අමරදේවත් කේමදාසත් දෙදෙනා ම නොමග ගිය අය. ඊනියා හැත්තෑවේ දශකයේ ගීත නැවතත් එන්නේ නැහැ. 

මේ තරුණියන්ට සිංහල සංගීතයක් නිර්මාණය කර ගැනීමට පුළුවන්. ඒ බව එකී වැඩ සටහනේ එක් තරුණියක් කී දෙයකින් පැහැදිලි වුනා. ඇය කතෝලික වෙන්න ඕන. මව් ගුණ ගැන කියන අතර ඇය මගේ සිත්ගත් වාක්‍යයක් කිවුවා. ඇය කිවුවා මම ක්‍රිස්තියානි ඒත් අම්මා මතු බුදුවේවා කියා. මේ තරුණියන්ගේ ඇඟේ සිංහල සංස්කෘතිය තිබෙනවා. ජාත්‍යන්තරවාදී අධ්‍යාපනය මගින් අප අපේ සංස්කෘතියෙන් ඈත් කෙරෙනවා. මටත් එසේ වූවා. ඒත් අපේ ඇඟේ සිංහල සංස්කෘතිය තිබෙන තාක් අපට ආපසු එන්න පුළුවන්. කිශානි ගැන පඬි කතා කීවත් මේ තරුණියන්ගේ ඇඟේ සිංහල සංස්කෘතිය තිබෙනවා. එය සුබ අනාගතයකට පෙර නිමිත්තක්.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 14