Main Logo

Friday 23 December 2016

සුපිරි ඇමතිකම කුමකට ද

සුපිරි ඇමතිකම කුමකට ද

සුපිරි ඇමතිකමක් ඇති කරන්න යන බවට කතා පැතිරෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත්. ඒ සුපිරි අමාත්‍යාංශයක් පිහිටුවීම සඳහා . ඒ පිළිබඳ සැකයක් නැහැ. පනත අමාත්‍ය මණ්ඩලයේ දී අනුමත වෙලා. ඒ කියන්නෙ ජනාධිපති සභාපති ධුරය දරණ අමාත්‍ය මණ්ඩලයකින්. මෛත්‍රිපාල අමාත්‍ය මණාඩලයේ දී පනතට විරුද්ධ වුනා ද කියන්න අප දන්නේ නැහැ. ඒවා කැබිනට් රහස්. අපට උගන්වා තිබෙන්නේ කැබිනට්ටුව සාමූහික වගකීමකින් කටයුතු කරනවා කියලා. ඒ හින්ද වෙන්නැති මෛත්‍රිපාල කණ්ඩායමේ සමහර ඇමතිවරු නිහඬ ව ඉන්නෙ. ඒත් ඩිලාන් පෙරේරා නම් සුපිරි ඇමති කෙනකුට විරුද්ධ බවයි පෙනෙන්නෙ. ඔහු ඒ විරුද්ධතාව පෙන්වන්නෙ බැසිල් රාජපක්‍ෂ සුපිරි ඇමතිවරයකු වී සිටියේ යැයි කියමින් රාජපක්‍ෂලාට පහර දෙමින්. ඔහු අනෙක් රාජපක්‍ෂලාට කෙසේ වෙතත් චමල් රාජපක්‍ෂට නම් කැමති බවක් පේන්න තියෙනවා. චමල් රාජපක්‍ෂ අගමැති කරන්න යනවාවත් ද? මෛත්‍රිපාල කණ්ඩායම විපක්‍ෂයට යනවාට වඩා හැකි නම් රනිල්ට අගමැතිකම අහිමි කිරීම රටට වැඩදායකයි.

සුපිරි ඇමති කවුද කියන එක ගැන විවිධ මත තිබෙනවා. ඇතැමුන් කියන්නේ ඒ රනිල් බවයි. තවත් සමහරුන්ට අනුව ඒ මලික් සමරවික්‍රම විය හැකියි. ඒ කුමක් වුවත් සුපිරි අමාත්‍යාංශයක් ඇති කිරීමට යන බව පැහැදිලියි. මේ පනතට මහා ඇමතිවරුන් විරුද්ධ බව පේන්න තියෙනවා. පනත සම්මත වීමට නම් පළාත් සභාවලත් වැඩි ප්‍රමාණයක ඒ සම්මත විය යුතුයි. මේ පළාත් සභාවලට ව්‍යවස්ථාදායක බලතල දීම රනිල්ට විරුද්්ධ ව යන අවස්ථාවක්. පැහැදිලිව ම පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලතල දැනටමත් පළාත් සභා මගින් කප්පාදු වෙලා. ශ්‍රෙෂ්ඨාධිකරණයේ වනසුන්දර මහතා ඇතුළු විනිසුරුවන් හතර දෙනකු වත්මන් ව්‍යවස්ථාව පවා ඒකීය නොවන බව තීන්දු කිරීමට මෙවැනි බලතල කප්පාදුත් හේතු වුනා. පළාත් සභා සතු සියළු ව්‍යවස්ථාදායක බලතල අහෝසි කළ යුතුයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් මේ බලතල සියල්ල දේශපාලනික ව අහෝසි වුනා. කළ යුතුව ඇත්තේ ඒ දේශපාලන ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කර එයට නෛතික තත්වයක් අත්කර දීමයි.

මෙත්‍රිපාලගේ කණ්ඩායම පනතට විරුද්ධ බව පෙනී යනවා. ඒත් මෙවැනි පනතක් කැබිනට්ුවේ සම්මත වීමෙන් නැවතත් පෙන්නුම් කරන්නේ රනිල් ආණ්ඩුවේ ප්‍රධානියා බවයි. මෛත්‍රිපාලට පනත කැබිනට්ටුවේ අනුමත වීම වැළැක්වීමට නොහැකි වූයේ ඇයි? අද ඔහු මහා ඇමතිවරුන් ලවා පනත සම්මත වීම වැළැක්වීමට උත්සාහ ගන්නවා. ඔහු එසේ කළ යුතුයි. එයට හේතුව ඔහු කටින් කුමක් කීවත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට, සංශෝධනය කර බලතල කප්පාදු කිරීමට විරුද්ධ නිසා. ඔහු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අසතුටක් නැති බව ප්‍රසිද්ධියේ කීව ද අවුරුදු දෙකක් ඒ තනතුරේ කටයුතු කිරීමෙන් පසු එහි අනුහස් ඔහුට දැනී ඇති බව පැහැදිලියි.

සුපිරි ඇමති රනිල් වුවත් (වැඩි සම්භාවිතාව රනිල් වීමටයි) මලික් වුවත් (දෙදෙනා ම එක පංතියේ උගත් අය) එතරම් වෙනසක් ඇති වන්නේ නැහැ. දෙදෙනාගේ අදහස් අතර මූලික පරස්පර නැහැ. ප්‍රශ්නය සුපිරි ඇමති කවුද යන්න නොවෙයි. සුපිරි ඇමතිකම කුමක් සඳහා ද යන්නයි. ආණ්ඩුව කියන්නේ ආයෝජනය සම්බන්ධ කරුණු එකම අමාත්‍යාංශයක් යටතේ සිදුවීම ආයෝජකයන්ට පහසුවක් බවයි. එය නිවැරදි නැහැ. ආයෝජකයන්ගේ පහසුව සඳහා කළ යුත්තේ අදාළ කාර්ය එකම වහළක් යට සිදුවීමට සැලැස්වීම මිස එකම අමාත්‍යංශයක් යටතට ගැනීම නො වෙයි. ඒ කාර්ය එකම අමාත්‍යාංශයක් යටතට ගෙන ඒම අනිවාර්ය නැහැ. එකම වහළක් යටට ගෙන ඒම ප්‍රමාණවත්.

මේ අමාත්‍යාංශය පිහිටුවන්නේ එකම එක දෙයකට. ඒ ජනාධිපති සතු බලතල කපා දැමීමට. මේ පනත මගින් විධායක ජනාධිපති සතු බලතල කප්පාදු වෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ද යන්න සොයා බැලිය යුතුයි. මෙය ජනාධිපතිගේ විධායක බලතල සම්බන්ධ නම් පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තවේ තුනෙන් දෙකක ඡන්දයක් මෙන් ම ජනමත විචාරණයක් ද අවශ්‍ය විය හැකියි. ඒ සඳහා අධිකරණ තීන්දුවක් ලබාගැනීමට කටයුතු කිරීමට දැන් පමා වී ද කියා මා දන්නේ නැහැ.

ඒ කොහොම වුනත් මේ පනත හරහා රනිල් සූදානම් වන්නේ ජනාධිපති බලතල කිහිපයක් කපා දමා තමාට ඒ අයිතිකර ගැනීමටයි. මෛත්‍රිපාලට මෙය නොතේරෙනවා වෙන්න බැහැ. ඔහු මහා ඇමතිවරුන් ලවා පනත අහෝසි කරවීමට කටයුතු කරන්නේ එබැවිනුයි. මෛත්‍රිපාලට රටට ආදරයක් තිබෙනවා නම් කළ යුත්තේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. රට දෙකඩ කිරීමට පිඹුරුපත් සකස් කරන්නේ රනිල්. රනිල්ට ජනාධිපතිවරණයකින් දිනන්නට බැරි නිසා  බටහිරයන් හා ඉන්දියාව හා ඔවුන්ගේ ඔත්තු සේවා එකතු වී මෛත්‍රිපාල යොදා ගනිමින් මහින්ද පැරද්දුවා. එයින් කියැවෙන්නේ මෛත්‍රිපාලට මේ රටේ ඡන්ද තිබෙන බව නො වෙයි. ඔහුට ලැබුණු ඡන්දවලින් අති විශාල ප්‍රමාණය එ ජා පක්‍ෂයේ ඡන්ද. ඒ අතර දෙමළ හා මුස්ලිම් ඡන්දත් ලැබුණා. මුහුණු පොතේ අක්මුල් නැති තරුණ ඡන්දත් ලබා ගත්තා. මේ ඡන්ද ලබා ගැනීම බටහිරයන් හඳුන්වන්නේ පශ්චාත් සත්‍ය (පෝස්ට් ට්රුත්) දේශපාලනය ලෙස. බ්‍රෙක්සිට්හි හා ට්‍රම්ප් ජනාධිපති වීමේ දී මේ පශ්චාත් සත්‍ය දේශපාලනය බල පෑ බව ඔවුන් හිතනවා. මේ ගැන විස්තරයක් සති දෙකකට පමණ ඉහත නිවුස්වීක් සඟරාවේ පළ වුනා. බටහිරයන්ගේ විවිධ පශ්චාත් කතාවලින් කියැවෙන්නේ ඔවුන්ට බිහි වෙමින් පවතින ලෝකය තේරුම් ගැනීමට නොහැකි බවයි. ඒ කුමක් වුවත් රනිල් තවමත් ඉන්නේ මිය යන ලෝකයක.  

අද මෛත්‍රිපාල තමා සිටින තත්වය නැවත සිතා බැලිය යුතුයි. තමාටත් රටටත් යහපතක් වන්නේ රනිල් සමග දේශපාලනය කිරීමෙන් නොවන බව ඔහු තේරුම් ගත යුතුයි. රාජපක්‍ෂලාගෙන්  පළා ගිය මෛත්‍රිපාලට අද අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙක ම නැති වෙලා.




මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 23