Main Logo

Thursday 8 December 2016

ප්‍රජාතන්ත්‍රවදය

ප්‍රජාතන්ත්‍රවදය

පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ අතර අද වන විට පළාත් පාලන ආයතන රාශියක මහජන නියෝජිතයන් කියන අය නැහැ. මහජන නියෝජිතයන් මහජනතාව විසින් පත්කෙරෙන අය බව සැබැයි. ඒත් ඔවුන් මහජන නියෝජිතයන් ද යන්න ප්‍රශ්නයක්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් බව අප කියන්නේ අද ඊයේ නොවේ. අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප ඒ බව කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජනයාගේ අදහස් ප්‍රකාශ වන්නේ නැහැ. එහි ප්‍රකාශ වන්නේ දේශපාලන පක්‍ෂවල අදහස් පමණයි. දේශපාලන පක්‍ෂවල අදහස් කියන්නේ ඒ පක්‍ෂවල නායකයන්ගෙ අදහස්.

ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා ගුවන් හමුදාවට නවීන ගුවන් යානා මිළ දී ගැනීමට. ඒ රාජ්‍යාරක්‍ෂාවට කියලා තමයි කියන්නෙ. මේ මිළ දී ගැනීම් අස්සේ කොමිස් ගැහිලිත් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොම වුනත් අගමැති පාර්ලිමේන්තුවෙ කරන ප්‍රකාශ ඉතාමත් පහත් මට්ටමේ දේශපාලන ප්‍රකාශ මිස රාජ්‍ය පාලකයකු කළ යුතු ප්‍රකාශ නොවෙයි. ඔහු කියනවා පහුගිය රජයෙන් මිළ දී ගත්තෙ යුක්රේනයෙන් යකඩ ගොඩක් විතරයි කියලා. ඒ යකඩ ගොඩෙන් හරි මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් හා ගෝඨභය රාජපක්‍ෂගෙ මනා කළමනාකාරීත්වයෙන් ජේ ආර්ලාට, ප්‍රේමදාසලාට, රනිල්ලාට පරද්දන්න බැරි වුනු දෙමළ ජාතිවාදයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනා. ඔවුන්ට විතරක් නොවෙයි චන්ද්‍රිකාටත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න බැරි වුනා.

රනිල් මේ තරම් පහළට ඇද වැටෙන්නෙ මොකද කියන ප්‍රශ්නයට පස්සෙ උත්තරයක් දෙන්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් ඔහු දැන් දන්නවා තමන් අදක්‍ෂයකු බව. ඔහුට උපදෙස් දෙන අයට ලංකාව ගැන වැටහීමක් නැහැ. ඒ මොනවා වුනත් ඔය අලුත් ගුවන්යානා නැතිව වුවත් ඔහුට උතුරු පළාතේ හමුදාවට විරුද්ධව කෙරෙන උද්ඝෝෂණ, කෙණෙහිළි නවත්වන්න පුළුවන් වෙන්න ඕන. පොලිස්පති සර්ලාගෙන් උපදෙස් ගැනිල්ල නවත්වන්න පුළුවන් වෙන්න ඕන. දෙමළ ජාතික සංධානයෙ ලොක්කන් ප්‍රභාකරන් හා කොටි සමරන එක නවත්වන්න පුළුවන් වෙන්න ඕන. උතුරු හා නැගෙනහිර පළාත්වල බුදු පිළිම වහන්සේලා වඩා හිටුවන්න පුළුවන් වෙන්න ඕන. ආණ්ඩුවේ බැරිකම දක්වන හොඳම සංකේතය බවට රනිල් පත්වෙලා. මෛත්‍රිපාල කියන කතා අහන්නවත් කවුරුවත් නැහැ. ඔහු උදේට කියන එක හවසට නැහැයි කියනවා.

පළාත් පාලන ආයතනවල අද තීරණ ගන්න කවුරුන්වත් නැහැ. නිලධාරීන් එදිනෙදා කටයුතු කරගෙන යනවා. පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට අලුත් ක්‍රමයක් පහුගිය කාලයෙ පාර්ලිමේන්තුවෙ සම්මත වුනා. ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඡනද කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සහ තවත් දේ සිදු කළ යුතුව තිබුණා. සීමා නීර්ණ කොමිසම දැන් තම කාර්යය අවසන් කරළා. ඒත් ඇමති මුස්තාෆා කොමිසමේ කාලය දීර්ඝ කරලා.  ඇමති ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොතරම් කල්පනා කරනවා ද? ඒත් බොහෝ දෙනා දන්නවා ඇමතිට ඕන මෛත්‍රිපාල අනුව යමින් මෛත්‍රිපාල මරපු පක්‍ෂයෙන් ඉදිරිපත්වෙන අය පළාත් පාලන ආයතනවලට නොතේරෙන එක වැළැක්වීම බව. ඒත් ඒක හැමදාම කරන්න බැරි බව මුස්තාෆත් මෛත්‍රිපාලත් නොදන්නවා කියලා හිතන්න බැහැ

මේ අතර බැසිල් පළාත් පාලන ආයතනවලට තරඟ කරන්න ඉන්න පිරිසක් මුල් කරගෙන අලුත් පක්‍ෂයක් හදාගෙන යනවා. අප අලුත් පක්‍ෂයක් හදන්න ඕන කියලා කිවුවෙ පහුගිය අගෝස්තු මැතිවරණයට ඉස්සර. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයෙ නායකයො ඒක ප්‍රතික්‍ෂෙප කළා. ඒකාබද්ධ විපක්‍ෂය කරල තියෙන වැරදි අප්‍රමාණයි. ඔවුන් අද ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක හිරවෙලා. අද රනිල්ට විරුද්ධව දේශපාලන පක්‍ෂයකට ඇත්තෙ බැසිල්ගෙ පක්‍ෂය පමණයි. බැසිල්ට විරුද්ධ අය බොහොමයි. ඒත් ඔවුන් ප්‍රමාද වූවා වැඩියි. ඔවුන් පක්‍ෂයක් හදන්න තිබුනෙ කලින්. බැසිල් වඩාත් ම තර්ජනය වී තිබෙන්නෙ මෛත්‍රිපාලට හා ඔහුගෙ අවතාරවලට. මෛත්‍රිපාල ජනාධිපති තනතුර වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය මරා දාපු එකේ පාපයට අද දඬුවම් විඳිනවා.

ඔහුගෙ ගෝල බාලයන් අද සූදානම්ලු නව ක්‍රමය යටතෙ පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වෙන්න. පැරදුනත් කමක් නැතිලු! ඔවුන් මොකාට එන්න හදනව ද කියලා පැහැදිලි නැහැ. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පැරදෙන්න තරම් ඔවුන් පරිත්‍යාගශීලීන් නොවෙයි. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වෙන්න හදනවා ද? මේ අතර ජ වි පෙ පැරණි ක්‍රමයට යන්න හදනවා. ඔවුනුත් එසේ කරන්නෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදෙ නමින්. මේකට ප්‍රජාතන්ත්‍රවදේ කිවුවත් කමක් නැහැ. ජ වි පෙ හොඳට ම දන්නව අලුත් ක්‍රමයෙ යටතෙ ඔවුන් පරදින බව. කස්ත්‍රොත් නැති කාලෙ ජ වි පෙරමුණට අනාගතයක් නැහැ. ඔවුන්ගෙන් කැඩුණු අයටත් තනිව ම ගමනක් නැහැ. අර කුමාර් ගුණරත්නම්ගෙන් අහල බලන්න ඔහු ඕස්ටේ‍රිලියාවෙ රටවැසිකම ගත්ත වෙලාවෙ ලංකාවෙ රටවැසිකම අත්හැරිය ද කියලා. ඔහුට ඔ්්ස්ටේලියාවෙවත් ලංකාවෙවත් කරන්න දේශපාලනයක් නැහැ.

මේ දේශපාලනඥයන් මොනව කිවුවත් පළාත් පාලන ආයතන සඳහා ඉක්මණින් මැතිවරණ පවත්වන්න ඕන. අලුත් ක්‍රමයට ඒ පවත්වන්න වැඩි කාලයක් ඕනෙ නැහැ. බොරු කතන්දර කිය කිය ඉන්නෙ නැතිව මැතිවරණ පවත්වන්න ඕන. ඒකෙන් පත්වෙන්නෙ තවත් දේශපාලනඥයන් පිරිසක් විතරයි. ඒකට කරන්න දෙයක් අද නැහැ. දැනට අපට දේශපාලනඥයෙන්ගෙන් හා ප්‍රජාතන්ත්‍රවදයෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. එහෙම ක්‍රමයක් හදාගන්න තව ටික කලක් යාවි. 



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 08