Main Logo

Sunday 26 August 2018

ජී එල් හා මුස්තාෆා


ජී එල් හා මුස්තාෆා



මා ලියන කියන බොහෝ දේට බොහෝ දෙනා (අතිවිශාල බහුතරය -– හතරපස්දෙනකු මගේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒවාට කැමැත්ත පළ කරන්නේ ඉතා සුළු පිරිසක්. – බොහෝ මහින්දවාදීන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්. සිරිසේනවාදීන් මා ගැන දන්නෙවත් නැහැ.) අකමැති බව මා දන්නවා. මේ ලියන දේ කියවන්නන් ඉන්නේ ඉතා ම අඩු පිරිසක් බවත් දන්නවා. මේ ලිපිවලින් සතපහක වැඩක් වන්නේ නැති බවත් දන්නවා. ඒත් මා මෙයට ඇබ්බැහි වෙලා. මේ දවස්වල නීතිය ගැන වැඩිපුර කතා වෙනවා. පාර්ලිමේන්තුව කියන්නෙ නීති හදන තැන. අධිකරණය කියන්නේ පාර්ලිමේන්තුව වෙනුවෙන් නීති විවරණය කරන තැන. අද ප්‍රධාන කතා දෙකක් කියැවෙනවා. එකක් මහින්දට (හා චන්ද්‍රිකාට) නැවතත් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්න පුළුවන් ද කියන එක. දෙවැන්න සීමා නීර්ණ වාර්තාවට ෆයිසර් මුස්තාෆාත් විරුද්ධ ව ඡන්දය දීම. මුස්තාෆාත් ජනාධිපති නීතිඥයෙක්. මහින්දට පුළුවන් කියන ජී එල් සම්ම ජාතියේ උසාවි ගිහින් නැහැ. ඔහු නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයෙක්. නීතිය පිළිබඳ පොත්පත් ලියල තියෙන කෙනෙක්. නීතියට කිසිම දෙයක් අලුතෙන් එකතු කරලා නැති කෙනෙක්. මෙරට කිසිම නීතිඥයෙක් නීතියට අලුත් දෙයක් එකතු කර නැති නිසා ඒකෙ ගාණක් නැහැ.




මේ රටේ නීති හදන්නෙ  බොහෝ වෙලාවට තම තමන්ගෙ පෞද්ගලික/පක්‍ෂ න්‍යාය පත්‍ර උඩ මිස රටේ වුමනාවන් උඩ නො වෙයි. ජේ ආර් සමානුපාතික මනාප ක්‍රමය හඳුන්වලා දුන්නේ එ ජා පක්‍ෂය නැවතත් ආසන අටට නොයන්න. 30%ක පමණ ඡන්ද ප්‍රමාණයක් කොහොමටත් ඇති එ ජා පක්‍ෂයට අඩුම තරමෙන් ආසන 225න් 70ක්වත් ලබා ගැනීම ඔහුගෙ අරමුණ වුණා. කුඩා පක්‍ෂවලටත් එය සෙතක් වුණා. එහෙත් ජනතාවට අවශ්‍ය වුණෙ තම කොට්ටාශයට මන්ත්‍රීවරයෙක්. සංධානය තම පැවැත්ම සඳහාවත් ජනතා මතයට තරමක් කන් දුන්නා. ඒ අනුව ඡන්ද ක්‍රමය කේවල සමානුපාත මිශ්‍රණයකට හරවන්න තීරණය කළා. ඒ සඳහා පණතක් ගෙනාවා. එකෙ අඩුපාඩුකම් එමටයි. නීති කෙටුම්පත් නිලධාරීන්ට එක්කෝ වැඩ බැහැ, නැත්නම් දේශපාලනඥයන්ගෙ ඕනෑ එපාකම් පිරිමහන්න ගිහින් වැඩ වරද්ද ගන්නවා.



පෙබරවාරි පළාත් මැතිවරණයෙන් සීමා නීර්ණ ප්‍රශ්න මතුවුණා. දැන් පළාත් සභා වාරෙ. ඒකට සීමා නීර්ණ කමිටුවක් පත් කෙරුණා. එහි සාමාජිකයන් වුණෙ තවලිංගම් (සභාපති), හස්බුල්ලා, අනිලා බණ්ඩාරනායක, සිරිවර්ධන හා විජේසන්දිරන්. මේ අයගෙන් කී දෙනකු සිංහල බෞද්ධ ද? අනිලා මා දන්න විධියට එක්කො අදේවවාදි එහෙම නැත්නම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. සිරිවර්ධන බෞද්ධ නොවෙයි නම් ඒ කමිටුවෙ එකදු සිංහල බෞද්ධයෙක් නැහැ. රටේ ජනගහනයෙන් 70%ක් සිංහල බෞද්ධ.



මේ කමිටුවෙන් බලාපොරොත්තු වුණෙ දෙමළ මුස්ලිම් අයට වාසි සහගත සීමා නීර්ණයක්. එහෙත් විවිධ පක්‍ෂවලට ඉන් වාසි වුණෙ නැහැ. මුස්තාෆටත් අවසානයෙදි ඒකට විරුද්ධ වෙන්න සිදු වුණා. ඒ කමිටුවෙ හිටපු හස්බුල්ලා ඊයෙ මිය ගිහින්. හේතුව දන්නෙ නැහැ. මුස්තාෆා තාම දේශපාලනිකවත් ජීවත් වෙනවා. හකීම් දැන් කෑ ගහනවා බහු මන්ත්‍රී කොට්ඨාශ ඇති කළෙ නැත්නම් ආණ්ඩුවෙන් අස්වෙනවා කියලා. එයාට අස්වෙන්න කියන්න. ඒත් එයාගෙ කොන්දේසිවලට එකඟ වෙලා ඒකාබද්ධ විපක්‍ෂෙට ගන්න ඕනෙ නැහැ. සිංහල බෞද්ධයන් මුස්ලිම් දෙමළ දේශපාලනඥයන්ට යට වෙන එක තමයි හැම ප්‍රශ්නයකට ම වගේ මුල. දෙමළ ආසන බෙදීම සෝල්බරි කොමිසම කාලෙ ඉඳන් එන එකක්.



මහින්දට නැවත එන්න පුළුවන් කියන එක ජී එල් මවන දුමක් පමණයි. ඔහු සහායට තම මස්සිනා කෙනකු වූ නිහාල් ජයවික්‍රමත් අරගෙන. ඒමදිවට සරත් සිල්වා ජී එල්ටත් ඉහළින් මහින්දට පක්‍ෂ වෙන්න යනවා. අප මතක තියා ගන්න ඕන සරත් සිල්වා මහින්දට විරුද්ධව දුන් තීන්දු. නීතිය විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. කොමාවක් එහාට මෙහාට කරල වචනයකට වෙනත් අර්ථයක් දීලා විවිධ විවරණ කරන්න පුළුවන්. සරත් සිල්වවත් ජී එල්වත් කරන විවිරණ එක ම විවරණය නො වෙයි.



සරත් සිල්වා අගවිනිසුරු කාලෙ නම් ඔහුගෙ විවරණ අවසන් විවරණ. ඒ එයට විරුද්ධව යන්න තැනක් තිබුණෙ නැති නිසා. අද එහෙම නො වෙයි. ඔහු දැන් අගවිනිසුරු නො වෙයි. හිටපු අගවිනිසුරු කියන්නෙ මොන අර්ථකථනයකට අනුවවත් වත්මන් අගවිනිසුරු නො වෙයි. පසුගිය දා  ඔහු මහින්දට සහාය දෙන්න ඇවිත් ප්‍රශ්නයකට මැදි වෙලා. ඔහු කියාවි තමන් පැමිණියෙ මිතුරකු ලෙස මිසක් නීතිඥයකු ලෙස නොවෙයි කියලා. ඒ කොහොම වුණත් කාගෙ කාගෙත් විවිධ පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන බව නම් පැහැදිලියි.



අද ජී එල් ගැන පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂක ලෙසත් කතාවක් ඇති වෙලා. ජී එල් මහින්ද ගේන්න පුළුවන් කියල දුමක් මවන්නෙ තමන්ගෙ බලාපොරොත්තුව වහන්න ද? මහින්ද වුණත් දුම්වලින් අන්ධ වෙන්න පුළුවන්. දහනවවැනි සංශෝධනයෙන් මූලික වශයෙන් වුණෙ දහඅටෙන් කර තිබූ සංශෝධනයක්, දෙවරක් ජනාධිපති වූ අයකුට තවත් කිහිප වරක් ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට හැකි වන ලෙස කළ සංශෝධනය, ආපසු හැරවීමයි. දහඅටෙන් බිහි වූයේ අලුත් ජනාධිපති කෙනෙක් ද? දහනවෙන් අලුත් ජනාධිපති ධුරයක් ඇති වුණෙ කෙසේ ද?



මේ ඇස් බැන්දුම් කතා නැතිව රනිල් ඉවත් කරන ක්‍රමයක් සොයන්න. මට නම් තවමත් ඇත්තේ මෛත්‍රිපාල ශක්තිමත් කිරීම පමණයි. එයට විකල්පයක් ඇත්නම්, මට  සිරිජාතිකවාදියා කිය කිය ඉන්නෙ නැතිව, කරුණාකර ඉදිරිපත් කරන්න. එය 2019 ජනාධිපතිවරණය නොවිය යුතුයි. 2019 වනතුරු රනිල් හිටියොත් රටක් නැති වේවි.