Main Logo

Saturday 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.




ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ද බුදුදහමටත් බුද්ධාගමටත් අගෞරව කරපු හාමුදුරුනමක්. උන්වහන්සේ මන්ත්‍රී හාමුදුරුකෙනකු වුණෙ සුප්‍රසිද්ධ  විද්‍යාලංකාර ප්‍රකාශය අනුව නො වෙයි. චම්පක හාමුදුරුවරුන් තම දේශපාලන වුවමනාවන් සඳහා යොදා ගනිමින් බුදුදහමට හා බුද්ධාගමට අපහාස කළා පමණක් නොව එහි පරිහාණියටත් කටයුතු කළා. වරක් මහරගම වජිරඤාණ ආයතනයට දේශනයක් සඳහා මා ගිය අවස්ථාවක දී චම්පක දේශපාලනයට විරුද්ධව කතා කළා කියලා තරුණයන් කිහිප දෙනකු මට තර්ජනාත්මක ව හැසිරුණා. ඒ රැස්වීමේ මූලාසනයේ සිටියේ නිව්යෝක් නුවර පන්සලක ද වැඩ වසන හාමුදුරුනමක්. මා කතා කෙළේ චම්පක බුදුදහම හා බුද්ධාගම තම දේශපාලනයට යොදා ගැනීමට විරුද්ධ ව. ඒත් අර නායක හාමුදුරුවන්ට මා කී දේ නයාට අඳුකොළ වගේ වුණා. රතන හාමුදුරුවො තාමත් පාර්ලිමේන්තුවෙ. උන්වහන්සෙ චම්පකත් සමග ඉන්නව ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි.



බුදුදහමට හා බුද්ධාගමට අපහාස කිරීම අගෞරව කිරීම ඒ යොදා ගැනීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවෙයි. ඒත් දැන් එය ඔඩු දුවා ගොස් තියෙනවා. අප නැවතත් ඉන්නේ දහනවවැනි සියවසේ අග භාගයේ කියා හිතෙනවා. එහෙත් එදාට වඩා අද ප්‍රශ්නය බරපතළයි.  දහනවවැනි සියවසේ බෞද්ධ ප්‍රබෝධයට මුල් වුණු පාණදුරේ බද්දේගම වගේ නගර ගත්තොත් එහි බුදුදහමට විරුද්ධව ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙතෝදිස්ත බලපෑම් තදින් තිබුණා. බෞද්ධ ප්‍රබෝධය එක් අතකින් ඒ ක්‍රිස්තියානි බලපෑම්වලට විරුද්ධව ඇති වුවක්. එකල සංඛ අමර්ජිත්ලා ඉන්නෙ නැතිව ඇති. එවකට වැඩ විසූ හාමුදුරුවරුන් ගිහියන් ඒ ක්‍රිස්තියානි අභියෝගයට මුහුණ දුන්නා. එහෙත් ඒ බෞද්ධ ප්‍රබෝධය ඕල්කට්තුමා පීලි පැන්නුවා. අප එය කලින් සාකච්ඡා කර තිබෙනවා.



ඕල්කට්තුමා ද ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සම්භවයක් ඇත්තෙක්. චන්ද්‍රිකා හා රනිල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය. රනිල්ගේ පරම්පරාවත් බද්දේගම. ඔහුගෙ තාත්තා ඇංග්ලිකන් ක්‍රිස්තියානි බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයෙක්. චන්ද්‍රිකාගෙ සීයා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි. ඇංග්ලිකන්/මෙතෝදිස්ත බලපෑම කතෝලික බලපෑම මෙන් ඇඟට දැනෙන්නේ නැහැ. මෙත්තානන්ද මහතා වුවත් කතා කෙළෙ කතෝලික ආක්‍රමණයක් ගැන. මගේ අධ්‍යාපනය නිසා ම ඇංග්ලිකන්/මෙතෝදිස්ත බලපෑම මට දැණුනා. මගේ පාසල් මිතුරන් අතර ඒ පල්ලි දෙකේ පූජකවරුන්, ඇතැම් විට ප්‍රධාන පූජකවරයකු, ඉන්නවා.



මගේ අධ්‍යාපනයෙන් මට තවත් බොහෝ දේ දැනගන්නට ලැබුණා. එකක් නම් නීට්ෂෙ කිව්වට දෙවියන් වහන්සේ මැරී නැති බව. දෙවියන් වහන්සේ ඉන්නවා. අප දෙවියන් වහන්සෙ  හොයා ගත්තා. දෙවියන් වහන්සේ ඉන්නෙ බටහිර විද්‍යාවෙ හා බටහිර ගණිතයෙ. බටහිර විද්‍යාව මතුපිටින් දෙවියන් වහන්සේ නැහැ කියාවි. එහෙත් එහි චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි. බටහිර ගණිතය මුළුමනින් ම දෙවියන් වහන්සේ අනුගමනය කරනවා. බොහෝ දෙනකු මා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. ඔවුන් දන්නෙ නැහැ මහා පිපිරුමේ ද දෙවියන් වහන්සේ ඉන්න බව.



බොහෝ සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාව බුදුදහමත් එක්ක එකඟ වෙනවා කියන්න කැමතියි. එහෙම එකඟ වෙනවා නම් සිංහල බෞද්ධයන් තොග ගාණෙ බටහිර විද්‍යාඥයන් වන්න ඕන. එහෙත් එකම සිංහල බෞද්ධ විද්‍යාඥයෙක්වත් නැහැ. යුදෙව්වන් නම් තොග පිටින් බටහිර විද්‍යාඥයන් බිහි කරනවා. අඩු ගණනේ එහෙම වෙන්නෙ මොකද කියන එකවත් සිංහල බෞද්ධ උගතුන් කල්පනා කරන්නෙ නැහැ. බටහිර විද්‍යාව බුදුදහමත් එකඟ වනවා කියන එක තරම් බුදුදහමට කරන අපහාසයක් තවත් නැහැ. චන්ද්‍රිකාලා පඬි පෝතකයන් බුදුදහමට හා බුද්ධාගමට එක පැත්තකින් අපහාස කරන අතර මේ උගතුන් ද තවත් පැත්තකින් අපහාස කරනවා බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරමින්.



මේ ළඟදි එක් පඬියකු කියා තිබුණා බුදුදහම පශ්චාත්නුතනවාදී කියා. ඔහු බුදුදහමවත් පශ්චාත්නූතනවාදයවත් දන්නේ නැති බව පැහැදිලියි. බටහිර දර්ශනයෙත් භාරතීය දර්ශනයේත් උත්සාහ ගන්නෙ පැවැත්ම කියන එක තේරුම් ගන්න. පැවැත්ම වාස්තවික ද සාපේක්‍ෂ ද නැත් ද වෙන මොකක්වත් ද යන්න තමයි මොන දර්ශනයෙත් කතා කරන්නෙ. බුදුුහාමුදුරුවො මේ ප්‍රශ්නය පැත්තකට දැම්මා. මේ දැනුම නොදැනුම බවට පත් කිරීමයි බුදුදහාමුදුරුවන්ට අවශ්‍ය වුණෙ. පටිච්චසමුප්පාදයෙහි පැවැත්මක් ගැන කතා කරන්නෙ නැහැ. නොදැනුම කියන්නෙ තවත් දැනුමක් නොවෙයි. එහෙම නම් නිවන් බෝධ* කරගත් (මට මෙයට තවමත් වචනයක් නැහැ. බුදුහාමුදුරවො බුද්ධත්වයට මිසක් අවබෝධත්වයකට පත් වුණෙ නැහැ.  අප බටහිර විද්‍යාව පශ්චාත්නූතනවාදය අදිය අවබෝධ කරගන්නවා. එහෙත් නිවන අවබෝධ කරගන්නෙ මොන මනසකින් ද? නිවන් අවබෝධයක් ගැන අප කතා කරනවා. එහෙත් එහි වරදක් තියෙනව. පශ්චාත්නූතනවාදය මූලික වශයෙන් ජර්මන් වැඩක්. කාන්ට්ගෙ පටන් (ඔහු පශ්චාත්නූතනවාදියකු ලෙස සැලකීමෙන්) කතා කරන්නෙ පැවැත්ම පිළිබඳ දැනුමෙ දි නිරීක්‍ෂකයා සහභාගි වන ආකාරය. ඩෙරීඩා සාත්‍රේ වැන්නන් ප්‍රංශ ජාතිකයන් වුවත් ඔවුන් ද කතා කෙළෙ මේ ප්‍රශ්නයෙ විවිධ පැතිකඩ. බුදුදහමෙ එහෙම කතාවක් නැහැ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙ කියන්නෙ දැනුමෙ සාපේක්‍ෂ බව ගැන.



මේ කොහෙම වුණත් චන්ද්‍රිකා ද රනිල් ද චම්පක ද පඬියන් ද ආදී මේ සියල්ලන් ම බුදුදහමට හා බුද්ධාගමට අපහාස කරනවා අගෞරව කරනවා.  සමහරු තම දේශපාලන වුවමනාවන්ට ඒ යොදා ගන්නවා. සංඛ මොනව කිව්වත් දැන් ඉවසුවා ඇති. අපි බුදුදුහම හා බුද්ධාගම මේ අපහාස කාරයන්ගෙන් ද ආරක්‍ෂා කර ගන්නා නායකයකු තෝරා ගනිමු. එය හුදෙක් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියට සීමා විය යුත්තක් නො වෙයි.        
*(බුදුහාමුදුරුවන් බුද්ධත්වයට මිස අවබෝධත්වයට පත් වුණේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ. ඒ නිසා බුදුහාමුදුරුවො නිවන සම්මාබෝධ කළා යන්න නිවැරදි විය හැකියි. සම්මා යන වචනය බෞද්ධ සංස්කෘතියේ නිතර යදෙනවා. සම්මා කියන්නෙ නිවැරදි නොවෙයි. යහපත් කියන එකයි. සම්මාදිට්ඨියත් සමග සම්මාබෝධය ගැලපෙනවා.)