Main Logo

Thursday, 23 August 2018

ලකුණු දමා ගැනීම් හා මාධ්‍ය සංදර්ශන




                              ලකුණු දමා ගැනීම් හා මාධ්‍ය සංදර්ශන



අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ දේශපාලනඥයන් විතරක් නො වෙයි. ඒකට කරන්න දේකුත් නැහැ. මාධ්‍ය අද බලවත් වෙලා. මාධ්‍ය නැතිව කිසිම අදහසක් රටට දෙන්න බැහැ. විශේෂයෙන් ම රූපවාහිනිය අද බලවත්. මාධ්‍යත් දේශපාලනඥයන් හා වෙනත් ගිහි පැවිදි ප්‍රභූන් දැක්කම මයික්‍රොෆෝන අරගෙන දුව ගෙන යනවා. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් ද ප්‍රභූන් ද මාධ්‍ය කතා කර ගෙන්වා ගන්නවා ඊනියා වොයිස්කට් ගැනීමට.




මේ සංදර්ශන ලකුණු දමා ගැනීමේ ක්‍රමයක්. ජනතාව අතර පුහු වීරයන් බවට පත් වීමට අද මාධ්‍ය මගින් පුළුවන්. දේශපාලනඥයන්ට අවසානයේ දී අවශ්‍ය වන්නෙ ඡන්දය. ප්‍රභූන්ටත් අවශ්‍ය වන්නෙ ඡන්දය. ඒ පාර්ලිමේන්තුවට හරි පළාත් සභාවට හරි යන්න නො වෙයි. ජනප්‍රිය ප්‍රභූවරයකු, පඬියකු, බුද්ධිමතකු, උගතකු වෙන්න. කලකට ඉහත ජනප්‍රිය සංස්කෘතිය ගැන කතා තිබුණා. ඒකත් බටහිර සංකල්පයක්. මා හිතන්නෙ සරත් අමුණුගම දේශපාලනඥයා තමයි එය ලංකාවට හඳුන්වා දීමේ ඊනියා ගෞරවය ලබා ගත්තෙ. බටහිර සංකල්පයක් ප්‍රවාදයක් ලංකාවට හඳුන්වා දෙනවාට වැඩිය දෙයක් කරන්න මෙරට උගතුන්ට බැහැ.



මෙරට මිනිසුන්ට මතකයක් නැද්ද විචාර බුද්ධියක් නැද්ද නැත්නම් ඔවුන්ට වෙනත් ආබාධයක් තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. මේ නිවට ආණ්ඩුව බලයට පත් කරන්න මාධ්‍ය සංදර්ශන පවත්වපු ප්‍රභූන් අද මාධ්‍ය සංදර්ශන පවත්වනවා ආණ්ඩුව විතරක් නොවෙයි රට ම කුණු ගොඩක් කියලා. රට කුණු ගොඩක් කෙළේ කවුද කියන එක හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා තවත් මාධ්‍ය සංදර්ශන පවත්වමු ද? සිංගප්පූරුවෙන් නොවෙයි කේරළෙන් හා තවත් ප්‍රදේශවලින් තව කුණු ටිකක් ගෙනාවට මොක ද වෙන්නෙ. තවත් මාධ්‍ය සංදර්ශන පවත්වන්න අවස්ථාව ලැබෙනවා. මෙරට මිනිසුන් හිතන්නෙ මාධ්‍ය සංදරශන පවත්වන්න අවස්ථාවක් නැති අය කිසි දෙයක් නොකරන අය කියලා. මොන කඳවුරේ වුණත් මාධ්‍ය සංදර්ශන ගැන කියන්න ඕන. 



මා මේ පූර්විකාව පළ කෙළේ බුදුදහමට අපහාස කරන අර ගුවන් විදුලි නාට්‍ය ගැන විවිධ අය විවිධ දේ ජනමාධ්‍ය මගින් කියනවා අහලා දැකලා  කරුණු කිහිපයක් කියන්න. මේ නාට්‍ය ගැන මාධ්‍යයෙන් මුලින් ම අදහස් පළ කෙළෙ ඕමල්පෙ සෝභිත හිමියන්. උන්වහන්සෙ කිව්වෙ, ඒ වචන ම පාවිච්චි කෙළෙ නැතත්, ශාසනික යෙදුම් දූශ්‍ය කිරීමක් ගැන. එහෙත් එසේ වූ මුල් අවස්ථාව මෙය නො වෙයි. පිරිත් සජ්ඣායනා වෙනුවට ගීත සජ්ඣායනා පටන් ගත්තෙ සුනිල් ආරියරත්න නන්දා මාලිනී සංයෝගයෙන්. සමහරු එයට සුසංයෝගය කියනවා වෙන්න පුළුවන්. ඒ දවස්වල ඒ ගැන තරමක විරෝධතාවක් ඇති වුණා. ඒත් විරෝධතාවට මාධ්‍යයෙන් රුකුළක් ලැබුණෙ නැහැ. ගීත සජ්ඣායනාව දිගට ම ගියා. මා හිතන්නෙ වටාපතකුත් අදාළ දැන්වීමෙ තිබුණ කියලා. මා වැරදි වෙන්න පුළුවන්.



අදාළ නාට්‍යයවල හඬ නළු නිළියන් ලෙස පෙනී සිටිය අයගෙ ඡායාරූපයක් දැන් සමාජයීය මාධ්‍යවල කැරකෙනවා. ඒක දැකපු සමහර අය අහනව අහවලාත් හිටිය ද කියලා. ඒ අතර මහා කලා කරුවන් කියා ගන්නා අය මේ පළමු වාරණයට විරුද්ධ වෙන්න ඕන කියනවා. අර ඩාවින්චි කෝඩ් තහනම් කළ බව මේ ඊනියා කලා කාරයන්ට අමතක ද? මොවුන් හිතන්නෙ තමන් මහා නිර්මාණශීලීන් කියලා. ඔවුන් බොහෝ දෙනා දන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන්න පමණයි. මා නම් අර හඬ නළු නිළියන් ගැන පුදුම වෙන්නෙ නැහැ. මේ සියලු දෙනා ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ අවජාතක දරුවන්. මහා විචාරකයකු කලා කරුවකු බුද්ධිමතකු විදග්ධයකු වීමට පහසු ම මග සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීමයි.   



ඕමල්පෙ හාමුදුරුවො ගැන මාත් අදහසක් පළ කලා. ඒ උන්වහන්සේ ශාසනයට අගෞරව කළ අයුරු සිහි ගන්වමින්. 2004 මැතිවරණයට උන්වහන්සේලා චම්පිකගෙ ජාතික හෙළ උරුමය දේශපාලන පක්‍ෂයෙන් උන්වහන්සේලා පාර්ලිමේන්තු වැඩියා. දැන් මැදගොඩ අභයතිස්ස හාමුදුරුවොත් උඩලමත්තෙ දි අදහස් ප්‍රකාශ කරලා. මැදගොඩ හාමුදුරුවො අර නාට්‍ය ගැන වචනයක්වත් කියනව මට ඇහුණෙ නැහැ. සමහරවිට දෙරණ රූපවාහිනිය ඒ කොටස් ප්‍රචාරය කෙළේ නැතුව වෙන්න පුළුවන්.



මැදගොඩ හාමුදුරුවො කරුණු දෙකක් සඳහන් කළා. එක රනිල් හා විමල් ඕමල්පෙ හාමුදුරුවන් ගැන කී දේ වෙනත් විධියකට කියන්න තිබුණ එක. දෙක භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු දේශපාලනයට වැඩම කිරීම ගැන තමන් වහන්සේ එකල ම විරුද්ධ වූ බව. මේ දෙක අතර සම්බන්ධය කියන්න මැදගොඩ හාමුදුරුවො මා ඇසූ ප්‍රවෘත්ති ප්‍රචාරයෙ දි නම් උත්සාහ ගත්තෙ නැහැ. එකක් අනෙකට කිසිම සම්බන්ධයක් නැතිවයි ඉදිරිපත් වුණෙ. මැදගොඩ හාමුදුරුවන්ට ඕන වුණෙ ඕමල්පෙ හාමුදුරුවන් විවේචනය කරන්න ද? වජිරාරාමයේ අදාළ රැස්වීමට මැදගොඩ හාමුදුරවන්ටත් ආරාධනයක් ලැබිල උන්වහන්සේට ප්‍රබලයකු අසළ ම ආසනයක් පනවල තිබුණ කියලත් උන්වහන්සෙගෙන් ම දැන ගන්න ලැබුණ.



මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මතක හැටියට හාමුදුරුවරු සංවිධානාත්මක ව පාර්ලිමේන්තු වඩින්න පෙළඹුණෙ 2004 දි. ඊට කලින් සමසමාජයෙ සමිත හාමුදුරුවන් පාර්ලිමේන්තුවට වැඩම කළා. මැදගොඩ හාමුදුරුවො 2004 දී හාමුදුරුවරු පාර්ලිමේන්තු වැඩම කිරීමට ප්‍රසිද්ධියෙ විරුද්ධ වුණෙ කොහෙදි ද? ඒ ගැන වාර්තාවක් එහෙම තියෙනවා ද? මා මෙහෙම අහන්නෙ දැන ගැනීම සඳහා පමණයි.