Main Logo

Wednesday, 29 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17

(බැසිල්ගේ වික්‍රම)



මුහුණු පොතේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලෙ ඉන්න බොහෝ අයටත් වඩා මෝඩයන් බව එන්න එන්න තව තවත් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලවල හිටපු සමහර මෝඩයන් මුහුණු පොතෙත් ඉන්නවා. මා කලින් දවසක කිව්වා සිරිසේන විරෝධය සංවිධානාත්මක ව කෙරෙන්නක් කියලා. ඒ කියමනෙන් සිරිසේන විරෝධී සියල්ලන් සංවිධානයකට අයත් කියලා කියන්නෙ අමුතු ම අනුමාන නීතියකට වෙන්න ඕන. සිරිසේන විරෝධය සංවිධානාත්මක ව ගෙන ඒමට තුන් හතර දෙනෙක් ඇති. ඒක කරන විධිය බටහිරත් ඉන්දියාවත් දන්නවා. යාන්ත්‍රණය තිබෙනවා නම් මෙවැනි සංවිධානයකට තුන් හතර දෙනකු හිටියා ම ඇති. දැන් කවුරු හරි මුහුණු පොතේ මෝඩයකු තීරණය කරන්න පුළුවන් මුහුණු පොතේ  සියල්ලන් මෝඩයන් කියා මා කියා තිබෙනවා කියා.




එතෙර මෙතර මෙරට මහාචාර්යවරුන් ආචාර්යවරුන් ගැන මා හොඳාකාර දන්නවා. ඔවුන් කිසිවකු තම ක්‍ෂෙත්‍රයට  නව සංකල්පයක් ප්‍රවාදයක් හඳුන්වා දී නැහැ. මාත් එහෙම තමයි. මට එසේ කළ නොහැකි බව මා දැන ගත්තේ මා එංගලන්තයට ආචාර්ය උපාධිය සඳහා ගිය මුල් දිනවලමයි. බොහෝ දෙනාට තම තරම හඳුනාගන්න බැහැ. ඔවුන් කිසි දිනෙක ඒ බව දැන ගන්නේ නැහැ. එහෙත් ඔවුන් මුහුණු පොතේ ලියන දෙයින් ඔවුන්ගෙ තර්ක ශක්තිය, නිගමන හැකියාව හා තවත් දේ පෙන්නුම් කරනවා. මේ එතෙර ඉන්න පඬියන් ලංකාවට පැමිණි වෙලාවක ඔවුන් සමග ප්‍රසිද්ධ වාදයක් කිරීමට මා සූදානම්. එන දිනය කල් ඇතුව දන්වන්න.



මහින්දට ඉන්දියාව සම්මානයක් දෙන්න යනවලු. එන පොට හොඳ නැහැ. අද ඉන්දියාව තේරුම් ගනිමින් සිටිනවා රනිල්ට තව දුරටත් කරගෙන යෑම අමාරු බව. අප මහින්ද අගමැති කරන්න කියලා කියන්නෙ අවුරුදු තුනක වෙලේ සිට. එහෙත් සිරිසේන විරෝධය නිසා එය කරගන්න තරමක් අපහසු වෙලා. ඉන්දියාව මේ සූදානම් වන්නේ කුමන නැටුමකට ද? ඉන්දියාව නැතිව අපට මහින්ද අගමැති කරවීමට හැකි විය යුතුයි.



ඉන්දියාව කිසිම දෙයක් කරන්නේ නැහැ එයින් තමන්ට වාසියක් අත් නොවන්නේ නම්. අප කලින් කිව්වේ ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර කළ ආකාරය, ඔවුන් පුහුණු කළ ආකාරය පිළිබඳ ව. අද සිරිසේන විරෝධි මහින්දවාදීන් දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න බොහෝ කලින් අප කොටි පැරදවිය යුතු ය පැරදවීය හැකි ය කියා තීවේ. එකල ද අද මෙන් ම පඬියන් ඊනියා යුද්ධ විශේෂඥයන් අපට හිනාවුණා. පඬියන්ගේ හිනා හඬෙහි ඇත්තේ බොල් බවක්. තමන්ට කිසිවක් කර ගියා ගන්න බැරිය යන හැඟීමක්. ඔවුන් දන්නේ බොහෝ විට අනුන් සපයන දත්ත හා මත ප්‍රචාරය කිරීම පමණයි.



මහින්දත් කොටි පැරදවීමට ආවේ බොහොම පස්සෙ. ඔහු මුලදී ඇහුවෙ යුද්ධ කරන්න මොකෙන් ද කියලා. නමුත් ඔහුට කොටි පැරදවීමට හමුදා මෙහෙයවීමට මාවිල්ආරුවෙන් බල කෙරුණා. අප නැවත අවධාරණය කරනවා මෙරට යුද්ධයක් නොතිබූ බව. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්‍රභාකරන් හා කොටි පැරදවීම මිස දෙමළ ජාතිවාදය (ඊයේ ලිපිය කියවන්න) පැරදවීම නොවෙයි. බටහිරට නම් ප්‍රභාකරන් පැරදවීමටවත් අවශ්‍ය වී තිබුණේ නැහැ. එහෙත් ඉන්දියාවට රජීව් ගාන්ධි ඝාතනය තිබුණා.  2009 දී ඉන්දියාව මැදිහත් වීම නැවැත්වීම අවශ්‍ය වුණා. එසේ නැත්නම් තවත් ගාමිණි දිසානායක සිද්ධියක් පරිප්පු දැමීමක් ඊනියා ඉන්දු ලංකා ගිවිසුමක් (මේ ගිවිසුම් ඊනියා වන්නේ ඒවා ඉන්දියාවේ තනි කැමැත්තට අප වෙත බලෙන් පටවපු නිසා) ඇති වීමට ඉඩක් තිබුණා. එහෙත් අප එකා මෙන් සිටියා නම් ඉන්දියාවට කුද ගහගන්න කියා අපට කොටි පරාද කරන්න තිබුණා. කොටි පැරදවීම 1971 හා 1987-90 ජ වි පෙ පැරදවීම මෙන් ම රටේ අභ්‍යන්තරික කටයුත්තක් බව අපට කියන්න තිබුණා. එසේ නොකියන නිසා තමයි තවමත් රණවිරු දඩයම කෙරෙන්නෙ.



එහෙත් බැසිල් එසේ කල්පනා කළේ නැහැ. ඔහු ඉන්දියාවට ගොස් ඉන්දියාව මැදිහත්වීම නැවැත්තුවා. අපේ ප්‍රශ්නය ඉන්දියාවේ මැදිහත්වීම නැවැත්වීමට  බැසිල් ඉන්දියාවට දුන් පොරොන්දු මොනවා ද කියා. ඉන්දියාව තමන්ට වාසියක් නැතිව කිසිවක් කරන්නේ නැහැ. බැසිල් ගාමිණී දිසානායකගෙන් වැඩ ඉගෙන ගත් ගෝලයෙක්. ඉන්දු ලංකා ගිවිසුම නිසා තමයි උතුරු හා නැගෙනහිර පළත් දෙමළ ජනයාගේ ඊනියා සාම්ප්‍රදායික වසභූමි ලෙස පිළිගැණුනෙ. ඉන්දු ලංකා ගිවිසුම අද වන විට වලංගු නොමැති වුවත් ලංකාව නිවට කමට එය තවමත් පිළිගන්නවා. මහින්දත් එය පිළිගත්තා. අද උතුරු පළාතේ සිංහලයන් පදිංචි කිරීිමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වන විට මේ ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කතාවත් බලපානවා.



බැසිල් ඉන්දියාවට දුන් පොරොන්දු මොනවා ද? 13+ ඔහු ඉන්දියාවට පොරොන්දු වූ දෙයක් ද? මා වරක් ඒ බව සඳහන් කළ විට බැසිල් මට තර්ජනාත්මක ව විද්‍යුත් ලිපියකින් කියා සිටියේ නොදන්නා දේ කතා නොකරන ලෙසයි. මා ඔහුගෙන් හැරෙන තැපෑලෙන් විමසුවේ ඒ ලිපිය එවුවේ ඔහු ද කියා, එයට අද වන තුරුත් පිළිතුරක් නැහැ. කෙසේ නමුත්  මහින්ද ඒ දිනවල 13+ කතා කළ බවත් ඊනියා උගත් පාඩම් කොමිසමක් පත් කළ බවත් අමතක නොකළ යුතුයි. මා ඒ කොමිසම ඉදිරියේ සාක්‍ෂි දී කියා සිටියේ විසඳන්නට දෙමළ කතා කරන ජනයාට ප්‍රශ්නයක් නැති බව. සාක්‍ෂිය අවසානයේ දීු කොමිසමේ සාමාජිකයකු කීවේ එහෙම වුණත් අප දෙමළ කතා කරන ජනයාට යමක් දිය යුතු බව! කාදිනල්තුමාත් ඒ කොමිසමට කියා සිටියේ දෙමළ කතාකරන ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බවයි. එකල කතෝලික පල්ලියේ මෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත පල්ලිවලත් මතය වූයේ එයයි. අපට මහින්ද එතැනින් මුදවා ගනීමට විශාල අරගලයක් කරන්න සිදු වුණා. එය සාර්ථක වුණා.



2009න් පසු අවුරුදු දෙකක් ඉන්දියාව ජෙනීවාහි දී අපට සහාය දුන්නා. ඒ 13+, ඊනියා උගත් පාඩම් කොමිසම ආදිය නිසා. එහෙත් මහින්ද  බැසිල් මෙන් නොවෙයි. මහින්ද ඉතාමත් ඉහළ ම ගණයේ උදාර දේශමාමයකයකු යැයි මා කියන්නේ නැහැ. මේ දේශපාලනඥයන් ගැන මා දන්නවා. දයාන් විදේශීය තානාපති සේවයට ජෙනීවා නුවරට පත් කෙළේත් මහින්ද. එහෙත් බැසිල්ලා මෙන් නොව මහින්ද ජනමතයට කන්දෙනවා. ඔහුගේ ශක්තිය ඇත්තේ එතැනයි. ජනතාව අනෙක් බොහෝ දේශපාලනඥයන්ට වඩා ඔහු සමග ඉන්නේ ඒ නිසයි. 13+ට හා ඊනියා උගත් පාඩම් කොමිසමට විරුද්ධ ව සිංහල ජනමතයක් ඇති වූ විට මහින්ද තම 13+ ස්ථාවරයෙන් ඉවත් වුණා. ඒ ගැන අප ඔහුට ප්‍රශංසා කරනවා. මහින්ද තම ස්ථාවරය වෙනස් කළ  බව ප්‍රසිද්ධියේ කීවේ නැහැ. එහෙත් ඉන්දියාව දැන ගත්තා මහින්ද බැසිල් මෙන් නොවන බව.         



එදා සිට ඉන්දියාව බටහිරයන්, විශේෂයෙන් එංගලන්තය සමග එකතු වී මහින්දට විරුද්ධ වුණා. විදුලි පුටු, අරාබි වසන්ත තර්ජන මහින්දට තිබුණා. එහෙත් මහින්ද ජනමතයත් සමග සිටියා. ඉන්දියාව මැදිහත් වී මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් කඩා ගත්තා. එහි දී රාජිත චම්පක වැන්නන් මැදිහත් වුණා. මෛත්‍රිපාල කෙළේ හොඳ වැඩක් යැයි අප කියන්නේ නැහැ. එහෙත් ඔහු රනිල් කරා තල්ලු කෙළේ බැසිල්. ගෝඨාභය කැමැත්ත පළ කර සිටිය දී බැසිල් මෛත්‍රිපාලට අගමැතිකම දීමට විරුද්ධ වූ බව කියැවෙනවා. අගමැතිකම  නැතිව වූ විට පක්‍ෂය අත්හැරීම හරි ද වැනි ප්‍රශ්න වැඩක් නැහැ. ඒ ප්‍රශ්න අසන්නන් එයට වඩා සුළු දේට වෙනස් වෙනවා. මේ ගැන අප ප්‍රසිද්ධියේ කතා කළ යුතුයි. ඊනියා දරුස්මාන් වාර්තා ව්‍යාජ වාර්තා. සිංහලයන් 65%ක් එකතු වන්නේ නම් මේ ඕනෑම ව්‍යාජ වාර්තාවකට මුහුණ දෙන්න පුළුවන්. අපට ප්‍රශ්නය වී ඇත්තේ ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණය වීමත් සිංහලයා පක්‍ෂ අනුව බෙදී සිටීමත්.



එකල ජාතිකත්වයේ පක්‍ෂය වූ  ශී ල නි ප අද මරා දමලා. එය මැරුණේ මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වූ දා. එය මරා දැම්මේ බැසිල්. මේ කියමනට බොහෝ බැසිල්වාදීන් විරුද්ධ වන බව මා දන්නවා. මට එය ප්‍රශ්නයක් නො වෙයි.