Main Logo

Wednesday 1 August 2018

හෝමොසේපියන්ලා හා බටහිර දැනුම


හෝමොසේපියන්ලා හා බටහිර දැනුම



ලංකාවට මිනිසුන් ඉස්සෙල්ලා ම ආවෙ කවදා ද? ඒ මිනිසුන් සිංහල ද දෙමළ ද? වගේ ප්‍රශ්න අහන කොට ප්‍රබුද්ධ බවක් පේනවා. ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඒ ප්‍රකාශවලට වැදගත් තැනක් දෙනවා. ඒ කතා තම නාළිකාවල තලු මර මරා කියනවා. ඇතැම් මහින්දවාදිනියන් ඒ ප්‍රකාශ තම මුහුණු පොත් පිටුවල උපුටා දක්වනවා. මහින්දවාදීන්ට මා කියන ඇතැම් දේ රුස්සන්නේ නැහැ. ඒ නිසා මා කියන දෙයක් උපුටා දැක්වීමට මහින්දවාදීන් පෙළඹෙන්නේ නැහැ. මහින්දවාදීන් නොවන ඇතැම් ජාතිකවාදීන් ද එසේමයි.




මේ ප්‍රශ්නවල හා පිිළිතුරුවල පදනමේ ඇත්තේ මුල් ම මිනිසා ඇති වුණේ කොහේ ද යන ප්‍රශ්නය මත. මුල් ම මිනිසා කියා අයකු හිටියා ද? ඒ හිටියේ පිරිමියකු ද ගැහැණියක ද? අර ලුසී ආච්චි ගැන ඒ දිනවල කතා තිබුණා. ලුසි ආච්චිට ඒ නම දැම්මෙ කවුද? ඇය හිටියෙ අප්‍රිකාවෙලු. ඇයට අප්‍රිකානු නමක් දාන්න තිබුණ නෙ. එහෙමත් බැහැ. දැන් අප්‍රිකාවෙ අයටත් ක්‍රිස්තියානි මුල් නමක් තියෙනවා. නෙල්සන් මැන්ඩෙලාගෙ වගේ. ලුසි ආච්චිගෙ කාලෙත් එහෙම ද දන්නෙ නැහැ. නැහැ එහෙම වෙන්න බැහැ. සුද්දො ආවෙ ඊට පස්සෙ කියනවා නොවැ.



හෝමොසේපියන්ස්ලා ගැන කතා කරන්නෙ තවත් හෝමොලට පස්සෙ. අපේ පාසල් වියේ දි නම් හෝමො කිව්වෙ වෙනින් කට්ටියකට. ඒ මොකක් වුවත් හෝමොලා විකාශය වෙලා තියෙන්නෙ යම් ජීවියකින්. ඒ මුල් ම ජීවියා ඇති වුණෙ කොහොම ද? පෘථිවියෙ අර ආදිම සුපයෙන් ද? මේ සියල්ලෙහි ආරම්භය විශ්වවේදයෙහි මහා පිපිරුම ද? මහා පිපිරුම  ඇති වුණෙ කොහොම ද? ඒක නිකම්ම ඇති වුණා ද? ඒකට හේතුවක් තිබුණ ද? ඒ වෙලාවෙ දෙවියන් වහන්සෙ හිටිය ද? දෙවියන් වහන්සෙ මැවුවෙ දෙවියන් වහන්සෙම ද? කාන්ට්ට රේඛීය චින්තනයෙහි එහෙම කියන්න පුළුවන් ද? අර මෙයුස ද කවු ද කියන ප්‍රංශ කාරයා (ඉංගිරිසිත් හරියට නොදැන ප්‍රංශ වචන ශබ්ද කරන්න මට කොහොමටත් බැහැ. මෙයුස ද මොකක් ද කියලා ලියන්න ඉංගිරිසි අකුරු 11ක් යොදා ගන්නවා.) කාන්ට්ට උත්තර දීලා අනුමාන යථාර්ථවාදයක් ලියල තියෙනවා ද? ඒ යථාර්ථවාදය 2007 පමණ සිට 2017 පමණ දක්වා පැවතුණු එකක් ද? හෙගල් ද කෙළෙ අනුමාන ද? ඊනියා අපෝහකයෙන් ලබා ගන්නෙ අනුමාන ද? මාක්ස් කියු භෞතිකවාදය ලෙනින් විඥානවාදයක් බවට පත් කළා ද? ලෝකය සමාජවාදයට සූදානම්වන්න කලින් ලෙනින් කම්කරු පංති විඥානය කම්කරුවන්ට ලබා දීල පක්‍ෂයක් ගොඩ නගලා අවුලක් කෙරුව ද? ඒ ගොඩනගපු සමාජවාදී රාජ්‍යය කොමියුනිස්ට් වෙන්න කලින් බර්ලින් තාප්පය කඩා දැම්මෙ කවුද? ඒක වාස්තවික යථාර්ථවාදය අනුව සිද්ධ වුණ එකක් ද? ලෙනින් ලෝකය සමාජවාදයට සුදානම්වන තුරු බලා හිටිය නම් මිනිසුන්ගෙ ජීවිත ලක්‍ෂ ගණනක් ඉතිරි වෙන්න තිබුණ. විජේවීරත් ගල්කටස් විප්ලවයෙන් මිනිසුන් නොමරා ඉන්න තිබුණ. එත් එතකොට රනිල්ට අනුර දිසානායක නැති වෙනවා.  මා කිව්වෙ දේශපාලන අර්ථයකින් පමණයි.



අපට කාන්ට්වත් හෙගල්වත් මාක්ස්වත් ලෙනින්වත් අවශ්‍ය නැහැ. අපට එහෙමකට කියලා දර්ශනයක් ඇත්තෙත් නැහැ. ඔය දර්ශන අර හැටදෙකෙන් එකකට අයිති වෙනවා. අප සම්‍යක්දෘෂ්ටියක් ගැන කිව්වට  ඒක ඊනියා දර්ශනයක් නොවෙයි. විශ්වවිද්‍යාලවල ඊනියා බෞද්ධ දර්ශනයක් උගන්වන්නෙ බටහිර අනුකරණය කරන්න ගිහින්. අපට ඕන අවසානයේ සියලු දෘෂ්ටි නැති කරන්න. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙහි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ඊනියා යථාර්ථයක් ගැන කියන්නෙ නැහැ. එහි කියැවෙන්නෙ නිරීක්‍ෂකයන්ගෙ නිර්මාණ ගැන.  ඒ කොහොම වුණත් අග්ගඤ්ඤ සූත්‍රය නම් ඔය ලුසි ආච්චිගෙ කතාවට විරුද්ධයි.



පහුගිය කාලෙ ඔය විද්‍යාඥයන් ට ම සැකයක් ඇති වෙලා මුල් ම මිනිසා බිහිවුණෙ ආසියාවෙ ද අප්‍රිකාවෙ ද කියලා. මා ඒ බව සඳහන් කරලා සති කිහිපයකට පෙර ලිපියක් ලිව්ව. දැන් ඊනියා හෝමොසේපියන්ස්ලා ලංකාවට ආවෙ ආසියාවෙන් ද නැත්නම් අප්‍රිකාවෙන් ද? ඒ අනුව සිංහල ද දෙමළ ද කියලා තීරණය කරන්න පුළුවන් ද? ඔය හෝමොසේපියන්ස්ල බල්ලන් එක්ක ලංකාවට එන්න ඉස්සෙල්ල මෙහෙ හිටිය සතුන් කවරේ ද? චිම්පන්සි හරි වෙනත් වානර වර්ගයක් හරි හිටිය ද? ඔවුන් ඇති වුණෙ කොහොම ද? දෙවියන් වහන්සේට, බයිබලයට (මේ යුදෙව්වන්ගෙ පරණ තෙස්තමේන්තුව ගැනයි) වඩා කිට්ටු ලමාක් ද ඩාවින් ද?  ඩාවින් තෝරා ගෙන තියෙන්නෙ ඩාවින් වඩා කිට්ටු නිසා ද?



ලංකාවට සිංහලයො කොහෙන්වත් ආවෙ නැහැ. ඒක ගැන කියන්නෙ හෝමොසේපියන්ස් පඬි කතා අවශ්‍ය නැහැ. බයිබලය මත පදනම්වෙලා සිංහලයන්ගෙ කතා විස්තර කරන්න බැහැ. ඔය පුරාවිද්‍යාඥයො යොදන යුගත් එහෙමයි. බටහිර පුරාවිද්‍යාඥයන් ලෝකෙ විස්තර කරන්නෙ ඒ ගොල්ලන්ට සාපේක්‍ෂව, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂව. ඔවුන් ඒ දැනුම අප මත පටවනවා. මෙරට පුරාවිද්‍යාඥයන් කියන අයත් ඒ කතා වමාරනවා.



සිංහලයන් ඇති වුණෙ ලංකාවෙමයි. ඒ යක්‍ෂ නාග දේව රාක්‍ෂස වංග කාලිංග ජනයා මිශ්‍ර වෙලා. සිංහලයන්ට ඔවුන්ගේ ම වූ භාෂාවක් ද පසුව රාජ්‍යයක් ද තිබුණ. ඒක සිංහල බෞද්ධ රාජ්‍යය. සිංහල බෞද්ධ රාජ්‍යයෙ අරමුණ නිවන් දැකීම කියලා කියන්න පුළුවන් සමාජවාදී අබෞද්ධයන්ට. ඒක සමාජවාදය හරි, බර්ලින් තාප්පය නොකැඩුණා නම් කොමියුනිස්ට්වාදය හරි ඇති කරනවා වගේ එකක් නො වෙයි. ඒ වුණත් අපි නිවි හැනහිල්ලෙ ඉන්න වීරිය කරපු ජාතියක්. නිවි හැනහිල්ල කියන වචන නම් නිවන සමග යම් ආකාරයකට සම්බන්ධ වෙනවා. සිංහලයන් මෙරට ම ඇති වුණත් දෙමළ කතාකරන ජනයා නම් පැමිණ ඇත්තෙ මැතක පිටින්. ඒත් මෙරට සිටින සියලුම දෙමළ කතා කරන ජනයා එසේ පැමිණියා නො වෙයි. දෙමළ බස කතා කරන වෙල්ලාලයන් ලන්දේසින්ගෙ ආධාරයෙන් යාපන අර්ධද්වීපයෙහි සිටි සිංහලයන් දෙමළ භාෂාව කතා කරන පිරිසක් බවට පත් කරලා. ලංකාවෙ දෙමළ භාෂාවක් ඇති වූ බවට සාක්‍ෂි නැහැ. අද දකුණු ඉන්දියාව කියන ප්‍රදේශයෙහි නම් ඇති වුණා. ඇත අතීතයෙ මෙරට සිටියා කියන්නෙ දෙමළ බස කතා නොකළ දෙමළ පිරිසක් ද?