Main Logo

Friday 3 August 2018

අප්පච්චි මොකද කරන්නෙ


අප්පච්චි මොකද කරන්නෙ



ඊයේ ජනබල සේනා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ලිප්ටන් වටරවුමෙන් විහාරමහා දේවි උද්‍යානයට පෙළපාළියක් ගියා. එහි රැස්වීමක් තිබ්බා. ගැලරි කතා ටිකක් කෙරුණා. සෙනග ආපහු ගියා. ඊළඟ රැස්වීම කවදා ද?





විහාරමහා දේවි එළිමහන් රංග පීඨයට රැස්වූ වැඩි ම සෙනග නොවෙයි ඊයේ හිටියේ. මා රැස්වීම දැක්කේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් බවත් කියන්න ඕන. ඔවුන් සෙනග අඩු කරලා පෙන්නුව ද දන්නෙ නැහැ. ඒත් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි. අඩු තරමෙන් රංග පීඨය පිරෙන්න මිනිසුන් එන්නෙ නැති එකෙන් ඒකාබද්ධ විපක්‍ෂෙට පණිවුඩයක් ගෙනෙන්නෙ නැද්ද? 



2004 දි රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න පුළුවන් වුණා. ඒ ඔහු අගමැති වෙලා අවුරුදු තුනකට පස්සෙ. ඒ කාලයෙහි ඔහු කිසිවකුටවත් (පාර්ලිමේන්තුවටවත් ජනාධිපතිනි චන්ද්‍රිකාටවත්) නොදන්වා නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් එංගලන්තයේ අවශ්‍යතාවට ප්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කළා. 2004 මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ අගමැති වුණා. ඔහු 2005 නොවැම්බරයේ ජනාධිපති වුණා.



2004 දි රනිල් ඉවත් කරන්න බැරි වුණා නම් මොකක් වෙන්න තිබුණ ද? ඒ ප්‍රශ්නය අහන එක වැරදි බව මා දන්නවා. ඉතිහාසයේ අහවල් දේ නූණා නම් මොකක් ද වෙන්න තිබුණෙ කියල අහන එකේ වැදගත් කමක් නැහැ. මා ඒ ප්‍රශ්නය අහන්නෙ වර්තමානය වෙනුවෙන්. රනිල් ඉවත් කරන්න අද මොකක් ද කරන්නෙ. අප්පච්චි මොකක් ද කරන්නෙ.



2004 රනිල් ඉවත් කරන්න බොහෝ දෙනකු කටයුතු කළා. එහෙත් අද ඒ උනන්දුව නැහැ. අද රනිල් රැකෙන්නෙ ජ වි පෙ නිසා පමණක් නො වෙයි. මෛත්‍රිපාලත් මහින්දත් ඔහු රකිනවා. මා එසේ කීම ගැන මහින්දවාදීන් මට විරුද්ධ වේවි. එහෙත් මා කියන්නේ මට තේරෙන දේ. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න අවශ්‍යතාව තිබුණත් ඔහුට ඒ සඳහා ශක්තිය නැහැ. දහසයේ කණ්ඩායම මහින්ද අගමැති කිරීමට යම් උත්සාහයක් ගත්තා.  ඒ උත්සාහය තවම තියෙනවා ද?



අද ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කරනවා ජනාධිපතිවරණයක් තියේවි ද  විධායක ජනාධිපති ධුරය තියේවි ද ආදිය ගැන නිශ්චිත අවබෝධයක් නැතිව. විස්ස සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයත් නොතිබෙන්න ඉඩ තියෙනවා. දැන් විපක්‍ෂ නායකකම ගැන කතාවක් ඇවිල්ල. ඒ මහින්ද ද දිනේෂ් ද වෙල්ගම ද වගේ කතා කියනවා. මේවත් නිකම් බටහිර විද්‍යා කතන්දර වගේ. හරියනකම් මොන මොනව හරි කියවනවා.



අද එක එක්කෙනා තම තමන්ගෙ හුරතල් ව්‍යාපෘති හදාගෙන. එහි දී ඊනියා වෘත්තිකයෙ ඉදිරියට ඇවිල්ල. ඒ අයට මතක නැහැ දේශපාලනයත් අද වෘත්තියක් බව. කට්ටියක් සිංගප්පූරු ගිවිසුම ගැන කියනවා. බටහිර වෛද්‍යවරු මාසයකට වතාවක් විතර වර්ජන කරනවා. මේ කවුරු මොනව කිව්වත් (ඔවුන් කරන දෙයක් නැහැ) රනිල් තමන්ගෙ වැඩ ටික කරගෙන යනවා. රට විකුණනවා. රණවිරුවන් මර්දනය කරනවා. ව්‍යවස්ථාව හදනවා. කිසිම නිෂ්පාදනයක් නොකර ජනතාවට බදු පනවනවා. රනිල් මෛත්‍රිපාලට තමන්ගෙ වැඩ කිසිවක් කියන්නෙ නැහැ. ජනාධිපතිට මීට වඩා බලතල තිබුණු කාලෙ චන්ද්‍රිකාට නොකිය වැඩ කළ රනිල් චන්ද්‍රිකාට තරම් බලතල නැති චන්ද්‍රිකාට වඩා දුර්වල මෛත්‍රිපාලට තමන් කරන දේ කියාවි ද? මෛත්‍රිපාල තමන් සමහර දේ දැනගන්නෙ ජනමාධ්‍යයෙන් කියන විට පුදුම වෙන්න දෙයක් නැහැ.



ඊයේ කතාවලින් කිසි ඵලක් වේවි ද? රාජපක්‍ෂ ආණ්ඩුවක් ඇති කරන්න කතා කළාට ඒක කරන්නෙ කොහොම ද? ඊළඟ මැතිවරණයෙන් ද? එය තියාවි ද? තිබ්බත් ඡන්ද ලැබේවි ද? 2010න් පසු මහින්දට (හරි පක්‍ෂයට හරි) ලැබෙන ඡන්ද එන්න එන්න අඩුවෙනවා නේද? ඊනියා නව ලිබරල් දෙවැනි ඉණිම කතා බොරු වාමාංශිකයන්ට හොඳයි. කවුරුවක්වත් දැන් පශ්චාත්නූතන කතා කියන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් පශ්චාත් පශ්චාත්නුතන කතා කියනවා ද?



හැමදාමත් බලාපොරොත්තු පමණක් දීල මිනිසුන් රඳවා ගන්න බැහැ. අනෙක බලාපොරොත්තු දෙන්නෙත් නිශ්චිත අර්ථයකින් නො වෙයි. මේ ආණ්ඩුව විකුණන දේ ගන්න එපා කියලා මහින්ද කිව්වා. ඒ විකුණන දේ ගැන තමන් ආණ්ඩුවක් පිහිටෙවුවම සැලිකිලිමත්  වෙනවා කියලත් කිවුවා. සමහරු හිතන්නෙ ඒ කිවුවෙ විකුණපු දේ ආපහු ගන්නවා කියලා. එහෙම ගැලරි කතා කියල මොකක් ද බලාපොරොත්තු වෙන්නෙ. ආණ්ඩුව කියන්න පුළුවන් තමන් කිසිම දෙයක් විකුණල නැහැ කියලා. නීතියට අනුව නම් ආණ්ඩුව හරි. ආණ්ඩුව තව තව දේ කියාවි. මා එතනින් එහාට ඒ ගැන කියන්නෙ නැහැ.



මාධ්‍ය සංදර්ශන ගැලරි කතා දැන් හොඳට ම ඇති.