Main Logo

Wednesday 8 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 14



වඩුකොඩෙයි සම්මේලනයෙන් ටික කලකට පසු මුස්ලිම් ජනයා අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ද උඩරට වතු කම්කරු දෙමළ ජනයා තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ද සම්මේලන සංධානයෙන් ඉවත් වුණා. ඒත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය තවදුරටත් චෙල්වනායගම් නමැති ත්‍රස්තවාදයේ පියා යටතේ ක්‍රියාත්මක වුණා. දෙමළ ජාතිවාදීන් ද ඔහු පියා ලෙස සලකනවා. එමෙන් ම ඔහු අවිහිංසාව ගරු කළ අයකු ලෙස ද ලංකා ගාන්ධි ලෙස ද සලකනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ගාන්ධි අවිහිංසාවාදියකු ලෙස පෙනී සිටියත් ඔහුත් කෙළේ හිංසාවට මිනිසුන් පෙළඹවීමක්. ඉන්දියාවට ඩොමීනියන් නිදහස ලැබීම හිංසාව සමග බැඳී තියෙනවා. එමෙන් ම ඉන්දියාව දෙකඩ වීමේ දී ගාන්ධි ප්‍රතිපත්ති බලපෑවා. අවසානයේ දී ගාන්ධි මියගියේත් හිංසාවෙන්. සුද්දන් ගාන්ධි ඔසවා තැබීමටත් සුද්දන් හා ඔවුන්ගේ අනුගාමික අනුකාරක සිංහල පඬියන් ධර්මපාලතුමාට ගැරහිමටත් හේතුව කුමක් ද?




හැත්තෑවේ දශකයේ තවත් දෙයක් සිුදුවුණා ඒ හැටේ දශකයේ බිහි වූ ජ වි පෙ ආයුධ අතට ගැනීම. ජ වි පෙ තමන්ට තේරුණ මාක්ස්වාදයට අනුව ඊනියා නිර්ධන පංතියක් (කම්කරු පංතිය නොවේ !) බලය අත්පත් කර ගැනීම සඳහා මූලික වශයෙන් රැකියා විරහිත තරුණයන් ආයුධ අතට ගත්තා. අවසානයේ දී මැතිණියට පුළුවන් වුණා ජ වි පෙ ත්‍රස්තවාදය පරාජය කරන්න. එහෙත් විජේවීර නැවතත් අසූවේ දශකයේ තවත් දසදහස් ගණනක් ඝාතනය කළා. එහෙත් එයටත් වඩා දෙමළ ජාතිවාදී තරුණයන් ජ වි පෙ අනුගමනය කරමින් ආයුධ අතට ගත්තා.



ප්‍රභාකරන්ට පළමුව උමා මහේස්වරන් ආයුධ සන්නද්ධ වුණා. ඔහු මාක්ස්වාදියෙක්. ඔහු පමණක් නොවෙයි තවත් දෙමළ ජාතිවාදී තරුණ නායකයන් ජ වි පෙ අනුගමනය කළා. ජ වි පෙරමුණත් යම් ආකාරයක මාක්ස්වාදීන්. මාත් එකල මේ සමහර මාක්ස්වාදීන් දැන හිටියා. ඒ නව සමසමාජ පාක්‍ෂියකු ලෙස. එහෙත් අසූවේ දශකයේ මුළ මා ඒ මිථ්‍යාදෘෂ්ටියෙන් ගැළවුණා. ඉන් ටික කලට පසු මා බටහිර විද්‍යාව නමැති පට්ටපල් බොරුවෙන් ද ඉවත් වුණා. බටහිර විද්‍යාවේ පමණක් නොව ඊනියා නිරාගාමිකයන්ගේ ආගම හෝ විශ්වාසය හෝ බවට පත් වී ඇති හේතු  (බුද්ධිය, විචාරය reason) ගැන ද ටික කලකින් ම විශ්වාසය නැති වුණා. එය (හේතු) විශ්වාසයක් පමණයි. What is Science යනුවෙන් ලියන ලිපි පෙළේ හේතු ගැන ද කියැවෙනවා.



ප්‍රභාකරන් මාක්ස්වාදියකු නො වෙයි. එහෙත් ඔහු අනෙක් අයට වඩා හිංසකයෙක්. ඔහු වෙල්ලාලයකු නොව කරෙයිවර් කුලයට අයත් වුවෙක්. ඔහු කේරළයෙන් පැමිණියකුගෙන් පැවත එන්නෙක්. ඔහු හින්දු වුවත් ඔහු පිටුපස කතෝලික පල්ලියේ ඇතැම් පූජකවරුන් සිටියා. යාපනයේ කතෝලික වූයේ වැඩිපුර ම වෙල්ලාල නොවන අය. සිංහලයන් අතර ද පරංගි සමයේ කතෝලිකයන් වූයේ වැඩි පුර ම කරාව කුලයේ අය. දකුණු ඉන්දියාවේ ඉංගිරිසින් යටතේ දෙමළ ජනවාර්ගිකත්වයක් ගොඩ නැගුණේ කතෝලික පූජකවරුන් යටතේ බව අමතක කළ යුතු නැහැ.



හැත්තෑවේ දශකයේ ආයුධ ගත් දෙමළ කතා කරන කණ්ඩායම් උතුරු පළාතේ බිහි වුණේ මුල දී නැගෙනහිර පළාතේ තරුණයන් නොමැති ව. මෙහි දී සිදු වූ වැදගත්ම දෙයක් නම් උතුරු පළාතේ ආයුධ ගත් කණ්ඩායම්වලට මුලින් ම පුහුණුව ලබා දුනේනේ ඉන්දියාව බව.  එහෙත් ඒ කණ්ඩායම් අතර සමගියක් තිබුණේ නැහැ. ප්‍රභාකරන් හා උමා මහේස්වරන් චෙන්නායි හි වීදියක එකිනෙකාට වෙඩි තබා ගත්තා. දකුණු ඉන්දියාවේ ජනතාවට මේ කණාඩායම් තර්ජනයක් වුවත් තමිල්නාඩු ආණ්ඩුව මෙන් ම ඉන්දීය ආණ්ඩුව ද අහක බලා ගත්තා.



තමිල්නාඩුවට මෙරට දෙමළ කතා කරන ජනයා සමග සම්බන්ධයක් තියෙනවා. මෙහි දෙමළ සංස්කෘතිය උතුරේ පැතිරෙව්වේ වෙල්ලාලයන්. වෙල්ලාලයන් ලංකාවට පැමිණ අවුරුදු තුන්සිය පනහකට වැඩි නැහැ. එක්තරා වාග්විද්‍යා හා දර්ශන මහාචාර්යවරයකු මා සමග පැවසුවේ තමිල්නාඩුවේ හා ලංකාවේ කතාකරන දෙමළ අතර වයස් පරතරය අවුරුදු තුන්සිය පනහක් පමණ බවයි. ලංකාවේ කතා කරන සිංහල හා මාල දිවයිනේ කතා කරන දිවෙහි බස අතර වයස් පරතරය අවුරුදු අටසීය පනහක් පමණ වන බව විද්වතුන් පවසනවා. මාල දිවයින මුස්ලිම් වීමට පෙර එහි තිබුණු සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට සමීපයි.



තමිල්නාඩුව හා වෙල්ලාලයන් අතර තිබූ ලේ නෑකම කෙසේ වෙතත් ඉන්දීය ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර කෙළේ ලංකාව ඉන්දීය ග්‍රහණයට නතු කර ගැනීීමට. ඉංගිරිසින්ගෙන් නිදහස් වූ පසු ඉන්දියාව අසල්වැසි රටවල් ක්‍රමයෙන් බිලි බා ගත්තා. අද ඇසැමයක් නැහැ. බූතානය නමින් පමණක් නිදහස්. ඉන්දියාව එදා සිට ම පකිස්ථානය සමග ආරවුල් ඇති කර ගත්තා. අද ඉන්දියාව පකිස්ථානය සමග ක්‍රිකට් තරග පවත්වන්නේවත් නැහැ. ඉන්දියාව වත්මන් බංග්ලාදේශයට පකිස්ථානයෙන් කැඩී වෙන්වීමට ආධාර කෙළේ බංග්ලාදේශයත් තම හ්‍රහණයට නතු කර ගැනීමට. එහෙත් මුස්ලිම් බංග්ලාදේශය හින්දු ඉන්දියාවට යට වුණේ නැහැ.



ඉන්දියාව ලංකාවත් එක්ක ඇත්තේ වෛරයක්. ඒ ප්‍රධාන වශයෙන් ම ඔවුන් අකමැති වූ බුදදහම අප රැකගත් බැවින්. මහාවිහාර භික්‍ෂූන් වහන්සේ භාරතයට (ඉන්දියවට) නතු වුවත් වෛදික ආගම ප්‍රතික්‍ෂෙප කළා. ආන්ද්‍ර ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේත් ඒ ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් ආන්ද්‍ර ප්‍රදේශයට බුදුදහම රැක ගැනීමට නොහැකි වුණා. අපි එය පසව සාකච්ඡා කරමු. අප කෙසේ නමුත් බුදුදහම රැකගත්තා. එහි ගෞරවය මහාවිහාරයට හිමි විය යුතුයි. ඉන්දියාව අපට කිසි දිනෙක ඒ ගැන සමාවක් දෙන එකක් නැහැ. ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර ලබා දීම පුහුණුව ලබා දීම පසුපස මේ බෞද්ධ විරෝධය ද තියෙනවා. ගාන්ධිට බුදුදහම ගැන  එතරම් දැනුමක්වත් තිබුණේ නැහැ.