Main Logo

Sunday 5 August 2018

කළ යුත්තේ කුමක් ද?


කළ යුත්තේ කුමක් ද?



මේ ලෙනින්ගෙ පොතක නම. ඒත් ලිපිය ලෙනින් අනුගමනය කරන්න නො වෙයි. අප්පච්චි මොකද කරන්නෙ කියන ලිපියට  සුපුරුදු පරිදි මහින්දවාදීන් ඇතුළු තවත් බොහෝ දෙනකුට කේන්ති ගිහිල්ලා. මහා දාර්ශනිකයා කියන්නෙ එහි ඉන්දීය හා බටහිර බලපෑම් ගැන කිසිවක් නැති බව. මේ ලිපි  ලියන්නෙ ඒ බලපෑම් ගැනත් කියන්නට. එහෙත් හැම ලිපියක ම ඒක ලියන්න ඕන නැහැ. මා ළඟදී ම මහා දාර්ශනිකයා හමුවීමට බලාපොරොත්තුවෙනවා. ඔහුටත් තවත් බොහෝ දෙනකුටත් ප්‍රශ්නය වී තිබෙන්නේ මා මෛත්‍රිපාල ගැන කියන දේ. ඔවුන් මෑතක් වන තුරු ම කියා සිටියේ මෛත්‍රිපාල හා රනිල් රංගනයක යෙදෙන බව. අපි තරහයි නාට්‍යයට දැන් අධ්‍යක්‍ෂවරයකු නැති පාටයි.




තවත් අය කියා තිබුණේ මා දැන් කළ යුත්තේ කුමක් ද යන්න ගැන කිසිවක් නොකියන බව. ඒ ලිපියේත් ඒ කිසිවක් නැතිලු! එහෙත් ඒ ලිපියේ  කියන්නේ රනිල් ඉවත් කිරීම ගැන. අද ක්‍ෂණික දේශපාලනික ක්‍රියාව රනිල් ඉවත් කිරීම. ඒ සඳහා ජනබලය ඇති මහින්ද විධායක බලතල ඇති මෛත්‍රිපාල ශක්තිමත් කළ යුතු ය කිව්වම ඒකට බොහෝ දෙනාට කේන්ති යනවා. ඔවුන් එය මගහරිනවා. එසේ මගහැර කියනවා මා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ කියා. මා කාලයක් තිස්සේ ඉදිරිපත් කරන වැඩ පිළිවෙළට ඔවුන් විරුද්ධ නම් එයට අකුල් හෙලනවා නම් මට කරන්න දෙයක් නැහැ. දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නේ අප කියන දෙයක් අහල නො වෙයි. ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දය නොදුන්නෙ කාගෙ වුවමනාවට ද? මා මැතිවරණ ජනාධිපතිවරණ ගැන දැන් ම කතා කරන්න කැමති නැහැ. නාමික ජනාධිපතිවරයකු නොව විධායක බලයක් සහිත ජනාධිපතිවරයකුු තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණයක් ලබා ගැනීමට පළමුවෙන් රනිල් ඉවත් කළ යුතුයි.



මා අවලංගු වී ඇති ධනවාදී සමාජවාදී රාමුවක ලෝකය බලන්නේ නැහැ. අද සමාජවාදයක් ලෝකයේ කොහේවත් නැහැ. මාක්ස්වාදයට අනුව සමාජවාදයක් ඇති වන්නෙ කම්කරු පංති නායකත්වයකින්. එය කම්කරු පංති ආඥාදායකත්වයකින් ඇති විය යුත්තක්. එහෙත් කම්කරු පංති ආඥාදායකත්වයක් කොහේ ද තියෙන්නෙ. අඩුම තරමෙන් කම්කරු පංතියක් කොහෙද තියෙන්නෙ. කම්කරු පංතියට කම්කරු පංති විඥානයක් නැතිව පවතින්න පුළුවන් ද? මාක්ස්වාදය හා ලෙනින්වාදය එකිනෙකට පටහැණියි. (මාක්ස්-ට්‍රොට්ස්කිවාදය හා ලෙනින්- ස්ටැලින්වාදය අතර වෙනස කලකට ඉහත සාකච්ඡා කර තියෙනවා) කොමියුනිස්ට් ක්‍රමය ලෝකයෙ කොහේවත් ඇති වෙන දෙයක් නො වෙයි. එහි රාජ්‍යය වියැකී යන්න ඕන. රාජ්‍යය එන්න එන්න බලවත් වෙනවා. අද සමාජවාදය තියෙන්නෙ මාක්ස්වාදය දිරවාගන්න බැරි කසිකබල් මාක්ස්වාදීන් කිහිප දෙනකු ළඟ පමණයි. මාක්ස් එංගල්ස් එකල හිටි සමාජවාදීන්ට කිව්වෙ මනෝරාජික සමාජවාදීන් කියලා. ඒත් මාක්ස් තරම් මනෝරාජික සමාජවාදියකු ලෝකයේ ඉඳලා නැහැ. ඒ මනෝරාජික සමාජවාදය වෙනුවෙන් මිනිසුන් ලක්‍ෂ ගණනක් ඝාතනය නම් කෙරුණා.



ප්‍රංශ විප්ලවයේ අදහස් අද නැහැ. ඊනියා ජාතික රාජ්‍යය උඩින් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයක් සංස්ථාපනය කෙරුණා. අද එය කැඩී යමින් පවතිනවා. ට්‍රම්ප් එහි මූලික වැඩ කොටසක් කරනවා. එය දිගින් දිගට ම අඛණ්ඩ ව යාවි කියල මා කියන්නෙ නැහැ. එහි පසුබැසීම් තියේවි. එහෙත් ඊනියා ජාතික රාජ්‍ය ඒ ඒ රටවලට ආවේණික අනන්‍ය සංස්කෘතීන් ඇති ව ගමන් කරන බවක් පේනවා. බ්‍රෙක්සිට් සහ බටහිර රටවල ඒ රටවලට අනන්‍ය වූ එක සංස්කෘතියකට ඌනනය වීමට දරණ උත්සාහය එයට උදාහරණ.



අද අප රට පාලනය වන්නේ එංගලන්තයට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට. මේ තිරුපති ගමනේ අර්ථය කුමක් ද? අද රනිල්, මහින්ද, මෛත්‍රිපාල තිරුපති යනවා. මෙය හුදෙක් දෙවි කෙනකුගේ ආශිර්වාදය ලබා ගැනීමට යන ගමනක් පමණක් නො වෙයි. මා ඊනියා ද්‍රව්‍යවාදී පදනමකින් දෙවියන්ට විරුද්ධ වන්නේ නැහැ. ද්‍රව්‍යවාදය මෙයිසුගේ ද කාගෙ ද බර වචනවලින් කියන (මා කියවන්නේ ඉංගිරිසි පරිවර්තන) බොළඳ තර්කවලින් ගොඩගන්න බැහැ. මා විඥානවාදියකුවත් පශ්චාත්නූතනවාදියකුවත් නොවෙයි. මා පිළිගන්නෙ බුදුදහම මිසක් බටහිර හරි වෛදික හරි මහායාන හරි දාර්ශනිකයන් නොවෙයි.  මේ තිරුපති ගමනෙහි දේශපාලන අර්ථයක් තියෙනවා. මේ ඉන්දීය බලපෑම දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව ලිපි පෙළේ තවත් විස්තර වේවි.



අද අප කළ යුත්තේ ඉන්දීය හා එංගලන්ත බලපෑමෙන් නිදහස් වීමයි. රනිල් ඉවත් කිරීම එහි දී ප්‍රධානයි. එංගලන්තය හා ඉන්දියාව අපේ ප්‍රධාන විරුද්ධවාදීන්. නෝර්වේ පමණක් නොව ඇමරිකන් එක්සත් රාජ්‍ය ද අපට විරුද්ධ වුණේ එංගලන්තයේ අවශ්‍යතාවට. අපට අවශ්‍ය තිරුපති නොයන එලිසබෙත්ගේ අත්වැසුම් ගැන කතා නොකරන නායකයෙක්. ජෙනීවාහි දී අප ට්‍රම්ප් සමග යම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට තිබුණා. දැන් වුණත් එයට ප්‍රමාද නැහැ. ට්‍රම්ප්ට හා පුටින්ට එක්වන්න පුළුවන් නම් අපට ඒ දෙදෙනා සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමට බැරි ඇයි? ඒ අපේ සම්පත් ඔවුන්ට විකිණීමට නො වෙයි. පරංගි මෙරටට පැමිණි දවසේ සිට අප ලැබූ අත්දැකීම් බොහෝමයි. අප තව තවත් ඉඟුරු දී මිරිස් ගත යුතු නැහැ.



සීතාවක රාජසිංහ ශිවාගම වැළඳ ගත්තේ ඇයි ද කියන එකට මට තවමත් පැහැදිලි පිළිතුරක් නැහැ. (කරුණාකර තම තමන් දන්න සරල කරුණු ප්‍රතිචාර ලෙස දක්වන්න එපා.) ඔහු පරංගින්ට විරුද්ධ ව සටන් කළා. මුල්ලේරියාවේ සටන ගැන බටහිරයන් කියන්නේ නැත්තේ එය බටහිර රාජ්‍යයකට විරුද්ධව ආසියාතික රටක් කළ එකක් නිසා. මට තේරෙන විධියට සීතාවක රාජසිංහ ලෝකයේ ම අති විශිෂ්ට රණ ශුරයෙක්. එහෙත් කොනප්පු බණ්ඩාර පරංගි වෙතට යැව්වෙ ඔහු. කොනප්පු බණ්ඩාරට සීතාවක රාජසිංහගෙන් පසු සීතාවක මෙන් ම සෙංකඩගල ද රජ වෙන්න තිබූ අවස්ථාවක් මග හැරුණා. සීතාවක රාජසිංහ කොනප්පු බණ්ඩාරට සෙංකඩගල රජවෙන්න ඉඩ හැරිය නම් මොකක් ද වෙන්න තිබුණෙ? ඒ ප්‍රශ්නවලින් ඉතිහාසය වෙනස් කරන්න බැහැ. එහෙත් වර්තමානයට කල්පනා කරන්න දේ ප්‍රශ්නයෙහි තියෙනවා. වහෙන් ඔරෝ කියන්නෙ නැතිව කෙලින් ම කියන්නම් මෛත්‍රිපාල රනිල් වෙත යැව්වෙ කවුද? අද රනිල්ගෙන් මෛත්‍රිපාල වෙන් කරන්නෙ කොහොම ද? එහෙමත් නැත්නම් රනිල් ඉවත් කරන්නෙ කොහොම ද? කොනප්පු බණ්ඩාර පරංගින්ගෙන් මිදිල ඇවිත්  විමලධර්මසූරිය නමින් බෞද්ධ රජ කෙනකු වුණා. පරංගි ළඟ හැදුණු කුසුමාසන දේවි විවාහ කර ගත්තා. ඒත් ඇය දිගට ම කතෝලික වුණා.



කොනප්පු බණ්ඩාරට  තිබුණු ශක්තිය මෛත්‍රිපාලට නැහැ. ඔහුට ශක්තිය නොදුන්නොත් ඔහු කාගෙන් සහාය ලබා ගනීවි ද? මේ ඡන්ද සෙල්ලමේ ඔහුත් ඡන්ද එකතු කරන බව පමණක් මා දැනට පවසනවා. ඡන්ද සෙල්ලම පැවැත්වීමට නියමිත දිනට පෙර රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි.  



මේ ලිපිය හෙට (සඳුදා) පළ වන්නේ නැහැ.