Main Logo

Sunday 12 August 2018

ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව




                             ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව



අද හර්තාල් දවස. හර්තාලයට අදට අවුරුදු හැටපහක් වෙනවා. ඒ ගැන ලියන්න තියෙන්නෙ ඒකෙන් එතරම් මිනිසුන් සංඛ්‍යාවක් මැරුණෙ නැහැ කියන එක විතරයි. සමහරු කියන විධියට පනස්හය ඇති වුණෙ පනස්තුනේ හර්තාල හින්ද! පනස්හයට හර්තාලයෙන් කිසිම බලපෑමක් වුණෙ නැහැ. පනස්හය ජාතිකත්වය ඉදිරියට ඒමක්. හර්තාලයෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. හර්තාලයෙ බලපෑම කෙසේ වෙතත් පිලිප්ලා ඇන් ඇම්ලා කොල්වින්ලා එස් ඒ වික්‍රමසිංහලා අන්තිමේ දි ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවල කොටස්කරුවන් වුණා. ඒක මහජන පෙරමුණු දේශපාලනය කියල කිව්ව අය තවමත් ලෙනින් කියවනවා. ලෙනින් ලෙනින් කියෙව්ව නැතිව ඇති. නැත්තන් ලෙනින්ටත් ලෙනින් කියව කියව ඉන්න තිබුණා.




අද මට ප්‍රධාන වශයෙන් ලියන්න හිතුණෙ ග්ලයිෆොසේට් ගැන. ග්ලයිෆොසේට් මෙරට කරළියට පැමිණියෙ රතන හාමුදරුවො නිසාවත් චන්න ජයසුමන නිසාවත් නොවෙයි නාථ දෙවියන් නිසා. කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක් (හේතුව නොවෙයි) හැටියට නාථ දෙවියන් ආසනික් ගැන කිව්වා. ඒකෙන් එතෙක් වකුගඩු රෝගය ගැන නොදක්වපු උනන්දුවක් රටේ ඇති වුණා. චන්නත් එකල හිටියෙ නාථ දෙවියන් එක්ක, අද පාදෙණිය ඉන්නව වගේ. රතන හාමුදුරුවො හැමදාමත් කරන විධියට ප්‍රශ්නය අතට ගන්න උත්සාහ කළා. ඒ දේශපාලනය සඳහා. උන්වහන්සේට ජනමාධ්‍යයෙන් ආධාර ලැබෙනවා. ජනමාධ්‍යයට දේශපාලනඥයන් හා දේශපාලනඥයන්ට ජනමාධ්‍ය අන්ධයාට කොරා වගේ (එහෙම කීමට සිදු වීම ගැන ආබාධිත ජනයාගෙන් සමාව ඉල්ලනවා).



චන්න ටික කලකින් ප්‍රියන්තා සේනානායකගෙන් හා නාථ දෙවියන්ගෙන් ඈත් වුණා. ඔහු එක්සත් රාජ්‍යවල වෛද්‍යවරයකු සමග එක් වී පර්යේෂණ කළා. ඔවුන්ගේ මතය වුණෙ  වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් හේතුවන බව. රතන හාමුදුරුවන් එතැනටත් වැඩම කළා. විවිධ ජනමාධ්‍යත් වකුගඩු රෝගය අතට ගත්තා.



මේ අතර ඇතැම් විද්‍යාඥයන් යැයි කියන පිරිසක් (ඔවුන්ගේ නමින් ඇති සංකල්පයක් ප්‍රවාදයක් ගැන මා දන්නේ නැහැ) ග්ලයිෆොසේට්වලින් ඒ කියන තරම් අගතියක් නොවන බව කියන්න ගත්තා. ඒ අතර කැනඩාවේ ඉන්න විද්‍යාඥයකු යැයි කියා ගන්නා අයකු හා ඔහුගේ ගෝලයකු වූ කැනඩාවේ තාක්‍ෂණික පාසලක විද්‍යාව උගන්වන ගුරුවරයකු ප්‍රධාන වුණා. දෙපැත්ත විවිධ විද්‍යා පර්යේෂණ කර ඇති විද්‍යාඥයන්ගේ පත්‍රිකා උපුටා දකාවමින් වාද කර ගත්තා.



දැන් එක්සත් රාජ්‍යවල ප්‍රාන්ත අධිකරණයකින් එක්තරා තැනැත්තකුට විශාල වන්දියක් ගෙවන ලෙස ග්ලයිෆොසේට් නිපදවන සමාගමට අණ කර තිබෙනවා. ඒ සමාගම තමන් අධිකරණ තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තියෙනවා. අභියාචනයට කෙබඳු තීන්දුවක් ලැබේ දැයි කියන්න බැහැ. කොහොමටත් එය තීරණය කරන්නේ නීතිඥයන් මිස වෛද්‍යවරුන්වත් විද්‍යාඥයන්වත් නො වෙයි.



ෆෙයරාබන්ඩ් කාලයකට ඉස්සර මේ ප්‍රශ්නය මතු කර තිබුණා. විද්‍යාව නොදන්න නීතිඥයන් විද්‍යාව ගැන තීරණ දීමයි ඔහුගේ ප්‍රශ්නය වුණෙ. විද්‍යාව නොදන්න දේශපාලනඥයන් විද්‍යාව පිළිබඳ තීරණ ගන්නවා. විද්‍යාව නොදන්න ලංකාවේ පඬියන් මුහුණුපොතේ විද්‍යාව ගැන කතා කිරීම පුදුමයක් නො වෙයි. හැබැයි ඔවුන් දර්ශනය ගැන කියවන්නෙ නැතිව දර්ශනය ගැන කතා කරන අයට විරුද්ධයි. ඒත් මේ රටේ ඕනෑම කෙනකුට බුදුදහම කියවන්නෙ නැතිව බුදුදහම ගැන කතා කරන්න පුළුවන්.  මා ඕනෑම අයකු ඕනැම දෙයක් ගැන කතා කිරීමට විරුද්ධ නැහැ. දැනුමේ ස්වභාවය ම එසේමයි. දැනුම කියන්නෙ ම මිනිසුන්ගෙ නිර්මාණයක්. බටහිර ඊනියා යථාර්ථවාදය ද්‍රව්‍යවාදය ගොඩගන්නවා කියන ඇතැම් දාර්ශනිකයන් ගණිතය මිනිසුන්ගෙ නිර්මාණයක් නොවෙයි කියලා හිතන විධිය දැක්ක ම දර්ශනය ගැනත් යමක් හිතා ගන්න පුළුවන්. දෙරණෙ අය කියන්න පුළුවන් මා කාට දෝ බනිනවා කියලා.  ඒ කොහොම වුණත් ග්ලයිෆොසේට් ප්‍රශ්නයක්.



අර වන්දි ලැබූ පුද්ගලයා වකුගඩු රෝගියෙක් නොවෙයි. ඔහු පිළිකා රෝගියකු කියලයි කියන්නෙ. ග්ලයිෆොසේට් වකුගඩු රෝහයට හේතුවක් වුවත් නැතත් අද අඩුම තරමෙන් ඒ ගැන සැකයක් මතු වෙලා. දැන් මෛත්‍රිපාල සුපුරුදු පරිදි තමන්ට එන බලපෑම් මත තම තීරණ වෙනස් කරනවා. ග්ලයිෆොසේට් තහනම් කරපු ආණ්ඩුව අද එය ඉවත් කරලා. විද්‍යාඥයොත් එක් එක් මත ප්‍රකාශ කරන විට මෛත්‍රිපාල මොකක් ද කරන්නෙ කියලා කාට හරි අහන්න පුළුවන්.



එක්සත් රාජ්‍යයෙහි අධිකරණය අවසානයේ දී කිනම් තීරණයක් ගත්තත් ඊනියා විද්‍යාඥයන්ට එක මතයක් නැති බව නම් පැහැදිලියි. විද්‍යාවේ වාස්තවිකත්වය, ඊනියා ද්‍රව්‍යවාදය ගැන කියන්න තියෙන්න මොකක් ද? අද ඇතැම් විද්‍යාඥයන් කියන්නෙ පරීක්‍ෂාකාරීව පාවිච්චි කළොත් ග්ලයිෆොසේට්වලින් හානියක් නැහැ කියලා. පරීක්‍ෂාකාරීව කියන කොටස වෙළෙඳ භාණ්ඩයක ඇතුළත් කළොත් ප්‍රශ්නයක් නැද් ද? නීතිය අනුව එය ප්‍රමාණවත් ද? කොහොමටත් නීතිය බූරුවෙක් කියා කතාවක් තියෙනවා. විද්‍යාව සසඳන්න පුළුවන් කිනම් සතකු සමග ද?



ග්ලයිෆොසේට් පමණක් නොවෙයි රසායනික කෘෂිකර්මය ම රටට ලෝකයට ප්‍රශ්නයක්. අද වස විස නැති ආහාර අවාසනාවකට තවත් දේශපාලන ප්‍රශ්නයක් පමණක් බවට පත් වෙලා තියෙනවා. එහි මුලට යෑමට කිසිවකු උනන්දුවක් දක්වන්නේ නැහැ. අප ස්වභාව ධර්මයෙන් බොහෝ ඇතට ගිහිල්ලා.