Main Logo

Monday 13 August 2018

දයාන්ගේ පත්වීම


දයාන්ගේ පත්වීම



දයාන් ජයතිලක රුසියාවේ ලංකා තානාපති ලෙස පත්කිරීමට තීරණය වෙලා. ඔහුගේ නාම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරු පිළිබඳ කමිටුව මුල දී අනුමත කෙළේ නැහැ. ඒ සිවල් සංවිධාන රාශියක් ඔහුගේ නාම යෝජනාවට විරුද්ධ වූ නිසා. ඒත් දැන් මෛත්‍රිපාලගේ මැදිහත් වීමෙන් නාම යෝජනාව අනුමත වූ බවයි කියන්නෙ. මෙය අවසන් වරට සාකච්ඡා කරන දවසේ  ඒ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන් කී දෙනකු රැස්වීමට සහභාගි වුණා ද? එය ඒකමතික ව සම්මත වුණා ද? ඇතැමුන් ඒ රැස්වීමට සහභාගි නොවූයේ ඇයි? ඒ ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලබා ගත හැකි ද?




උඩින් පෙනෙන දේශපාලනයට වඩා වෙනත් දෙයක් යටින් ක්‍රියාත්මක වෙනවා. මෙරට දේශපාලනය හසුරවන්නේ මුහුණුපොතට පුවත්පත්වලට ලියන අය නො වෙයි. ඔවුන්ගෙන් යම් බලපෑමක් සිදු නොවනවා නො වෙයි. එහෙත් එය ආන්තිකයි. මෙය මාර්ජිනල් කියන ඉංගිරිසි වචනයේ පරිවර්තනයක්. ඇතැමුන් ඒ වචනයේ තේරුම නොදැන අහවලා ආන්තික මතධාරියකු යැයි කියනවා. සිංහල ලියන්න කතා කරන්න මහා දැනුමක් අවශ්‍ය නැහැ. එහෙත් පණ්ඩිතමානී ව හිතන අයට තම අදහස් නිසි ලෙස ප්‍රකාශ කරන්න බැහැ. ඔවුන් අඩුම තරමින් සිංහල දන්නා පියවරුන්ගෙන් අසා දැන ගන්නවා නම් කාටත් සහනයක්. ආන්තික අන්තවාදී කියන්නේ දෙකක්. ඒ ගැනවත් අවබෝධයක් නැතියවුන් ලියන කියන දේ ගැන කුමක් කියන්න ද?



දයාන්ගේ පත්වීම ගැන මට නම් ඇත්තේ ප්‍රශ්නයක්. මෙරට උගතුන් බහුතරයකට අනුව ඔහු ලංකාවේ සිටින මහා ප්‍රාඥයන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙක් තැනැත්තා කාලෝ ෆොන්සේකා. කොහොමටත් සිංහලෙන් පමණක් ලියා මෙරට ප්‍රාඥයකු වන්න බැහැ. එමෙන් ම රටේ පිළිගැනීමට ලක් වන්නත් බැහැ. නූතනත්වයට විරුද්ධ නම් කොහොමටවත් බැහැ.  රාජ්‍ය ඇමති වසන්ත සේනානායක පසුගිය දා දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියා තිබුණා පළාත් සභා අහෝසිකර දිස්ත්‍රික් සභා පිහිටුවිය යුතු ය කියා. අද එය ඉංගිරිසි කතාකරන ජාතිකවාදීන් අතර ඉතා ම ජනප්‍රිය ලිපියක් බවට පත් වෙලා. ඔවුන් සිංහල පමණක් කියවන ජාතිකවාදීන්ට දුරකතනයෙන් කතා කර ඒ ලිපිය වර්ණනා කරන්නේ අලුත් ම අදහසක් ඉදිරිපත් කර ඇති බව පවසමින්.



එහෙත් මේ මතය සිංහලෙන් අනන්ත වාරයක් (මෙයත් අන්ත කියන වචනයෙන් ලැබෙන්නක්. මෙහි අනන්තය යනුවෙන් යොදන්නේ බටහිර ගණිතයේ එය යෙදෙන අර්ථයෙනවත් බටහිර දර්ශනයෙහි අනන්ත විඥානය යන්න යෙදෙන ආකාරයෙන්වත් නො වෙයි) දශක තුනක පමණ කාලයක් සාකච්ඡා කෙරී තියෙනවා. එය මහජන එක්සත් පෙරමුණේ නිල ප්‍රතිපත්තිය ද වූවා. එහෙත් අද මහජන එක්සත් පෙරමුණත් වසන්ත සේනානායකගේ නව මතය ඔසොවා තබනවා. වසන්ත සේනානායක ම එ පෙ ඔසවා තබනවා වෙන්නත් පුළුවන්.



දයාන් ඒකාබද්ධ විපක්‍ෂයේත් ගෞරවයට පාත්‍ර වූවෙක්. ඩලස් අලහප්පෙරුමට අනුව දයාන් ඉහළ ම ගණයේ දේශපාලන විචාරකයෙක්. දයාන් කාලයක් වියත්මගේ මෙන්ම එළිය සංවිධානයේත් ප්‍රධාන කථිකයකු වී සිටියා. ඔහු කියන්නේ තමන් ස්මාට් ජාතිකවාදියකු කියා. ඔහුට අනුව බලය විමධ්‍යගත කළ යුතුයි. ඒ කිනම් ප්‍රශ්නයක් විසඳන්න ද කියා ඔහුවත් වෙනත් කිසිවකුවත් කියන්නේ නැහැ.  ඔහු මහින්දගේ කාලයේ  ප්‍රංශ තානාපති ලෙසත් ජෙනීවාහි ලංකා නියෝජිතයා ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහු ජාතිකවාදීන් හඳුන්වන්නේ අන්තවාදීන් ලෙසයි. ඔහු බටහිරින් ඉගෙන ගන්නා දේශපාලනය අනුව අද මෙරට විකල්ප දක්‍ෂිණාංශයක් තියෙනවා. ඔහු ජාතිවාදීන් ගොනු කරන්නේ ඒ ගොඩට. මෙරට ඊනියා ස්මාට් ජාතිකවාදීන් ඔහු අගය කරනවා.



එහෙත් ඔහුට මෙරට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුණා. ඒ ඔහුගේ වරද නිසා යැයි මා කියන්නේ නැහැ. එහෙත් ඔහු ආණ්ඩුවෙන් යමක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇති. ඔහු දැන් රුසියාවේ ලංකා තානාපති. ඔහු නියෝජනය කරන්නේ මෙරට ජනමතය ද බටහිර හා ඉන්දියාවේ මතය ද? විදේශවල මෙරට තානාපතිවරුන් බොහෝ විට නියෝජනය කරන්නේ තම පවුලේ අවශ්‍යතා පමණයි. එහෙත් දයාන් එසේ නො වෙයි. ඔහු බටහිර හා ඉන්දියාව නියෝජනය කරනවා. අපට මෙරට ජනමතය නියෝජනය කරන තානාපතිවරුන්/මහා කොමසාරිස්වරුන් නැහැ.



දයාන්ගේ පත්වීමට බටහිර හා ඉන්දීය බලපෑමක් තිබුණා ද? අද ඉන්දියාවෙන් මෙහෙය වන්නේ නැති දේශපාලන පක්‍ෂ කීයක් ලංකාවේ තිබෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂයට ඉනදීය බලපෑමක් නැද්ද? මහින්ද එකල 13+ ගැන කතා කළා අමතක කරන්න බැහැ. රාජපක්‍ෂලා මෙන් ම මෛත්‍රිපාල ද රනිල් මෙන් නොව ජනමතයට යම් ප්‍රමාණයකට කන් දෙනවා. මහින්ද ජාතිකවාදීන්ගේ බලපෑම හමුවේ 13+ ගැන කතා කිරීම නැවැත්තුවා. එමෙන් ම දයාන් වියත්මගෙන් හා එළියෙන් එළියට විසිවුණා. එහෙත් අපට ඉන්දීය බලපෑම්වලින් නිදහස් විය හැකි ද? අද මෙරට ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ඉන්දියාවෙන්/බටහිරින් නිදහස් වන්නේ කෙසේ ද යන්නයි.



අද රුසියාවේ පුටින් හා එක්සත් රාජ්‍යවල ට්‍රම්ප් අතර යම් සම්බන්ධකමක් තිබෙනවා. අප මෙරට දෙමළ ජාතිවාදය ගැන ට්‍රම්ප් හා පුටින් සමග කතා කළ යුතුයි. ඉන්දියාව හා අනෙක් බටහිර රටවල් එයට කැමති වේවි ද? දයාන්ට පුටින් හමුවීමට අවස්ථා දෙක තුනකට වඩා ලැබෙන එකක් නැහැ. එහෙත් ඔහුට ඉන්දියාවේ අවශ්‍යතාවට රුසියාව සමග අප අලුත් සබඳතාවක් ගොඩ නැගීමට අකුල් හෙළන්න පුළුවන්. ඔහු රුසියාවට යන්නේ ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවට යන අතර බව අමතක කරන්න එපා. අප කියන දේ කිසිවකුවත් සතපහකට ගණන් ගන්නේ නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යනුකුල නොවන බවට අප කලක් තිස්සේ කියන දෙයට කිසිවකු සවන් දුන්නේ නැහැ. අඩු තරමින් ජාතිකවාදීන්වත් සවන් දුන්නේ නැහැ. එහෙත් දැන් එක් ලේඛිකාවක් ඉංගිරිසියෙන් එය කියන විට ජාතිකවාදීන් එයට සවන් දෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට විරුද්ධ පක්‍ෂ නායකත්වය ලබා ගැනීමට නීත්‍යානුකුල අයිතියක් නැති බව අප කී විට කිසිවකු සවන් දුන්නේ නැහැ. දැන් ඒකාබද්ධ විපක්‍ෂය සංධානයෙන් ස්වාධීන වීමට කතා කරනවා. ප්‍රතිභා මහානාමටත් දැන් නීතිය මතක් වෙළා. ඔහුගේ ප්‍රකාශවලට ජනමාධ්‍යයේ තැනක් ලබා දෙනවා.



මොනවා කළත් නූතනත්වයට මුහුණ දීම එතරම් පහසු දෙයක් නො වෙයි.