Main Logo

Thursday 30 August 2018

නැවතත් පඬියෝ


නැවතත් පඬියෝ





මහින්දට භාරත රත්න දෙන්නෙ ඉන්දියාවෙන් මිසක් අර ලංකාවට යන එන මහින්දට හිතවත් ස්වාමි නො වෙයි. ඉන්දියාව ගැන අප පරෙස්සමෙන් කටයුතු නොකළොත් අපත් රටත් අමාරුවේ වැටේවි. අද සුපිරි මහින්දවාදීන් වී සිටින ඇතැමුන් ගැන මට ඇත්තේ සැකයක්. ඔවුන් 2015ට පෙර සිටියේ කොහේ ද කියා දේශපාලන වුවමනාවක් ඇති අය දන්නේ නැහැ. මේ සුපිරි මහින්දවාදීන් මහින්ද ගැන බොරු කියනවා. මහින්ද සර්වතෝභද්‍ර පුද්ගලයකු කරන්න හදනවා. මහින්ද පසු කලෙක 13+ ගැන මොනවා කිව්වත් කළත් ඔහු මුල දී 13+ දෙන බව කිව්වා. යමකු ඒ නැතැයි කියන්නේ නම් ඔහු මහා බොරු කාරයෙක්. දැනට ඉන්න නායකයන් අතරෙන් ජනතාවට ඇහුම්කන් දී තම ස්ථාවර වෙනස් කර ගන්නා ප්‍රධාන ම තැනැත්තා මහින්ද. ජනතාව ඔහු සමග සිටින්නේත් එබැවින්. ජාතිකත්වයට බලාපොරොත්තුවක් ඇති කර ගත්තේ ඔහු මගින් පමණයි. එහෙත් ඔහු සර්වතෝභද්‍ර තත්වයට පත් කිරීමට තැත් කරන්නන් ඔහුට හා ජාතියට කරන්නේ විපතක්.




මහින්ද 13+ දෙන බව කිව්වේ ඉන්දියාවේ අවශ්‍යතාවට. ඔහූ ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමකුත් (LLRC) පිහිටෙව්වා. මහින්ද 13+න් ඉවත් කර ගැනීමට වෙහෙස දැරුවේ කවුද කියා මෙරට ජනතාවට අමතක වන්න පුළුවන්. ඒ අපේ රටේ හැටි. අද බොහෝ මහින්දවාදීන් තවමත් සිරිසේන සමග පසු වන්නේ බද්ධ වෛරයකින්. සිරිසේනට අපත් මුල දී විරුද්ධ වුණා. එහෙත් අද වන විට තත්වය වෙනස් වෙලා. රනිල් ඉවත් කිරීමට නම් සිරිසේන අවශ්‍යයයි.



එක් අයකු අසා තිබුණා රනිල් බලයට පත් කෙළේ කවුද කියා. ඔහුම එයට පිළිතුරු දුන්නා නම් හොඳයි. සමහර විට ඔහු හිතනවා ඇති රනිල් බලයට පත් කෙළේ සිරිසේන කියා. ඔහුට මතක නැහැ සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වුණේ මොකද කියා. මා නැවතත් කියනවා ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමුවේ බැසිල් කියා. ඔහු ඉන්දියාවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කෙළේ ය කියා මා කියන්නේ නැහැ. ඔහුගේ ආත්මාභිමානය ආදී වෙනත් චරිත ලක්‍ෂණ පක්‍ෂ ඝාතනයට  හේතු වුණා. (මා හේතු ගැන කීවත් දාර්ශනික ව හේතුවාදය හා හේතු ප්‍රතික්‍ෂෙප කරනවා. හේතු ගැන මා කියන්නේ සම්මුති ආකාරයකින් පමණයි).



ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය ලෙස නම් කෙළේ මා මිස අර රනිල් බලයට පත් කෙළේ කවුද කියා අසන්නන් නො වෙයි. සිිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වූ පසු ඒ පක්‍ෂය මිය ගිය බව කීවේ ද මා ඒ අයගෙන් අසා දැන ගෙන නොවෙයි. එහෙත් ඔවුන් අද උත්සාහයක් ගන්නවා මා ඔවුන්ගේ බස් අසා ශ්‍රී ල නි ප මළ බව කියනවා කියන්න. 2015 මැතිවරණයේ දී වෙනත් පක්‍ෂයක් යටතේ තරග කිරීමට අප යෝජනා කිරීමට එක් හේතුවක් වූයේත් ශ්‍රී ල නි පක්‍ෂය ඒ වන විට මරා දමා තිබීම. අපේ යෝජනාවට එක හෙළා බැසිල් විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. රනිල් බලයට පත් කෙළේ කවුද යන්නට පිළිතුරක් ප්‍රශ්න විචාරකයන්ගෙන් ම  බලාපොරොත්තු වෙනවා.



මෙරට ඉතා ඇත අතීතයේ පටන් තාර්කිකයන් විශ්ලේෂකයන් දාර්ශනිකයන් කෙටියෙන් කියනවා නම් ශාස්ත්‍රඥයන් බිහි වී නැහැ. අප බොහෝ වෙලාවට භාරතීය පොතපත පරිවර්තනය කළ එකයි කෙළේ. අපේ ව්‍යාකාරණ ග්‍රන්ථය වූ සිදත්සඟරාවත් පරිවර්තනයක්. ඒ කියන්නේ අපේ ව්‍යාකරණයත් වෙනත් කාගෙ දෝ ව්‍යාකාරණයක්. අප භාවිතා කරන ව්‍යාකාරණය අපේ ඇඟේ නැහැ. අප එයට  ආයාසයෙන් පුරුදු වන්න ඕන. අප ශාස්ත්‍රඥයන් නොවුවත් කවියන්, ශිල්පීන්. අපේ ඉතිහාසයෙන් කියැවෙන්නේ එයයි. ශිල්පීන් තාක්‍ෂණය යොදා ගන්නවා. තාක්‍ෂණයට ඊනියා විද්‍යාවක් අවශ්‍ය නැහැ.



පසුගිය සියවසේ බටහිර මහා ශාස්ත්‍රඥයා වූ අයින්ස්ටයින් හා බටහිර මහා ශිල්පියා වූ ටෙස්ලා (අද නවීන රියැදුරු රහිත මෝටර් රථ නිපදවා ඇත්තේ ටෙස්ලා නමින්) අතර විරසකයක් තිබුණා. ඔවුන් දෙදෙනා එකිනෙකා ප්‍රිය කෙළේ නැහැ. මෙරට බොහෝ දෙනා මේ විරසකය නොදන්නවා වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් බටහිරයන් ඊනියා දියුණුවක් ලබන්නේ තාක්‍ෂණය (ශිල්පය) නිසා මිස විද්‍යාව නිසා නො වෙයි. දැන් පඬියකු ඉදිරිපත් වී කියන්න පුළුවන් තාක්‍ෂණයට විද්‍යාව අවශ්‍ය කියා. එහෙම නැහැ. ටෙස්ලා ජීවත් ව සිටියා නම් හොඳ පිළිතුරක් දෙන්න තිබුණා. අර එඩිසන් ඕම් නියමය දැන හිටියේ නැහැ. එහෙත් විදුලි බල්බය නිෂ්පාදනය කළා.



මෙරටින් ඉතිහාසයේත් දර්ශනයක් ශාස්ත්‍රයක් බිහි වී නැහැ. මෙරටින් බිහි වී ඇති එකම දැනුම මා දන්නා තරමින් වෙනස්වීම ගැන  ඇති දැනුම පමණයි. මෙරට තිබූ එක ම ගණිත කෘතිය ලෙස මා දන්නේ ලීලාවතිය පමණයි. එයත් භාරතීය කෘතියක පරිවර්තනයක්! ඒ පොත ගැන දන්නා අයකු සිටී නම් ඒ පිළිබඳ තොරතුරු සපයන්නේ නම් පින්! මා මේ කරුණු ලියන විට ජාතිභ්‍රෂ්ටයකු ලෙස හැඳින්වීමට පඬි පෝතකයන් (බොහෝ විට සිරිසේන විරෝධී මහින්දවාදීන්) ඉදිරිපත් වේවි. එහෙත් මට අවශ්‍ය වන්නේ අපට කළ හැකි දේ දැනගෙන ඒ කිරීම මිස බොරු ශාස්ත්‍රීයත්වයක් ආරෝපණය කර ගැනීම නො වෙයි.



මෙරට ඊනියා විද්‍යාඥයන් ගැන මා අවුරුදු හැටක පමණ කාලයක සිට දන්නවා. ඔය ඊනියා විද්‍යාඥයකු කියනවා ද මෙරට විද්‍යාඥයකු (එතෙර හෝ මෙතෙර හෝ) බටහිර විද්‍යාවට එකතු කර ඇති නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ පිළිබඳ තොරතුරක්. මට ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් වැඩක් නැහැ. එහි තිබෙන්නේ වාටියේ දැනුම. මාත් ඒවා නම් ලියා තියෙනවා. ඒ වගේම කවුරු හරි කියනවා ද රනිල් ඉවත් කිරීමට විකල්ප ක්‍රමයක්. මොන කතාවත් අවසාන වන්නේ සිරිසේනගෙන්. ඔහුට පමණයි රනිල් ඉවත් කිරීමේ විධායක බලතල තියෙන්නෙ. මේ වෙලාවෙ සිරිසේන මග හරින්නෙ ඔහුට බැණ වදින්නේ රනිල් තවදුරටත් තියා ගන්නයි.