Main Logo

Tuesday 14 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15 (ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15
(ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)


ලංකාවේ දේශපාලන පක්‍ෂ බොහොමයකට ඉන්දියාව බලපෑම් කරනවා. ඉන්දියාව දකුණු ආසියාව තම ග්‍රහණයට නතු කර ගන්න උත්සාහ කරන බව අප කලිනුත් පැහැදිලි කළා. අද ඉන්දියාව මාල දිවයිනේ මැතිවරණවලට බලපෑම් කරනවා. දකුණු ආසියාවේ ඉන්දියාවට තවමත් නතු වී නැත්තේ මුස්ලිම් රටවල් පමණයි. මාල දිවයිනට උමා මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානය ලවා ඉන්දියාව බලපෑම් කෙළේ තරමක කාලයකට පෙර. කුඩා මුස්ලිම් රටක් වූ මාල දිවයින ඉන්දියන් බලපෑමට කෙසේ මුහුණ දේවි ද යන්න ප්‍රශ්නයක්.



එහෙත් ලංකාව නම් අද ඉන්දියාව විසින් හසුරුවනූ ලබනවා. බොහෝ පක්‍ෂවල බොහෝ අය කතා කරන්නේ ඉන්දියාවේ බලවත්කම ගැන. ඔවුන් ඉන්දියාවට යට වී අවසානයි. අද කළ යුත්තේ ඉන්දියාවේ බලවත් කම ගැන කතා කරමින් එය ඊනියා යථාර්ථය බව පැවසීම නොව ඉන්දියාවෙන් නිදහස් වීමේ ක්‍රමයක් සෙවීමයි.  රනිල් මහින්ද මෙන් ම මෛත්‍රිපාලද තිරුපති යන්නේ මෝදි දෙවියන්ගේ ද ආශිර්වාද ලබා ගැනීමටයි. අප ප්‍රභාකරන් පරාජය කිරීමේදීත් ඉන්දියාවට යට වී ඇති බව පැහැදිලියි. මේ ලිපි පෙළෙන් එය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපට අවශ්‍ය ඉන්දියාවටවත් බටහිරටවත් නොනැමෙන ජනාධිපතිවරයෙක්. ළඟදී ම ජනාධිපතිවරණයක් පවත්වන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඊයේ කිරිඇල්ලගේ කතාව එයට තවත් ඉඟියක්.

ඉන්දියාව ලංකාවට බලපෑම් කරන්නේ, එහෙමත් නැත්නම් අත පොවන්නේ දෙමළ ජාතිවාදය යොදා ගෙන. හැත්තැවේ දශකයට පෙරත් ලංකාවේ උඩරට දෙමළ ජනයා හේතුවෙන් ඉන්දියාව මැදිහත් වුණා. තොණ්ඩමන් ඉන්දියාවේ දේශපාලනය මෙරට ගෙන ගිය අයෙක්. ඔහු පමණක් නො වෙයි මහාරාජාලත් ඉන්දීය දේශපාලනය කරගෙන යනවා. හැත්තෑවේ දශකයෙන් පටන් ගත්තේ දෙමළ ත්‍රස්තවාදයට ඉන්දීය ආධාර දීමේ ප්‍රතිපත්තිය. උමා මහේස්වරන්ගේ සිට ප්‍රභාකරන් දක්වා සෑම ත්‍රස්තවාදියකුට ඉන්දියාව ආධාර කළා. කොටි සංවිධානය මුල දී පුහුණුව ලැබුවේ ඉන්දියාවෙ. පසුව ඔවුන්ට බටහිරයන් ඊශ්‍රායලයේ පුහුණුව ලබා දුන්නා. ඊශ්‍රායලය ත්‍රස්තවාදීන්ටත් ලංකාවේ හමුදාවටත් කලක් එක්වර පුහුණුව ලබා දන්නා!

ඉන්දියාව එක් පැත්තකින් ත්‍රස්තවාදීන්ට ආධාර කරද්දී අනෙක් පැත්තෙන් ඊනියා සාකච්ඡා සඳහාත් බලපෑම් කළා. කොටි සංවිධානයට පමණක් නොව වර්ධරාජ පෙරුමාල්ටත් ඉන්දියාව සහාය දුන්නා. තිම්පු සාකච්ඡා ඇති වුණේ ඉන්දියාවේ බලපෑමෙන්. තිම්පු කියන්නෙ බූතානයේ අගනුවර. බූතානය ඉන්දියාවට නතු රාජ්‍යයක්. මේ සාකච්ඡාවලට පදනම් වුණෙ වඩුකොඩෙයි යෝජනා. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ඊනියා ස්වයංනීර්ණ අයිතිය මෙහි දී ප්‍රධාන වුණා. තිම්පු සාකච්ඡා සඳහා ජේ ආර් නියෝජිත පිරිසක් යැව්වා. එහෙත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට ඉඩ දිය නොහැකි බැවින් ඔවුන් ආපසු ආවා.

දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වඩාත් ම මැදිහත් වූයේ ඉන්දියාව හා එංගලන්තයයි. එක්සත් රාජ්‍ය මැදිහත් වන්නේ එංගලන්තයේ අවශ්‍යතාවට. එමෙන් ම අපට අමතක කරන්න බැහැ එ රට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දීය බලපෑම. එහි  විශේෂයෙන් ම දකුණු ආසියාව පිළිබඳ ප්‍රශ්නවල දී බලපෑම් කරන ඉන්දීය සම්භවයක් ඇති නිලධාරීන් පිරිසක් ඉන්නවා. එරට ලංකාවේ තානාපති අතුල් කේෂප් ද ඉන්දීය සම්භවයක් ඇති අයෙක්. ඔහු ප්‍රසිද්ධියේ ම අඟවා තිබෙනවා ගෝඨාභයට අකමැති බව. එහෙත් ගෝඨාභයට ඉන්දියාවට මුහුණ දීමට හැකි වේවි ද?  බැසිල්, රනිල්, මෛත්‍රිපාල යන අයට නම්  බැහැ. මහින්ද බැසිල්ට ඇහුම්කන් දෙනව නම් ඔහුටත් බැහැ. නාමල් රාජපක්‍ෂ ප්‍රශ්නය අවුල් කරනවා.

ඉන්දියාව හැත්තැවේ දශකයේ සිට ත්‍රස්තවාදීන්ට හමුදාමය ආධාර ලබා දෙන අතර ඊනියා සාකච්ඡා සඳහාත් බලපෑම් කළා. ඒ ඒ කාලයේ දී ඉන්දියාවේ සුරතලුන් වූයේ විවිධ දෙමළ ජාතිවාදීන්. උමා මහේස්වරන්ගෙන් පසු වර්ධරාජ පෙරුමාල් ඉන්දියාවේ සුරතලා වුණා. ඉන්දියාවේ අගමැති කවුරු වුණත් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ බමුණන්. ඔවුන් අතර කේරළ බමුණන් ප්‍රධානයි.

අසූවේ දශකයේ අගභාගයේ දෙමළ ජාතිවාදයට එරෙහිව කරන ලද හමුදා මෙහෙයුම් තීරණාත්මක තැනකට පැමිණියා. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ නායකත්වයෙන් අපට ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකියාව තිබුණා. එහෙත් ස්ථිර දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. ජේ ආර් රට තුළ මහා බලවතකු ලෙස පෙනී සිටියත් ජාත්‍යන්තර දේශපාලනයේ නිවටයෙක්. වඩමාරච්චි සටන දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට හොඳ නැති බව තේරුම් ගත් ඉන්දියාව පරිප්පු දේශපාලනයට අවතීර්ණ වුණා.

අවසානයේ දී එහි ප්‍රතිඵලය වූයේ හමුදා මෙහෙයුම් නතර කිරීමත් ඉන්දු ලංකා ගිවිසුමත් පළාත් සභාත්. ඉන්දු ලංකා ගිවිසුම නිසා ම තමයි අප කාලය සඟරාව ආරම්භ කෙළේ. අද අපට සිරිසේනවාදීන් සිරිජාතිකවාදීන් කියමින් පරිභව කරන ඊනියා ජාති හිතෛෂීන් එදා කොහේ සිටියේ ද කියා දන්නේ නැහැ. සමහරුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ලෙස ජාතිකවාදී දේශපාලනයකට විරුද්ධ වුණා. එයින් කියන්නේ නැහැ එදා ජාතිකවාදී දේශපාලනයක සිටි සියල්ලන් අදත් ජාතිකවාදී දේශපාලනයක ඉන්නවා කියා. මහින්දත් එදා ජාතිකවාදී දේශපාලනයක හිටියේ නැහැ.

පළාත් සභා ඇති කිරීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කෙරී වර්ධරාජ පෙරුමාල් ඒ පළාත් සභාවේ මහ ඇමති වුණා. ඉන්දියාව වර්ධරාජ පෙරුමාල් පසු පස සිටියා. ඔහු එකල යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. දයාන් ජයතිලක වර්ධරාජා පෙරුමාල්ගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් වුණා. ඔහු රුසියාවට යන්නේත් ඉන්දියාවේ අනුග්‍රහයෙන්. ඉන්දියාවට පාලනය කරගත නොහැකි වූ එක ම දෙමළ ජාතිවාදියා ප්‍රභාකරන්. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට කැමැති වූයේ නැහැ. ඉන්දියාව ඔහු දිල්ලියට ගෙන ගොස් එහි හෝටලයක තබා ගෙන ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ප්‍රභාකරන් ඉන්දියාවට යටත් නොවීම මගින් මෙරට දේශපාලනයෙහි දී අප ඉන්දියාවට තව දුරටත් යටත් වුණා. (මතු සම්බන්ධයි)