Main Logo

Thursday 10 June 2021

බම්බලවත්තේ දේශපාලනය

බම්බලවත්තේ දේශපාලනය

 

රනිල් වික්‍රමසිංහ ටික දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බවක් කියැවෙනවා. ඔහු විපක්‍ෂයේ අසුන් ගැනීමට තමයි බොහෝ දුරට ඉඩ තියෙන්නෙ. රනිලාගමනයෙන් මුළු විපක්‍ෂය ම කැලඹිලා. සජිත්ට විපක්‍ෂ නායක කම නැති වේවි ද? රනිල් එන්නත විදගෙන ද? සජිත් නම් ජනතාව වෙනුවෙන් එන්නත විදගත්තෙ නැහැ. ඔහු අර මහායාන බෝධිසත්ව සංකල්පය වැනි එකක් අනුගමනය කරනව වගේ. අනෙක් සියල්ලන් එන්නත විදගත්තට පස්සෙ තමයි ඔහු විදගන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒත් ඒ අතර ඔහු ආසාදිතයකු වෙලා. ඔහු රෝගියකු වූවා ද නැද්ද යන්න ගැන හරියට ම දැන ගන්න විධියක් නැහැ. මෙරට බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ආසාදිතයා හා රෝගියා අතර වෙනස කියන්නේ නැහැ. සමහර විට ඔවුන්ට වෙනසක් නැතිව ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන නිවේදනයක් නිකුත් කරල නැත්නම් බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ඒ ගැන දැඩි මුව ආවරණයක් පළඳිනවා. ජනමාධ්‍යවේදීන්ට නම් ආසාදිතයා හා රෝගියා අතර වෙනසක් නැහැ.

 

මට කියන්න ඕන රනිලාගමනය ගැන. ඒත් මා එහෙම ඉලක්කයක් ඇතිව ලියන්නේ නැහැ. ඉලක්ක ඇතිව ලියන්නෙ විභාග ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන කොට. ඔය ඉලක්ක අධ්‍යාපනයෙන් කැඩෙන්න අපට හරි අමාරුයි. ඒ නිසා අපට සමස්තය පෙනෙන්නේ නැහැ.  අපට ප්‍රශ්නයක පෙනෙන්නේ එක් පැත්තක් පමණයි. රනිලාගමනය සජිත් සමග සම්බන්ධයි. සජිත් එන්නත විදගෙන නැහැ. බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා සමහරු තමන්ට පමණක් එන්නත විදගෙන. සමහරු ගාලු ගිහින්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමහරුන්ට බරපතල පවුල් තියෙනවා. ඒත් ජනතාවගෙන් බටහිර වෙද මහත්තුරුන්ට ඒ තරම් විරෝධයක් එල්ල වන්නේ නැහැ.

 

ඇතැම් සිංහලයන් හරි ම තාර්කිකයි. විද්‍යාත්මකයි. තාර්කික න්‍යායික බටහිර විද්‍යාවට තමයි සිංහල බෞද්ධයන් ද නමස්කාර කරන්නෙ. ඔවුන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නෙ පුරුද්දට. ඔවුන් ඇත්තට ම කියන්නෙ විජ්ජං සරණං ගච්ඡාමි කියා. ඔවුන් කාලාම සූත්‍රය ගැන කියවනවා. ඒත් තාර්කික න්‍යායික වූ නිසා ම පමණක් පිළිගන්න එපා කියන බුදුවදන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඔවුන් සරණ යන විජ්ජා බුදුහාමුදුරුවන්ට අනුව අවිජ්ජා බව ඔවුන්ට තේරෙන්නෙ නැහැ.

 

ඒ කොහොම වුණත් ලංකාවේ බටහිර විද්‍යාඥයන් නැති නිසා සිංහලයන් විද්‍යාඥයන් ලෙස සලකන ප්‍රධාන පිරිස බටහිර වෙද මහත්තුරුන්. විජ්ජං සරණං ගච්ඡාමි කියල විද්‍යාඥයන්ගෙ වැරදි කියන්නෙ කොහොම ද? අපට නොදී එන්නත හොරෙන් හරි බලහත්කාරයෙන් හරි විිදගත්තත් අපට බටහිර වෙද මහත්තුරුන්ට විරුද්ධ ව කිසිවක් කියන්න බැහැ. ඒ නිසා අපි ආණ්ඩු පක්‍ෂ දේශපාලනඥයන්ට බණිනවා. සිංහල උගතුන්ගෙ තිසරණ වෙන්නෙ ඩාවිං සරණං ගච්ඡාමි, විජ්ජං සරණං ගච්ඡාමි, වෙදනං සරණං ගච්ඡාමි. සිංහලයන් අතර භෞතික විද්‍යාවට වඩා ජීව විද්‍යාවට තැනක් තියෙනවා. සාමාන්‍යයෙන් විද්‍යාවෙ දර්ශනය ගැන කතා කරන්නෙ භෞතික විද්‍යාඥයන් වුණත් ලංකාවෙ ඒ වැඩේ කරන්නෙ දත් දොස්තරලා හා නොදත් දොස්තරලා. මෙරට දි නිවුටන් හා අයිස්ටයින් ඩාවින්ගෙ අගසවුවන් බවට පත් වෙනවා. හුණුවටයෙ අසඩක්ගෙ සවුවා වගේ. 

 

අර කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්‍ෂ කීය ද අවසානයේ දී ලබා දෙන්න ඕන දේශපාලනඥයන් මිස බටහිර වෙද මහත්තුරුන් නො වෙයි. මොකෝ ලෝක සෞඛ්‍ය සංවිධානය අපට ඒව ලබා දෙනවය. බටහිර වෙද මහත්තුරු අතන තියෙනව මෙතන තියෙනවා කියනව විතරයි. සමහරු කිවුව මියන්මාහි තියෙනව කියලත්. මා මියන්මා සෞඛ්‍ය ඇමතිතුමාගෙනුත් ඒ ගැන විමසුවා. තානාපතිලට ඒ වගේ ප්‍රශ්න අහන්නත් වෙනවා. 

 

රනිල් සහ සජිත් අතර වෙනස කුමක් ද? දෙන්න ම බැලූ බැල්මට සිංහල බෞද්ධ. රනිල්ගෙ තාත්තා නම් ක්‍රිස්තියානි. බද්දේගම ක්‍රිස්තියානි අය ඉංගිරිසි මුල් කාලෙ ඉඳන් හිටියා. රනිල්ගෙ අම්ම කැලණි පන්සල හා සම්බන්ධ පරපුරක. රනිල් මොනව වුණත් කාටත් පේන විධියට සිංහල බෞද්ධ ප්‍රභූ. පදිංචිය කුරුඳුවත්තෙ ම නූණත් ඒ කිට්ටුව. සජිත්ගෙ තාත්තා කෙහෙල්වත්තෙ. කම්කරු පක්‍ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා. සජිත්ගෙ අම්මා සේදවත්තෙ නම් නො වෙයි.  ඒත් සජිත් ප්‍රභූ නො වෙයි ද? සජිත් එංගලන්තෙ මිල් හිල් පෞද්ගලික පාසලේ  ඉගෙන ගත් අයෙක්. රනිල් රාජකීය විදුහලේ හතර මායිමෙන් එහාට ගිහින් නැහැ. සජිත් එන්නත ගත්තෙ නැත්තෙ ආගමික විශ්වාසයක් නිසා ද? අර බෝන් අගේන් අය එන්නත ගන්නෙ නැතිලු. සජිත් බෝන් අගේන් කියා ඒකෙන් නිගමනය කරන්න බැහැ.

 

එන්නත් ගත්තත් නැතත් අකමැත්තෙන් නොවේ නම්  ඒ ක්‍රිස්තියානි විශ්වාස උඩ. ඒ කියන්නෙ ඒ අය ආගමික වශයෙන් ක්‍රිස්තියානි කියන එක නො වෙයි. සංස්කෘතික වශයෙන් ක්‍රිස්තියානි කියන එක. ඒ සංස්කෘතික ක්‍රිස්තියානි බව ආගමික ක්‍රිස්තියානි බවත් එක්ක සම්බන්ධයි. ඒ මාටින් ලූතර් පූජකතුමා මගින්. එතුමා හිටියෙ ගැලීලියොට හා නිවුටන්ට කලින්. බෝන් අගේන් ද ඇතුළු සියලු රෙපරමාදු ක්‍රිස්තියානි නිකාය, කතෝලික නොවන නිකාය, ලූතර් පූජකතුමා හා සම්බන්ධ වෙනවා. නිවුටන්ට අවශ්‍ය වුණෙ දෙවියන් වහන්සෙ ලෝකය මවා ඇති ආකාරය අවබෝධ කර ගනීම.

 

දෙවියන් වහන්සෙ මැවූ හරි මැවුණු හරි විශ්වයක් තේරුම් ගන්න තමයි බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම කරන්නෙ. ඒ මත පදනම් වූ සියලු දේශපලන ප්‍රභූ දේශපාලන. රනිල් සජිත් චම්පක අතර වෙනසක් නැහැ. ඒ කිසිවකුටවත් ප්‍රථම පංතියේ උපාධි නැහැ. යම්කිසිවකු තමාට ප්‍රථම පංතියේ උපාධියක් නැතිව එසේ තිබෙන බව අඟවනවා නම් එතනත් තියෙන්නෙ ප්‍රභූ දේශපාලනයක්. ප්‍රභූ දේශපාලනය සේදවත්තේ කුරුඳුවත්තේ කෙහෙල්වත්තේ පමණක් නොව වැල්ලවත්තේත් විල්ලෝරාවත්තේත් තියෙනවා. 

 

එ ජා ප නායකත්වය සේනානායකලාගෙන් ජයවර්ධනලාටත් වික්‍රමසිංහලාටත් ප්‍රේමදාසලාටත් ගිහින් තියෙනවා. මොන වත්තේ වුණත් ඒ සියලු දෙනා ම බම්බලවත්තේ. ඒ බටහිර ආධිපත්‍යය පිළිගත් වත්ත. බම්බලවත්ත හොඳ වචනයක්. රනිල් සජිත් චම්පක අනුර කුමාර සියල්ලන් ම එම්සීසී පිළිගත් අය. ඔවුන් විවිධ හිස්වැසුම් පළඳින්න පුළුවන්. සමහරු ජටාවක් බඳින්නත් පුළුවන්. ඒ අවස්ථාව අනුව බලය ලබා ගැනීමට. මොන හිස්වැස්ම දාගත්තත් එන්නත විද ගත්තත් නැතත් ඔවුන් එක ම පිළක ඉන්නෙ. ඒ බටහිර පිළ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිළිගන්න පිළ. බටහිර වෙද මහත්තුරු ඉන්නෙත් සංකල්පීය ව ඒ පිළේ.  සජිත් රනිල්ට විරුද්ධ වන්නේ තමන්ට බලය නැති වේවි කියල හිතන නිසා. එක ම පිළේ වුණත් සාමූහිකත්වයක් නැහැ. බලයට කුලල් කා ගැනීමක් සිද්ධ වෙන්නෙ. බම්බලවත්තට බැරි ද බටහිර වෙද මහත්තයෙක් නායකයා කර ගන්න. බැරි වෙලාවත් ආණ්ඩු බලය ලැබුණොත් මිනිසුන් බණින එක අඩු වෙයි.