Main Logo

Tuesday, 15 June 2021

චීන ජාතික ෂෙං හෙ හා භාෂා තුනේ සෙල්ලිපිය

 

චීන ජාතික ෂෙං හෙ හා භාෂා තුනේ සෙල්ලිපිය

 

 

පසුගිය දිනෙක හිටපු නාවික හමුදාපතිවරයකු වූ රවි විජේගුණරත්න මහතා ගාල්ලේ ත්‍රෛභාෂික සෙල්ලිපිය ගැන නැවතත් මතක් කර තිබුණා. ඒ මහතා ප්‍රශ්න කරන එක කරුණක් නම් එහි සිංහල භාෂාවෙන් යමක් සඳහන් නොවීමයි. සෙල්ලිපිය ලියා ඇත්තේ චීන, දෙමළ හා පර්සියානු (ඉරාන) භාෂාවලින්. මේ සෙල්ලිපිය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. එකල ගාල්ලේ දෙමළ කතාකරන ජනයා සිටි බවත් ඔවුන් සිංහලයන් සමග එකට හිටි බවත් කියනවා. චෙල්වනායගම්ගේ ලේලියක වන නිර්මලා චන්ද්‍රහාසන් ඒ කතාව කියන්නේ මෙරට අනාදිමත් කාලයක සිට සිංහල හා දෙමළ කතාකරන ජනයා එක මට්ටමක සිටි බව කීමට.

 

මේ ඊනියා බහුසංස්කෘතික බහුබූතයක්. මෙරට දෙමළ ජනයා දොළොස්වැනි සියවසට පෙර ස්ථිර ව පදිංචි වී සිට නැති බව කියා ඇත්තේ වෙන කවුරුන්වත් නොවෙයි යාපනය විශ්වවිද්‍යාලයේ පළමුවැනි ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල. ඔය ත්‍රෛභාෂා සෙල්ලිපිය පිහිටුවා තියෙන්නේ පහළොස්වැනි සියවසේ මුල. මෙය චීන ජාතික ෂෙං හෙ සෙනෙවියා 1409 දී පිහිටෙව්වා කියන එකයි සාමාන්‍ය මතය. එමෙන් ම එය බේරුවල පිහිටු වූ බවට මතයක් තියෙනවා. එදවස බේරුවල මෙරට ප්‍රධාන වරායක්. බේරුවල යන්නට බෑ රුවල අදහස දෙන නිරුක්තියක් තියෙනවා. පිටින් පැමිණි රුවල් නැව් රුවල බෑ වරාය යන්න ඉන් අදහස් වෙනවා.

 

එකල බේරුවල දෙමළ කතාකරන ජනයා ඉන්න ඇති. ඒ මලබාරයෙන් ඊට ටික කලකට පෙර පැමිණි මලයාල මිශ්‍ර දෙමළ බසක් කතා කළ මුස්ලිමුන්. අදත් ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉන්නවා. පෘතුගීසීන් පැමිණ පසුව මුස්ලිමුන්ට කරදර කළා. මේ මුස්ලිමුන් අටවැනි සියවසේ දී අරාබියෙන් පැමිණ සිංහල කතුන් විවාහ කර ගත් මුස්ලිමුන්ගෙන් පැවත එන අය නම් නොවෙයි. එසේ වී නම් මෙරට මුස්ලිම් ජනයා කතා කළ යුත්තේ එක්කෝ අරාබි නැත්නම් සිංහල. එහෙත් ඔවුන් කතා කරන්නේ මලයාලම් මිශ්‍ර දෙමළ බසක්.

 

ඕනෑම රටක් බහුසංස්කෘතිකයි. එහෙත් ඒ ඒ රටවල ඒ ඒ සංස්කෘති සමාන මට්ටමක ලා සැලකෙන්නේ නැහැ. එංගලන්තයේ කිසි දිනෙක චීන සංස්කෘතියටවත් දෙමළ හින්දු සංස්කෘතියටවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හිමි තත්වය, මට්ටම ලැබෙන්නේ නැහැ. එහෙත් දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය මෙරට සියලු සංස්කෘති එක ම මට්ටමක ලා සැලකීමට. නිර්මලා වෙහෙසෙන්නේ පහළොස්වැනි සියවසේ බේරුවල දෙමළ සංස්කෘතියේ වැදගත්කම කියා පාන්න. ඇය නිකම් පාච්චලයට මෙන් කියනවා ත්‍රෛභාෂික සෙල්ලිපියේ සිංහල නැහැ කියා.

 

මේ සෙල්ලිපියේ ලියා ඇත්තේ මොනවා ද? එහි ඇත්තේ බුදුහාමුදුරුවන්ට, දෙවිනුවර නායක දෙවියන්ට (විෂ්ණු) හා අල්ලා දෙවියනට කරන ලද පූජා යාඥා පිළිබඳ කෙටි විස්තරයක්. මෙය මෙරට වැසියන්ට වඩා පිටරටින් එන වෙළෙඳුන්ගේ දැනගැනීම සඳහා ලියැවුණක් බව හිතන්න පුළුවන්. මේ සෙල්ලිපියෙහි සිංහල නොමැති වීමට එය හේතුවක් වන්න ඇති.  තවත් හේතුවක් ඕන නම් කියන්න පුළුවන්. මෙහි ඇත්තේ ෂෙං හෙ බුදුහාමුදුරුවන්ට, විෂ්ණු දෙවියන්ට හා අල්ලා දෙවියන්ට කරන ලද පූජා හා යාඥා.

 

ඔය කාලයේ චීනයේ තිබුණේ මිං රජ පෙළපත. ඔවුන් බෞද්ධ. ෂෙං හෙ මුස්ලිම් වුවත් චීන සංස්කෘතියෙ බෞද්ධකම තිබුණා. සෙල්ලිපියේ ලක්‍ෂණය තමයි ඒ ඒ ආගමික පුද පුජා ඒ ආගම්වලට විශේෂිත වූ භාෂාවකින් ලියා තැබීම. විෂ්ණු දෙවියන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇති නමුත් මුලින් අයත් වන්නේ වෛදික හා හින්දු සංස්කෘතීන්ට. පහළොස්වැනි සියවසේ මුල විෂ්ණු හින්දු සංස්කෘතියට අයත්. දැන් හින්දු සංස්කෘතික පූජාවක් ගැන කීමට හොඳ ම භාෂාව කුමක් ද? සෙල්ලිපිය මෙරට වැසියන් සඳහා වුව ද පිටරට වෙළෙන්දන් සඳහා වුව ද ඒ සඳහා හොඳ ම භාෂාව දෙමළ. අල්ලා දෙවියන්ට  පුද පූජා ගැන කියන්න හොඳ ම භාෂාව පර්සියන්. මෙරටට පර්සියන් වෙළෙන්දන් ආ බව හිතන්න පුළුවන්. මෙරටට ඉන් ටික කලකට පෙර පැමිණි මලබාර මුස්ලිමුන්ටත් එය කියවන්න පුළුවන්කම තියෙන්න ඇති.

 

දැන් බුදුහාමුදුරුවන්ට කරන ලද පුද පූජා ගැන. එය කළ හැකි භාෂා දෙකක් තිබුණා. එකක් චීන අනෙක සිංහල. ෂෙං හෙ චීන ජාතිකයෙක්. ඔහු තම බසින් බුදුහාමුදුරුවන් ගැන කියන්න හිතන්න ඇති. එමෙන් ම මෙය මෙරට වැසියන්ට වඩා විදේශික වෙළෙඳුන් සඳහා ලියැවුණක් වෙන්න ඕන. ඒ නිසා චීන බස කතා කළ වෙළෙඳුන් ගැන කල්පනා කරල  ෂෙං හෙ සෙල්ලිපිය චීන බසින් ලියන්න ඇති. ඔහුට අවශ්‍ය වුණේ මෙරට වැසියන්ට තම පුද පූජා ගැන කීමට නම් ඔහු එය සිංහලෙන් ලියන්න ඕන.

 

මේ සියල්ල එකතු කළ විට පෙනෙන්නේ පඬියකු නොවූ ෂෙං හෙට අවශ්‍ය වී ඇත්තේ බුදුහාමුදුරුවන්ට විෂ්ණු දෙවියන්ට හා අල්ලා දෙවියන්ට කළ පුද පූජා බේරුවලට විදේශවලින් පැමිණි ඒ ඒ ආගම් ඇදහූ වෙළෙන්දන් වැඩි පිරිසකට තේරෙන බසකින් දැනුම් දීම බවයිි. මෙයින් තවත් දේ පැහැදිලි වෙනවා. අද කොහොම වෙතත් එකල චීනයේ බෞද්ධ ආභාසයක් තිබූ බව, දෙමළ ජනයා පිළිබඳ මොන දෙමළ බෞද්ධ කතා සඳහන් සරුංගල් යැවුවත් දෙමළ ජනයා හින්දු වූ බව පර්සියන් වෙළෙන්දන් මුස්ලිම් වූ බව හා මෙරටට මුස්ලිම් වෙළෙන්දන් පැමිණ ඇති බව.

 

සෙල්ලිපිය බහු භාෂා වුණත් අදාළ සංස්කෘති තුන එක ම මට්ටමක ලා ෂෙං හෙ සලකා නැහැ. ඔහු මුස්ලිම් බැතිමතකු වුවත් ප්‍රමුඛස්ථානය දී ඇත්තේ බුදුහාමුදුරුවන්ට. ඒ එකල චීන ජාතික සංස්කෘතික පදනම නිසා. නිර්මලා චන්ද්‍රහාසන් වැන්නන්ටත් එය පාඩමක්. එහෙත් මෙරට ඉන්නේ පඬියන්. වාසනාවකට ෂෙං හෙ පඬියකු වී නැහැ.

 

මේ පිටුපස මෙරට හා චීනය අතර එකල තිබූ සම්බන්ධකම් ගැනත් කතා තියෙනවා. රයිගම අලකේෂ්වර (නිර්මලාට අලකේෂ්වර හිටියේ රයිගම ද ගම්පොළ ද කියාවත් නිච්චියක් නැහැ) කවුද, හයවැනි පරාක්‍රමබාහු කවුද, ඔහු රජ කරවනූ ලැබුයේ කවුරුන් විසින් ද, චීනය ඔහුගේ රාජ්‍යත්වය අනුමත කෙළේ කුමක් නිසා ද, වීදාගම හාමුදුරුවන් (මෛත්‍රිය හාමුදුරුවන් විය යුතු නැහැ) අලකේශ්වර පන්නා හයවැනි පරාක්‍රමබාහු රජ කරවීමට චීනයත් සමග එකතු වී ද ආදිය ගැන කතා තියෙනවා.

 

චීන වෙළෙඳ සංස්කෘතිය ඇන හිටීම සමග බුදුදහම චීනයේ අඩු තැනක් ලබා ගත්තේ ද? බෞද්ධ සංස්කෘතිය වෙළෙඳාම සමග සම්බන්ධ ද? සිටාණන් ගැල් සාත්තු නායකයන් බෞද්ධයන් වූයේ කෙසේ ද? තපස්සු භල්ලුක පවා වෙළෙඳ දෙබෑයන්. එහෙත් වත්මන් ථෙරවාදී රටවල වෙළෙඳාම පසුබෑමකට ලක් වී ඇත්තේ ඇයි? සිංහල රාජ්‍යයට හැමදාමත් පිටින් රජවරුන් ගෙන ඒමට සිදු වුණා ද? ගොවියා පුත් මහෞෂධලා පොතට පමණක් සීමා වුණා ද? පසුව කතා කරමු.