යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. මා එය දැක්කේ එක්තරා වෙබ් අඩවියක. ඒ ප්‍රකාශයේ අදහස මගේ වචනවලින් නොකියා අදාළ කොටස වෙබ් අඩඩවියෙන් ම උපුටා දක්වන්නේ මහාචාර්යතුමාට අසාධාරණයක් නොවීම සඳහා. මා හිතනවා වෙබ් අඩවිය මහාචාර්යතුමාට අසාධාරණයක් කර නැහැ කියා. අදාළ කොටස මෙසේයි.
“මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන්
පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ
ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබෙනවා. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන
දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත
පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන්
ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික
අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ
පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’
විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය
යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව
විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම
පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව
අවධානය යොමුව තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම
එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.ජාතික පාසල් 1,000
වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියේය.”
මා මහාචාර්ය කපිල පෙරේරා මෙන් උගතකුවත්
බුද්ධිමතකුවත් නො වෙයි. ඒ නිසා ද කෙහෙ ද ඉහත සඳහන් පාඨය මට තේරුණේ නැහැ. කපිල
පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ
මහාචාර්යවරයෙක්, හිටපු පීඨාධිපතිවරයෙක්, හිටපු
උපකුලපතිවරයෙක්. ඔහුගේ ජීවදත්ත අනුව ඔහු පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙක්.ඔහු
මොරටුවෙන් උපාධි ලබාගෙන ඇත්තේ 1986 දී. ඔහු උපාධිය ලබා ගෙන තියෙන්නෙ මට
වඩා අවුරුදු දහනවයකට පසුව. දළ වශයෙන් ඔහු මට වඩා අවුරුදු විස්සක් පමණ වයසින් බාල
ඇති. ඔහුගේ දේශපාලනය ගැනත් තොරතුරු තියෙනවා. අවශ්‍ය වුවහොත් ඒ ඉදිරිපත් කරන්නම්.
කපිල පෙරේරා පාසලේ දී ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් බවයි මා හිතන්නෙ. වැරදි නම්
නිවැරදි කරන්න. මට කපිල පෙරේරා හමු වී
නැහැ. ඔහුගේ ගරු ඇමතිතුමා නම් හමු වී තියෙනව.
ඉහත කී පාඨයෙන් කියන්නේ මෙවැන්නක්. කොවිඩ් නිසා
ආර්ථික ගැටළු ඇති වී තියෙනවා. එය ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යවන දෙමව්පියන්ටත්
බලපාල. ඔවුන්ට පාසල් ගාස්තු ගෙවන්න අපහසු
වෙලා. ඒ නිසා ඔවුන් ඉල්ලා තිබෙනවා තම දරුවන් රජයේ පාසල්වලට ඇතුල් කරන්න අවස්ථාව
දෙන්න කියා. නමුත් රජයේ පාසල්වල ඉංගිරිසි මාධ්‍ය පාසල් ඇත්තේ සුළු සංඛ්‍යාවක්.
එහිත් ඊනියා හර විෂය පමණයි උගන්වන්නේ. මේ
ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න ඕන. ඒ පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන
විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තියෙනවා. ඒ වන තෙක් මගේ මහළු වියේ දී වුවත් තේරුම්
ගන්න පුළුවන් වුණා. ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී තරුණයන් කියන
අන්දමට මැන්ටලයක් වූ මටත් තේරුම් ගන්න පුළුවන් වුණා. එහෙත් එතනින් එහාට නම් තේරුණේ
නැහැ.
විශේෂඥයන්ගේ කමිටුව තවම කිසිවක් නිර්දේශ කර
නැති බවයි පෙනෙන්නෙ. එහෙත් මට තේරෙණ විධියට කමිටුවේ අවධානය යොමු වෙලා තියෙනවා
දිවයිනේ සෑම පළාතක ම එවැනි පාසලක් නියමු
ව්‍යාපෘතියක් ලෙස ඇති කිරීමේ හැකියාව ගැන. මේ එවැනි පාසලක් කියන්නෙ මොකක් ද කියල
නම් මට තේරුම් ගන්න බැරි වුණා. එහෙත් ඊළඟ වාක්‍යයෙන් එවැනි පාසල් හඳුන්වල
තිබුණ. ව්‍යාපෘතිය සාර්ථක වුණොත් එවැනි
ඉංග්‍රීසි මාධ්‍ය පාසල් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ලබා දෙන්න පුළුවන් වේවි කියා
තිබුණා.
ප්‍රශ්නය ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන
දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු වීම. දෙමවුපියන්ගෙ විසඳුම තම දරුවන් රජයේ
පාසල්වලට ඇතුල් කිරීමට අවස්ථාව ලබා දීම. අමාත්‍යාංශයේ “බලාපොරොත්තුව”
විශේෂඥයන් තවම නිර්දේශයක් කර නැතත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි මාධ්‍ය
පාසල් ලබා දීම. මට නම් මේ තර්කය තේරෙන්නෙ නැහැ. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන
දෙමවුපියන්ට පාසල් ගාස්තු ගෙවීමට අපහසු බැවින් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම ඉංගිරිසි
මාධ්‍ය පාසල් ලබා දෙන්නෙ අහවල් දේකට ද? ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන නොගත්
ගැමියන් නම් මෙවැනි දේට කියා ඇත්තෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල.
කාට හරි අවශ්‍යතාවක් තියෙනව නම් ඉංගිරිසි මාධ්‍ය
පාසල් ලංකාවෙ හැම ප්‍රදේශයක ම ඇති කරන්න ඒක යුක්ති යුක්ත කරන්න වෙන විධියකට තර්ක
කරන්න. ප්‍රස්තුතය වෙනස් කරල තර්ක කරන්න. එහෙම තර්ක ඉදිරිපත් කළොත් අපි ඒව සලකා
බලමු. දැනට අර දෙමවුපියන්ට සහනයක් දෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. රජයේත් නොවන
ජාත්‍යන්තරත් නොවන පාසලුත් ලංකාවෙ තියෙන බවත් කල්පනාවට ගන්න. ඒ සමහර පාසල්වලත්
ඉංගිරිසි මාධ්‍යයෙනුත් ඉගැන්වෙනවා. අර දෙමවුපියන්ට ජාත්‍යන්තර පාසල්වලට දරුවන්
ඇතුල් කරන්න සිදු වුණේ ඇයි ද කියාත් කල්පනා කරන්න. ලේකම්තුමා පුළුවන් නම් කල්පනා
කරන්න පුළුවන් අය බිහි කර ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ගැන කල්පනා කරන්න. අර විශේෂඥ
කමිටුවට කල්පනා කරන්න පුළුවන් ද කියල අහන්නෙ නිකමට ම නො වෙයි.