Main Logo

Thursday 24 June 2021

අපේ හාමුදුරුවන් වෙතටයි

 

අපේ හාමුදුරුවන් වෙතටයි

 

ඔබ වහන්සේ මා කියන දේ සතපහකටවත් ගණන් නොගන්නා බව මා දන්නවා. මා සමහර විට මහාවංසය සමග එහෙමත් නැත්නම් අටුවා ව සමග එකඟ නොවන දේ කියනවා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් වියතුන් මෙන් ම ඔබ වහන්සේත් මා නූගතකු ලෙස සලකනවා වෙන්න පුළුවන්. මා ත්‍රිපිටකයේ දන්නේ සූත්‍ර දහයකටත් අඩු සංඛ්‍යාවක්. ත්‍රිපිටකය වනපොත් කළ අය සිය ගණනක් ඉන්න රටක මට බුදුදහම ගැන කියන්න තියෙන්නේ මොනවා ද කියා ඔබ වහන්සේ හිතනවා ඇති. 

 

ඒත් අද පොසොන් පෝදා මට තේරෙන කරුණක් දෙකක් ඔබ වහන්සේගේ අවධානය පිණිස යොමු කිරීමට කැමතියි. එහෙත් එයට අත්වන ඉරණම මා නොදන්නවා නො වෙයි. දැනට අවුරුදු තිහකටත් එහා සුප්‍රසිද්ධ අඹ පැනය ගැන මා ලිපියක් ලිවුවා. ඔබ වහන්සේ ඒ ලිපිය කුණු කූඩයට දැම්මා. මා හිතන්නේ ඒ ලිපියෙහි කිසිම වැදගත්කමක් නොතිබෙන්න ඇති.

 

බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය ගැන අපට විවිධ අර්ථකථන තියෙනවා. ඒ අර්ථකථන විවිධයි. සංකාර ගැන පොදුවේ පටිච්චසමුප්පදාය ගැන මගේ අර්ථකථනයක් තියෙනවා. එහෙමත් නැත්තන් මට තේරෙන විධියක් තියෙනවා. මනස ගැන මගේ මනසින් හදාගත් අර්ථකථනයක් තියෙනවා. නැති මනස නැති මනසක් බව නැති මනසින් කෙරෙන සම්මාබෝධය නිවන කියා කිවුවෙත් ඔබ වහන්සේ පිළි ගන්නේ නැහැ.  ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරත්වා!

 

මා දැන් මියන්මාහි ලංකා තානාපති. ඔබ වහන්සේ එයට අකමැති බව මා දන්නවා. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට පවසා තිබුණේ බුදුදහම දන්නා ශාසන හිතකාමී අයකු මියන්මාහි තානාපති ලෙස පත් කරන ලෙසයි. මා බලාපොරතේතු වූ කිසිවක් මට තානාපති ලෙස කරන්න බැරි වුණා. ඒ සම්බන්ධයෙනුත් මා අසමත්. එහෙත් මා මියන්මාහි දී යම් යම් දේ ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා කියන්නේ මගේ අර්ථකථන සපයා ගත්තා කියන එකයි.

 

ලංකාවේ මෙන් බුදුදහම හරි බුදුසසුන හරි මුල් අල්ලාගත් එහෙමත් නැත්තන් හඳුන්වා දුන් දිනයක් මියන්මාහි නැහැ. ඔවුන්ට පොසොන් පෝය වැනි දිනයක් නැහැ. අශෝක රජු  සෝණ හා උත්තර මහ රහතන් වහන්සේට ධර්මප්‍රචාරය සඳහා මියන්මා (ස්වර්ණභූමියට - – දකුණු මියන්මා තායිලන්තය ඔබ්බට විහිදෙන ප්‍රදේශයක්) වඩින ලෙස ආරාධනා කර ඇතත් ඒ පිළිබඳ ව මියන්මා ඉතිහාසයේ කියන්නේ කුමක් දැයි පැහැදලි නැහැ. මියන්මාහි බෞද්ධ ඉතිහාසය ඒක රේඛීය නැහැ. අඛණ්ඩත් නැහැ. උතුරට පැමිණි තන්ත්‍රයානයක් ගැන මෙන් ම දකුණට දකුණු ඉන්දියාවෙන් (ආන්ද්‍රයෙන්) පැමිණි බුද්ධාගමක් ගැනත් කියැවෙනවා. සිංහල දීපයෙන් බූද්ධාගම පැමිණ ඇත්තේ එකළොස්වැනි සියවසේ අපේ විජයබා ඔවුන්ගේ අනව්රත රජවරුන්ගේ කාලවල. එහෙත් එදා සිට අද දක්වා ම කැඩි කැඩී වුවත් දෙරට අතර සම්බන්ධකම් තියෙනවා.

 

මියන්මා දේශයට අපෙන් පොත්පත් රැගෙන ගොස් තියෙනවා. එමෙන් ම විජයබා රජු උපසම්පදාව මියන්මා දේශයෙන් (බුරුමයෙන්) ගෙනැවිත් තියෙනවා. ඒ පොතේ සඳහන් දේ. එහෙත් මට තේරෙන විධියට බුරුමයට ලංකාවෙන් බෞද්ධ සංස්කෘතියක් හා එයටත් වඩා බෞද්ධ රාජ්‍යය ලැබී තියෙනවා. අනව්රත රජු මියන්මා බෞද්ධ රාජ්‍යය පිහිටුවල තියෙනවා. මිහිඳු මහ රහතන් වහනසේ වඩින්නට පෙර මෙරට යම් බුදුදහමක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. මිහිඳු මහා රහතන් වහන්සේ අපට ලබා දුන්නේ බෞද්ධ ශාසනයක් බෞද්ධ සංස්කෘතියක් හා බෞද්ධ රාජ්‍යයක්.

 

උන්වහන්සේ අපට දේශනා කළ ප්‍රථම සූත්‍රය වූයේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයයි. ඒ සූත්‍රයෙන් ද අඹ පැනයෙන් ද පැහැදිලි වනනේ එදා රජු හා රාජසභාවේ අය බුදුදහම තේරුම් ගැනීමට තරම් මට්ටමක සිටි බව. ඔවුන් මා මෙන් නොව බුද්ධිමත් අය වෙන්න ඇති. අඹ පැනය ගැන මෙන් ම එකී සූත්‍රය ගැනත් මා ලියා තියෙනවා. ඔබ වහන්සේ එයත් කුණු කූඩයට දැම්මා. ඒ සියල්ල මා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඉගැන්නුවා. ඒ අසා ලක්‍ෂමන් හා ලක්‍ෂමන් මා කුණු කූඩයටවත් නුසුදුසු ය කියා විශ්වවිද්‍යාලයෙන් ම පිට කෙරුවා. චුල්ලහත්ථිපදොපම සූත්‍රය බටහිර විද්‍යාවේ විධික්‍රමයට විරුද්ධ අතර අඹ පැනය බටහිර ගණිතයට විරුද්ධ බව පමණක් මා මෙහි සඳහන් කරනවා. එහෙත් ඔබ වහන්සේට අනුව බුදුදහම විද්‍යාත්මක තාර්කික වෙන්න පුළුවන්. ඔබ වහන්සේ මා කියන කිසිවක් පිළිගනීවි කියා හිතන්න බැහැ. එහෙත් මා හිතන විධියට මෙන් ම මට හිතෙන විධියට බුදුහාමුදුරුවන් අද වැඩ සිටියා නම් බටහිර විද්‍යාවත් ගණිතයත් බ්‍රහ්මජාල සූත්‍රයට ඇතුල් කරනවා.

 

බෞද්ධ රාජ්‍යය ගැන ටේ‍රවෝ ලිං ලියා තියෙනවා. ඔහුට අනුව බෞද්ධ රාජ්‍යය සංඝයා වහන්සේ රජු හා ජනතාව යන ගල් තුන මත රැඳී තියෙනවා. මාත් ඔහු අනුව මියන්මා එන තුරු එසේ සිතුවා. එහෙත් එය වැරදිය කියා මා දැන් හිතනවා. බෞද්ධ රාජ්‍යය සමන්විත වෙන්නෙ සංඝයා වහන්සේගෙන් හා රජුගෙන් (රාජ සභාවෙන්). ජනතාව වෙනුවෙන් සංඝයා වහන්සේ පෙනී සිටිනවා. රජු හා ජනතාව සංඝයා වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කරනවා. අදත් මියන්මාහි ඒ බෞද්ධ රාජ්‍යය යම් පමණකට හරි ක්‍රියාත්මක වෙනවා. පඬි නැට්ටන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරමින් හමුදා ආණ්ඩුව ගැන අහන මැටි ප්‍රශ්නවලට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.

 

මියන්මා දේශයට බෞද්ධ රාජ්‍යය ලැබුණේ අපෙන් වුවත් අවාසනාවකට අද අප රටේ බෞද්ධ රාජ්‍යය නැහැ. මා මෙහි දී බෞද්ධ රාජ්‍යය යනුවෙන් කියන්නේ එහි ව්‍යුහය ගැනයි. මියන්මා මෙන් නොව අප අවුරුදු හාරසිය පනහක සෘජු යටත්විජිතවාදයකටත් ඉන් පසු වක්‍ර යටත්විජිතවාදයකටත් හසු වෙලා. අද අපේ බෞද්ධ රාජ්‍යය නැත්තේ ඔබ වහන්සේ රාජ්‍යයට සම්බන්ධ නැති නිසා.

 

1762 සිට රජු සංඝයා වහන්සේ පාලනය කරනවා. රජවරු සංඝයා වහන්සේ සමග එක් වී ශාසන සංශෝධන කර තියෙනවා. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1762 දී සියම් නිකායේ උපසම්පදාව ගැන රාජාඥාවක් නිකුත් කළේ කොහොම ද? ඔහුට ඒ සඳහා තිබූ අයිතිය කුමක් ද? ඒ ආඥාව පරිච්ඡින්න කරන්නේ කොහොමද? අද සේරුවිල රජ මහා විහාරයේ නායක පදවිය ගැන තීරණය කිරීම අදාළ පාර්ශ්වයෙන් රෝම ලන්දේසි නීතිය ඩැහැගෙන. නායක පදවි ඇති කෙළෙත් ඉංගිරිසින්ට ඕන විධියට බව අමතක කරන්න බැහැ.

 

මට ඔබ වහන්සේට දැනමුතුකම් කියන්න බැහැ. ඔබ වහන්සේත් හිතන පරිදි මා බුද්ධිමතකුවත් උගතකුවත් වියතකුවත් නො වෙයි. එහෙත් රුවන්වැලි සෑ මළුවේ හාමුදුරු නමක් රුපවාහීනී කැමරාවට බණ කියන විට හිතෙන්නේ මොකක් ද? අර උපාසක උපාසිකාවන් කෝ? අද රට ආධ්‍යාත්මික ව පිරිහිලා. ලෝකය ම පිරිහුණත් අප පිරිහුණේ ඇයි? කොවිඩ් ගැන කවුරු කාගෙන් ඇහුවත් ඔබ වහන්සේගෙන් අහන්නෙ නැහැ. හැමෝ ම හිතනවා ඇති ඔබ වහන්සේට ඒ ගැන කියන්න දෙයක් නැහැ කියා. කොවිඩ් වයිරසය වඩ වඩා භයානක විකෘතීන් (ප්‍රභේද) හදනවා නම් එන්නතට වයිරසය සමග තරග කිරීමට නොහැකි නම් කළ යුත්තේ කුමක් ද? රට ආධ්‍යාත්මික ව නගා සිටු වන්නේ කෙසේ ද?

 

අද ජනතාව නියෝජනය කිරීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලනඥයන් ඔබ වහන්සේගෙන් පැහැර ගෙන. ඔබ වහන්සේත් දේශපාලනඥයන් පසුපස වඩිනවා. අප අද නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන කතා කරන දවස. උන්වහන්සේ අසුන් ගත්තේ සිංහාසනේ. අශෝක රජුට සිංහාසනයක් තිබුණ ද කියා මා දන්නේ නැහැ. සිංහාසනය සිංහල රජුගෙ අසුන. සිංහාසනය සාධාරණීකරණයට ලක් කරන්න අවශ්‍ය නැහැ.  අශෝක රජුට තිබුණෙ මයුරාසනයක් ද? රාජාසනය කියමු. ඒකෙන් කමක් නැහැ. බෞද්ධ රාජ්‍යයේ ඔබ වහන්සේ පාංශුකූලයට හා වොයිස් කට් දේශපාලනයට සීමා විය යුතු නැහැ.