අත ලෙව නොකා පැණි කන උගත්තු
බටහිර වෙද මහතුන්ගේ අධිමානය ගැන සිතන විට මගේ මතකය අසූවේ දශකයේ අගභාගයට යනවා. කලක් අඩපණ වී තිබුණු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති එකතුව නැවතත් සංවිධානය කර අද යොදා ගන්නා නමින් එනම් විශ්වවිද්‍යාලයිය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) ලෙස පණගැන්වීමට අප කිහිප දෙනකු සමත් වුණා. මා එහි ලේකම් වුණා. ඔස්මන්ඩ් ජයරත්න සභාපති වුණා. අප සම්මේලනයට ව්‍යවස්ථාවක් ද සකස් කර ගත්තා. සම්මේලනයේ සාමාජිකයන් වනුයේ ඒ ඒ විශ්වවිද්‍යාලවල පීඨවල ආචාර්ය සමිතියි. එහි පෞද්ගලික සාමාජිකත්වයක් නැහැ. ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලයේ පීඨයේ ආචාර්ය සමිතියේ සාමාජිකයන් වුණා. ඒ ඒ ආචාර්ය සමිති තම නියෝජිතයන් සම්මේලනයට පත් කර එවුවා. සම්මේලනයේ තනතුරු සඳහා පත් කර ගත්තේ ඒ නියෝ්ජිතයන්ගෙනුයි.
එකල රාජගිරියේ ආයුර්වේද විද්‍යාලය අද මෙන්
ආයතනයක් නොවෙයි. එහි ආචාර්ය සමිතියට සම්මේලනයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ව තිබූ
නමුත් ඇතැම් ආචාර්ය සමිති එයට විරුද්ධ වුණා. ඒ සමිතියට පමණක් නොව සෞන්දර්ය ආයතනයේ
ආචාර්ය සමිතියටත් සම්මේලනයේ සාමාජිකත්වය දීමට විරුද්ධ සමිති තිබුණා. එයට හේතුව එකී
ආචාර්යවරුන් ඊනියා විශ්වවිද්‍යාල මට්ටමේ ඉගැන්වීමක් නොකිරීම යැයි කියැවුණා. එහෙත්
අප කිහිප දෙනකුගේ මැදිහත්වීමෙන් ඒ සමිතිවලටත් සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණා.
ඔස්මන්ඩ් ජයරත්න විශ්‍රාම ගැනීමෙන් පසුව වෙනත්
අයකු සභාපති වුණා. එහෙත් ඔහු වැඩි කලක් ඒ කටයුත්ත කෙළේ නැහැ. ඉන් පසු මා සභාපති
වුණා. එකල විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වැටුප් ඉතා අඩු මට්ටමක තිබුණෙ. එහෙත්
විවිධ පීඨ අතර වැටුප් විෂමතා තිබුණා. වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨවලට ආචාර්යවරුන්ට
විවිධ දීමනා ලබා දී තිබුණා. අප සියළු විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට පොදු වැටුප්
ව්‍යුහ සකස් කළා. බටහිර වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් අතර වැටුප් විෂමතා
නොතිබිය යුතු බව සම්මේලනය තීරණය කළා. අපේ පදනම වූයේ සියලු දෙනා විශ්වවිද්‍යාලයීය
ආචාර්යවරුන් මිස අර පීඨයේ මේ පීඨයේ ආචාර්යවරුන් නොවන බවයි.
අපේ මතයට සම්මේලනය පැමිණි පසු අප වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට
එළඹුණා. තරමක දීර්ඝ සටනකින් පසු අප ජයගත්තා. ඒ ඒ පීඨයට වෙන වෙන ම දීමනා ලැබුණේ
නැහැ. මා මෙය සඳහන් කෙළේ එකල බටහිර වෛද්‍ය පීඨ සිතූ ආකාරය පෙන්වීමට. ඔවුන්
සමහරුන්ට තමන් විශේෂ වූ පිරිසක් යන අධිමානය තිබුණා. මේ අධිමානය අද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ
දකින්න පුළුවන්. බටහිර වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය තම ආධිපත්‍යය යටතට ගෙන ඇති
බව පැහැදිලියි.
කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙද මහතුන්ගෙන් වෙන
සේවය කුමක් ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදන කියවීම ද? රෝගීන්
හා මරණ සම්බන්ධයෙන් ප්‍රතිශත නැත්නම්
සියයට ගණන් කියවීම ද? එහෙමත් නැත්නම් දත්ත දින පහක් හයක්
පැරණි යැයි කියමින් නිගමනවලට පැමිණිය නොහැකි යැයි කීම ද? දත්ත
දින කිහිපයක් පැරණි වන්න පුළුවන්. එහෙත් ඒ දත්ත යාවත්කාලීන කර ගන්න පුළුවන්.
බොහෝ බටහිර වෙද මහතුන්ට උසස් පෙළ පරීක්‍ෂණයේ
අමාරු ම විෂය භෞතික විද්‍යාව. දත්ත බහිර්නිවේෂණය කර යම් පමණකට ඒ යාවත්කාලීන කරන ක්‍රම
භෞතික විද්‍යාව ඉගෙන ගත් අය දන්නවා. මානය පැත්තකින් තබා බටහිර වෙද මහතුන් හා වෙද හාමිනේලා ඒ දන්නා
අයගෙන් ඇසුවොත් නරක ද? ඒත් එය ප්‍රශ්නයට විසඳුමක් කියා මා
කියන්නේ නැහැ. එදිනෙදා වැඩක් පළක් කර කීයක් හරි හම්බ කරන අයට කරදරයක් නොවන පරිදි
රෝගය පැතිරීම නැවැත්වීම කෙසේ වෙතත් අඩුකිරීමටවත් ක්‍රමයක් යෝජනා කරනවා ද?
රවි කුමුදේශ් කොවිඩ් සම්බන්ධයෙන් කියන කරන දේ
හා බටහිර වෙද මහතකු කියන කරන දේ අතර වෙනස කුමක් ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
සාමාජිකයන් තම ආධිපත්‍යය යොදා ගෙන එන්නත් ලබා ගැනීම ද? ඊනියා
කොවිඩ් දීමනාවක් ලබා ගැනීම ද? වයිරස ප්‍රභේද හඳුනාගැනීම මට තේරෙන
විධියට නම් රසායන විද්‍යාව ඉගෙන ගත් අයටත් කරන්න පුළුවන්. අද කොවිඩ් 19
සම්බන්ධයෙන් වෙන කිසිවකුට කළ නොහැකි බටහිර වෙද මහතුනට පමණක් කළ හැකි දෙය කුමක් ද? ගෝඨාභය
රාජපක්‍ෂගේ රැස්වීම්වලට මෙන් ම සජිත් ප්‍රේමදාසගේත් රැස්වීම්වලට සහභාගි වීම ද? දවල්
දනියෙල් රෑ මිගෙල් රඟපෑම ද?
ඉංගිරිසින් අපට ලබා දුන් අධ්‍යාපනයේ රඟ දැන්
දැන් තේරෙන්න ඕන. ඔය අධ්‍යාපනය නිසා අද තරගයක් සමාජ විෂමතාවන් ඇති වී තිබෙනවා.
සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න, පවුල් අතර ප්‍රශ්න බෙදීම් ඇති වෙලා.
ඉංගිරිසි අධ්‍යාපන ක්‍රමය පදනම් වෙලා තියෙන්නෙ සාමූහිකත්වය මත නො වෙයි. ඉස්සර නම්
දරුවන් කවුරුත් කාගේත් දරුවන්. අර ඇත් රංචුවක එක් ඇතින්නකට පැටියකු ලුබුණ ම අනෙක්
ඇතින්නියන්ටත් කිරි එරෙනවලු. සිංහලයන් අතර ඉන්න ඇත් රංචුවල තාමත් එහෙම ද කියල
දන්නෙ නැහැ. පැරණි කුල ක්‍රමයේ මේ තරම්
විෂමතා තිබුණේ නැහැ. අවුරුදු දහතුනක් පාසල් ගොස් අවුරුදු පහකට වැඩි කාලයක් වෛද්‍ය
විද්‍යාලයේ ගත කරන්නේ අත ලෙව කන්න ද කියා අහන්න පුළුවන්. ඉගෙන ගැනීම මීයක් කඩනවා
වගේ වැඩක්. අත ලෙව කෑම කෙසේ වෙතත් මරණ තුනක් ඇති මිනිසුන් පැණි කනවා අද සමාජයේ
දකින්න පුළුවන්. ඒ වැඩි හරියක් ඊනියා උගතුන්.