ණයක් වූ ණය ආර්ථිකය
ආර්ථික අර්බුදයක් තියෙන බව ඇතැම් ඇමතිවරු පිළිගැනීම සුබ ලකුණක්. විවිධ සංස්ථා ණය බරින් මිරිකිලා. ඇතැම් සංස්ථා වෙනත් සංස්ථාවලට ණයයි. සියලු සංස්ථා රාජ්‍ය බැංකුවලට ණයයි. විපක්‍ෂයේ පඬියන් පඬි නැට්ටන් කියන්න පුළුවන් මේ සියල්ල වත්මන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා වූවක් කියල. ඒත් ඔය ණය ගැනීම අද ඊයේ ආරම්භ වුණු එකක් නො වෙයි. යහපාලන කාලෙ කිසිම සංස්ථාවක් වෙනත් සංස්ථාවකට හරි රාජ්‍ය බැංකුවකට හරි ණය වෙලා තිබුණෙ නැද්ද?
මේ ධනේශ්වර ක්‍රමය යටතේ ව්‍යාපාර ආරම්භ කරන්නෙ ණය අරගෙන. ණය ගන්න කොට පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවල හිමිකරුවන් වෙස්සන්තර රජවරු නො වෙයි. පොලී අය නොකරන බැංකුවලට ලාබය ගෙවන්න ණය ගන්නන්ට සිද්ධ වෙනවා. බැංකුවත් ව්‍යාපාරයේ හිමිකරුවකු වෙනවා. සාමාන්‍ය අයකු ගෙයක් හදන කොට ණයක් ගන්නවා. ඒවාට බැඳුම්කර තියෙනවා. වාහන ගන්නත් ණය ගන්නවා. බදු ගෙවන්න වෙනවා. ඒ බදු ගෙවන්න බැරි වුණොත් සීසර්ලා එනවා. ජුලියස් හා ඔගස්ටස් නො වෙයි. මේ සීසර්ලා යන්නෙ මොන ක්ලියොපැට්රා ළඟට ද කියල දන්නෙ නැහැ. ඒත් සීසර් කියන වචනය නිර්මාණශීලී වචනයක්.
සංස්ථාවලට ණය ගෙවා ගන්න බෑරි වුණා ම සීසර්ලා එන්නෙ නැහැ. කරන එක ම දේ තව තවත් ණය ගන්න එක. සංස්ථාවලට ණය ගන්න බැඳුම්කර අත්සන් කරන්න ඕන නැද්ද? පොරෝන්දු නැද්ද? පොරොන්දුවලට මොක ද වෙන්නෙ. සමහර සංස්ථා පාඩු ලබන්නෙ නැහැ කියල පොතේ පෙන්නනවා. පොතේ මොනව ද කරන්න බැරි?
සමහර සංස්ථා පාඩු වින්දත් සේවකයන්ගෙ පඩි වැඩි කර ගන්නවා. ඒ සංස්ථා ප්‍රධානීන්ගෙත් එක්ක. සංස්ථා ප්‍රධානීන් බොහෝ විට දේශපාලන හිතවතුන්. සමහර විට පැරදුණු අපේක්‍ෂකයන් වෙන්නත් පුළුවන්. පඩි වැඩි කර ගන්නත් ණය ගන්නවා. යම් සංස්ථාවක හරි රජයේ ආයතනයක හරි ශුද්ධ ණය කියා සංකල්පයක් හදා ගන්න පුළුවන් ද? ශුද්ධ ලාබය කියන එක රජයේ ආයතනවලට හා සංස්ථාවලට ආගන්තුකයි.
යම් ආයතනයකට අනෙක් ආයතනවලින් ලැබිය යුතු ණය ඒ ආයතනය වෙනත් ආයතනවලට ගෙවිය යුතු ණයෙන් අඩු කළාම ශුද්ධ ණය ගණනය කරන්න පුළුවන්. මෙරට රාජ්‍ය ආයතනවල හා සංස්ථාවල ශුද්ධ ණය එකතු කළොත් ලැබෙන මුළු ශුද්ධ ණය කොපමණ ද?
රජයේ ආයතන විශේෂයෙන් ම සංස්ථා රැකීරක්‍ෂා සපයන්නන් බවට පත් වෙලා. දේශපාලනඥයන්ට තම හිතවතුන්ට රැකියා ලබා දෙන්න ඕන. රැකියා ඇබැර්තු නැතත් ඇබෑර්තු මවන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනඥයා ඊළඟ මැතිවරණෙ පරාදයි. ණය ගන්නෙ නැතිව රැකියාවලට ගත්ත අයට පඩි දෙන්නෙ කොහොමද?
අද කාලෙ හැමෝම වගේ ණයයි. කඩේ මුදලාලිට ණය අය ඉන්නවා. ඊනියා සමාජ තත්වය ඊට ටිකක් ඉහළට ගියා ම නිවාස ණය වාහන ණය ආදිය තියෙනවා. එ නැතත් දැන් බැංකුවල ණය පත් තියෙනවා. යම් සීමාවකට යටත් ව ඒ ණය පත් යොදා ගෙන භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. බොහෝ රටවල විශ්වවිද්‍යාලයට යන්න ණයක් ගන්න වෙනවා. අපේ රටේ එහෙම නැහැ. සමහරුනට මහපොළ ලැබෙනවා. විශ්වවිිද්‍යාලය දක්වා අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමක් නොකරන රටවල් ස්වල්පයට ලංකාවත් අයිතියි.
1969ට පෙර වසරකට විශ්වවිද්‍යාල උපාධිධාරීන් හය දෙනකුට රජයේ ශිෂ්‍යත්ව ලැබුණා පිටරට විශේෂයෙන් ම එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි ලබා ගැනීමට. ඔවුන්ට අධ්‍යාපනයට පමණක් නොව ඉඳුම් හිටුම් ඇඳුම් පැලඳුම්, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය සඳහා ද රජය ගෙවුවා. මටත් 1967 දී ඉන් එක් ශිෂ්‍යත්වයක් ලැබුණා. මා මේ රටට ණයයි. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් රජය ජනතාවගේ බදු මුදල් වියදම් කළේ. එය විදේශීය මුදලින් (පවුම්) ගෙවුණෙ. මෙරට බොහෝ උගතුන් හිතන්නෙ ඒ මුදලින් ජනතාවට පරිප්පු අරන් දුන්න නම් ඊට වඩා හොඳයි කියා. ඔවුන් හිතන්නෙ මා විශ්වවිද්‍යාල රැකියාවවත් හරියට කළේ නැහැ කියල. ලක්‍ෂමන්ගෙන් හා ලක්‍ෂමන්ගෙන් අහන්න.
ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද අප බොහෝ දෙනා පෞද්ගලික ව ණයයි. රටක් හැටියටත් අප ණයයි. අපේ ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. අපේ නිෂ්පාදන වියදම් අධිකයි. අපට මේ කලාපයේ බොහෝ රටවල් සමග තරග කරන්න බැහැ. ඒ අපේ නිෂ්පාදන වියදම අධික නිසා. චීනය අපට හිතවත් වෙන්න පුළුවන්. එහෙත් නිෂ්පාදනයේ දී අපට චීනය සමග තරග කරන්න පුළුවන් ද? චීනයේ නිෂ්පාදන වියදම අප නිෂ්පාදන වියදම සමග සසඳන්න පුළුවන් ද? චීනයේ කම්කරු නීති අපේ කම්කරු නීති සමග එකට ගන්න පුළුවන් ද? අපට වෙසක් කුඩුවත් ඉටි පන්දමත් බෞද්ධ කොඩියත් ජාතික කොඩියත් ගෙන්වන්න සිදු වන්නෙ චීනයෙන් නම් අපේ ඉරණම මොකක් ද? අපට චීනය එක්ක තබා බංග්ලාදේශය එක්කවත් මියන්මා එක්කවත් තරග කරන්න බැහැ.
අප විදේශීය සංචාරකයන් මත යැපුණා. අද ඔවුන් එන්නෙ නැහැ. මොන බුබුළු ක්‍රියාත්මක කළත් ඔවුන් දැන් ම එන්නෙ නැහැ. අපට ඩොලර් හොයා ගන්න ක්‍රමයක් අවශ්‍යයයි. විපක්‍ෂය විවිධ වාහනවල ගියාට ඩොලර් හොයන්න බැහැ. තෙල්වලට යන වියදම ටිකක් අඩු කර ගන්න පුළුවන්. ඔවුන් හැමදාමත් ඒ වාහනවල එනව නම් හොඳයි.
ණය ගන්න වෙන්නේ ව්‍යාපාරිකයන් නො වෙයි නම් තමන්ගෙ ආදායමට වඩා වියදම් කරන විට. නිවාස ණයක් වුණත් පොඩියට හදනව නම් ඒ තරම් වෙන්නෙ නැහැ. ඒත් අල්ලපු ගෙදරට වඩා ලොකු ගෙයක් හදන්න ඕන නම් ජීවිත කාලයක් ගෙවන්න ණයක් ගන්න පුළුවන්. අප ආනයනය කරන ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණයට වඩා වටිනාකමින් ඉහළයි. වැඩි වෙන මධ්‍යම පංතියේ අවශ්‍යතාවන් සපුරාලන්නයි අප වෙහෙසෙන්නෙ. එයින් මධ්‍යම පංතියත් ඊටත් වඩා අසරණ අහිසක ජනතාවත් තැලෙනවා. වාහන ගෙන්වීම තහනම හොඳයි. ඒත් මන්ත්‍රීල ආදර්ශයක් වෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ.
ණය ආර්ථිකය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ණයක්. අපි විරුද්ධ පක්‍ෂය ආදර්ශයට ගනිමු. තෙල් පරිභෝජනය අඩු රියවල ගමන් කරමු. එක් පුද්ගලයකුට එක් කිලෝමීටරයක් ගමන් කිරීමට තෙල් සඳහා යන වියදම අවමයක් කර ගැනීමට වෙහෙසෙමු. හදිසියේ අපනයන වැඩි කරන්න බැහැ. එහෙත් ආනයන අඩු කරන්න හිතා බලන්න පුළුවන්.