Main Logo

Friday, 18 June 2021

ගෝපාල් ලංකාපාල් ද?

 

 

ගෝපාල් ලංකාපාල් ද?

 

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ වාර්තාවකට අනුව සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවෙලා. දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසට  මාවෙයි සේනාධිරාජා, ඒබ්‍රහම් සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්තන් හා සෙල්වම් අඩෙයික්කලනාදන් අයත් වෙලා. ඉන්දීය මහා කොමසාර්ස් සමග නියෝජ්‍ය මහා කොමසාර්ස් විනෝද් ජේකබ් හා දේශපාලන උපදේශිකා බානු ප්‍රකාශ් සාකච්ඡාවට සහභාගි වෙලා.

 

මේ සාකච්ඡාව වියනා සම්මුතියේ 41(1) වගන්තියට පටහැණියි. ඒ වගන්තිය අනුව තානාපති නිලධාරීන් තමන් යන රටේ නීති හා රෙගුලාසිවලට ගරු කරන්න ඕන. ඒ වගේ ම ඔවුන් ඒ යන රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගෑසිය යුතුයි. මා ඒ බව විදේශ ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත් මතක් කරන්න ඕන. මට අවශ්‍ය වුණත් මියන්මාහි කටයුතු ගැන මට ප්‍රකාශ නිකුත් කරන්න අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න බැහැ.

 

එහෙත් ලංකාවේ තත්වය එසේ නො වෙයි. බටහිර රටවල හා ඉන්දියාවේ තානාපතිවරු මහා කොමසාරිස්වරු මෙරට දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමුවෙනවා. රටේ දේශපාලනය ගැන තම අදහස් ප්‍රකාශ කරනවා. රජය මෙයට ඉඩ දී බලා සිටින්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. මින් පෙර ද මෙරට තිබූ ආණ්ඩු විදේශීය තානාපතිවරුන්ට අප රටේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ඉඩ දුන්නා. ආර් ප්‍රේමදාස පමණක් වරක් එංගලන්ත තානාපති රටේ දේශපාලනයට ඇඟිලි ගැසීම නිසා රටින් පිට කළා. මහින්ද රාජපක්‍ෂ තමන්ට දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව කළ මෙහෙයුම් නවත්වන්න  කියන්න පැමිණි එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට තදින් කතා කර ආපසු යැවුවා.

 

ගෝපාල් බග්ලේ තරමක ඩොයිලි කෙනෙක්. ඔහුට සිංහල පුළුවන්. බුදුදහම ගැනත් යමක් දන්නවා. පන්සල්වලටත් යනවා. ඒ කරන අතර දෙමළ ජාතිවාදීන් මුණ ගැහෙනවා. ඔවුන් ධෛර්යමත් කරනවා. මෙවර බග්ලේ දෙමළ ජාතික සංධානයට මතක් කර ඇත්තේ ඉන්දියාව උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස සෑදීම ඇතුළු යටිතල පහසුකම් ඇති කිරීම සඳහා ආධාර කර ඇති ආකාරය. ඔහු ලංකාවේ අනෙක් පළාත්වල නිවාස කීයක් සෑදීමට ඉන්දියාව ආධාර කර ඇත් ද යන්නත් කියනවා නම් හොඳයි.

 

ඉන්දියාව උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන වැසියන්ට පමණක් සැලකීම අනෙක් ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද කියා අහන්න වෙන්නෙ ජෙනීවා පඬියන්ගෙන්. මහාවංසයේ කියන හැටියට නම් සිංහලයන් ද පැමිණ ඇත්තේ දඹදිවින්. ප්‍රධාන වශයෙන් වංගයෙන් හා කාලිංගයෙන්. එහෙත් ඉනදියාව මහාවංසය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඉන්දීය ඉතිහාසය දැන ගැනීමට  ජේම්ස් ප්‍රින්සෙප්ට ආධාර වුණේ සිංහලයකු බව අමතක කිරීමට ඉංගිරිසින් කටයුතු කර තියෙනවා. ඒ කෙසේ නමුත් ප්‍රින්සෙප්ට ඉන්දීය ඉතිහාසය දැන ගැනීමට මහාවංසය ආධාර වුණු බවට ජෝර්ජ් ටර්නර් සාක්‍ෂි දරා තියෙනවා. මහාවංසය නොතිබෙන්නට ඉන්දියාවට තියෙන්නේ මුස්ලිම් ඉතිහාසයක් පමණයි.

 

සමහර විට බග්ලේ දන්නවා ඇති සිංහලයන්ගෙන් ඉතා වැඩි පිරිස මෙරට ම වැසියන් බව. දඹදිවින් විටින් විට පැමිණි අය කර ඇත්තේ සිංහල රාජ්‍යයේ රජ වීම බව ද ඔහු දන්නවා ඇති. ඒ කෙසේ වෙතත් ලන්දේසීන් වෙල්ලාලයන් ගෙනෙන තුරු මෙරටට දඹදිවින් පැමිණි අය (රජවරු ද අනෙක් අය ද) සිංහල සමාජයට අවශෝෂණය වී මෙහි ස්ථිර පදිංචි කරුවන් වුණා. මෙරටට දහහතරවැනි සියවසේ පමණ මලබාරයෙන් පැමිණි මුස්ලිමුන් ද සිංහල නූණත් මෙරට ස්ථිර පදිංචි කරුවන් වුණා. ඉංගිරිසින් පැමිණෙන තෙක් මුස්ලිමුන් සිංහලයන් සමග සමගියෙන් ජීවත් වුණා.

 

එහෙත් වෙල්ලාලයන් මෙරට ස්ථිර පදිංචිකරුවන් වුණේ නැහැ. ඔවුන් තම නිජබිම ලෙස සැලකුවේ ඉන්දියාවයි. ලන්දේසි කාලයේත් ඉන් පසුවත් ඔවුන්ට අවශ්‍ය වූයේ නිජබීමට යෑමටයි. ඉන්දියාවත් ඔවුන් සලකන්නේ තම ඥාතීන් ලෙස. ඉන්දියාව හිතන්නේ තමන් වෙල්ලාලයන් වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියලයි. වෙල්ලාලයන් මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාව දන්නවා වෙල්ලාලයන් එසේ තබා ගැනීම මගින් තමන්ට මෙරටට ඇඟිලි ගැසීමට හැකි බව. ඉන්දියාවට අවශ්‍ය යම් දිනෙක ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමට. ඇසෑමයට කළ දේ අපටත් කරන්න.  ඇසෑමය යන්න අසම යන්නෙන් බිඳී ඇති බව කියනවා. අසම කියන්නේ සමානයකු නැති බව. එහෙත් දැන් නම් අසම මට්ටම් කෙරිලා.

 

ඉන්දීය මහා කොමසාරිස් දෙමළ ජාතික සංධානයට අවධාරණයෙන් කියා ඇත්තේ තමන් දහතුන සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමේ පදනම මත බලය බෙදා හැරීමට ආධාර කරන බවයි. ඒ දෙමළ අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා බවත් මහා කොමසාරිස් කියා තියෙනවා. ඉන්දියාවේ අණසකට යටත් වූ ජේ ආර් දහතුන සම්මත කළේ අධිකරණ තීන්දුවකට ද පිටින් ගොස්. ඉන්දියාව තමයි දහතුනේ කෙටුම්පත් නිලධාරියා. දහතුනෙන් ඉන්දියාවේ ප්‍රාන්තවලටත් නැති බලතල පළාත් සභාවලට ලබා දෙනවා. පළාත් සභා දැන් අක්‍රීයයි. පළාත් සභා නැතිව රට කරවන්න පුළුවන් බව ප්‍රායෝගික ව ඔප්පු කර තියෙනවා. කොවිඩ් 19 නිසා ජනහඬ වෙනතකට යොමු වී ඇති බැවින් ඉන්දියාව තැත් කරන්නෙ කල දුටු කල වල ඉහ ගැනීමට.

 

බොග්ලේ මෙරට ඉන්දීය මහා කොමසාරිස් ද වෙනත් කවුරුන්වත් ද?