Main Logo

Thursday 17 June 2021

පැරදීලා පලා ගියේ නැහැ

 

පැරදීලා පලා ගියේ නැහැ

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේ සභාපති ධුරයට මාල දිවයිනේ විදේශ ඇමති පත්වෙලා. එය දේශපාලන වශයෙන් බලවත් තනතුරක් නො වෙයි. එහෙත් මෙයින් හෙළිවන කරුණක් තියෙනවා. තවමත් එක්සත් ජාතීන්ගේ මහා සභාව  බටහිරයන්ට පාලනය කළ හැකි බව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ධුරයට පැවති තරගයේ දී මාලදිවයින් විදේශ ඇමති පිටුපස බටහිර රටවල් හා ඉන්දියාව හිටියා. ඔහුට විරුද්ධ බලවත් අපේක්‍ෂකයා වූයේ ඇෆ්ගනිස්ථානයයි. ඒ පිටුපස චීනය රුසියාව හා පකිස්ථානය හිටියා. වැඩි ඡන්ද ඉතා විශාල සංඛ්‍යාවකින් මාලදිවයින දිනා තිබෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙද්දී ද හරි හමන් විකල්පයක් නැති වීමේ ප්‍රශ්නයයි තියෙන්නේ. එය හොඳ තත්වයක් නො වෙයි. අද මුළු ලොව ම අසමත්. එහෙත් විකල්පයක් නැහැ.

 

ලංකාවට ප්‍රශ්නය ලෝකය ම අසමත් වීම. බටහිර ආර්ථිකයට හෙම්බිරිස්සාවක් හැදුණොත් අපට නිවුමෝනියා හැදෙනවා. බටහිරට කොවිඩ් හැදුන ම අපට මොක ද වෙන්නෙ. ආණ්ඩුවට ජනතාවට අහිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා. තෙල් මිල වැඩි කිරීම හොඳ ම උදාහරණය. තරංග ගත ව (on line, එකල නම් රැහැන් ගත ව එහෙත් දැන් රැහැන් ගත ව නොව තරංග ගත ව වැඩ සිද්ධ වන්නෙ) මත්පැන්  මිල දී ගැනීම තවත් යෝජනාවක්. මේ යෝජනාවලට මුදල් අමාත්‍යාංශය  සම්බන්ධ බව පැහැදිලියි. දෙවැනි යෝජනාව ක්‍රියාත්මක වන්නේ නැහැ.

 

ගම්මන්පිළට විරුද්ධ ව ගෙනෙන විශ්වාස භංග යෝජනාව කිසිම පදනමක් නැහැ කියා කාට හරි හිතෙන්න පුළුවන්. විශ්වාස භංගය එක්කෝ මුදල් අමාත්‍යංශයට එහෙමත් නැත්නම් සමස්ත ආණ්ඩුවට ම විරුද්ධ ව ගේන්න ඕන කියා කියන්න පුළුවන්. එහෙත් මේ විශ්වාස භංග යෝජනාවේ අරමුණ 2024 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා තෝරා ගැනීමයි. වඩාත් නිරවුල් ව කිවුවොත් ඇතැම් අපේක්‍ෂකයන් දැන්ම හැළීමයි. විශ්වාස භංගයේ දී ආණ්ඩු පක්‍ෂයේ ඇතැමුන් විපක්‍ෂයට සහාය දෙන බව පේන්න තියෙනවා.

 

සාගර කාරියවසම් කියන්නෙ සාගර පලන්සූරිය (කේයස්) නො වෙයි. සුදෝසුදු කාව්‍යයේ අන්ධ දරුවා තම මවට කියනවා පේනවා දකිනවා කියන්නේ මොනවා ද කියා තෝරාදෙන්න කියා. සාගර කාරියවසම් සම්බන්ධයෙන් කියන්න වෙන්නෙ පේන දකින දේ තේරුම් කර ගනිමු කියා. මෙය පේන කීමක් නම් නො වෙයි.

 

මා මුදල් අමාතංශයේ ලේකම්තුමා හොඳින් දන්නවා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත විශේෂ උපාධිධාරියෙක්. මා ඔහුට කතන්දර කියල දීල තියෙනවා. ඔහු ඒව අහල නිදාගත්ත ද දන්නෙ නැහැ.  ඒත් මේ කතන්දරය තරමක් වෙනස්. මුදල් අමාත්‍යතුමා එසේ මෙසේ අයකු නො වෙයි. ඔහු සමහර විට ආසියාවේ ම ඉන්නා  කෘතහස්ත ම දේශපාලනඥයා වෙන්න පුළුවන්. ලෝකයේ ම ඔහු දෙවැනි වුණොත් ඒ පුටින්ට. ඔහු ජනතාවගේ නාඩි වැටෙන ආකාරය දන්නවා. ඒ නමින් මහින්ද රාජපක්‍ෂ. අවුරුදු පනහක් පාර්ලිමේන්තු දේශපාලනය කළ අයෙක්.  ඔහු 2015 දී ජනාධිපතිවරණයෙන් පැරදුණා. එහෙත් ඇතැමුන් ගැන  මෙන් නොව ඔහු ගැන අර සිංදුවේ තියෙන විධියට මෙහෙම කියන්න පුළුවන්.

 

පැරදීලා පලා ගියේ නැහැ, රැවටීලා හඬා වැටී නැහැ, පිටු පාලා සොවේ හෙළා නැහැ, මා කවදාවත් වෙනස් වුණේ නැහැ (මේ පද ලියා එවීම ගැන මිතුරකුට පින්!). පරාජයට හේතු වූ අය පැරදිලා රටින් යද්දී ඔහු ගියේ මැදමූලනට. ජනතාව ගියේ ඔහු බැලීමට මිස වෙනත් අය බැලීමට නො වෙයි. ඔහු පරාජයෙන් හඬා වැටුණේ නැහැ. ජනතාව ශෝකයට පත් කෙළේ නැහැ. ඔහු වෙනස් වෙලා නැහැ. මා ඔහුගේ ප්‍රතිපත්ති සමහරක් අනුමත කරන්නේ නැහැ. එහෙත් ඔහු නොදන්න නාඩියක් වෙනත් අයකු දන්නේ නැහැ. ඔහුට නටන්න බැරි අඩියක් වෙනත් අයකුට නටන්න බැහැ.

 

ජනතාව ඔහු වටා එකතු වුණා. එව බලව සංවිධානය ඔහු නැවත බලයට පත් කිරීම සඳහා පළමු වෙඩි උණ්ඩය පත්තු කළා. දිනේෂ් වාසු විමල් ගම්මන්පිළ නුගේගොඩ රැස්වීම සංවිධානය කළා. අද වීරයන් වී සිටින බොහෝ දෙනා රැස්වීමට ආවෙ නැහැ. මොකෝ පිටරට ඉඳන් එන්නයැ. මහින්දගේ පණිවුඩය කියවා ගැනීමට පක්‍ෂයේ කිසිවකු සොයා ගැනීමට බැරි වුණා. සමහරු නුගේගොඩ කඩවල ඉඳන් රැස්වීමේ කතා ඇහුවා. මහජනයා මහින්ද වටා එක් වූ පසු පැරදීලා පලා ගිය අය ඇවිත් පක්‍ෂයක් පිහිටෙවුවා කියා කියනවා. පක්‍ෂයක් පිහිටුවන්න දෙයක් තිබුණේ නැහැ. පක්‍ෂයට නමක් සභපති කෙනෙක් හා ලේකම් කෙනෙක් අවශ්‍ය ව තිබුණා. දේශපාලනයේ දී තමන්ගේ ම කියා යමක් කර කියන්න බැරි දෙදෙනකු පක්‍ෂ සම්මේලනයක් නැති ව ම ඒ තනතුරුවලට පත් කෙරුණා.

 

හැදිල තිබුණු පක්‍ෂයකට නමක් සභාපති කෙනකු ලේකම් කෙනකු නියම කරන එක මහා ප්‍රාතිහාර්යයක් නො වෙයි. අර ඡන්ද කොට්ඨාශයට පාප්ප බාල්දි කීයක් අවශ්‍ය ද පිටි කොච්චර අවශ්‍ය ද කියල තීරණය කරන එක මහා දෙයක් නො වෙයි. කවුරු හරි කියනව නම් ඒව ප්‍රාඥයකුගෙ වැඩ කියල ඒ අයට ප්‍රීමා පිටි මුදලාලිගෙ පිහිටයි. ආණ්ඩුව අද අර්බුදයක ඉන්නෙ. එයට අප සියල්ලන් ම වග කියන්න ඕන. මේ අප රටක් හැටියට ආදායමට වඩා වියදම් කිරීමේ ප්‍රතිඵල. අපට අවශ්‍ය යැයි කියන දේ ආනයනය කිරීමට මුදල් සොයා ගැනීම ප්‍රශ්නයක්. ඒක අහවලාට පමණක් කරන්න පුළුවන් එකක් නො වෙයි. එයා හිටිය නම් ඕක ඔහොම වෙන්නෙ නැහැ කියන කතා වන්දිභට්ට කතා පමණයි.

 

යමකුට ජනාධිපති අපේක්‍ෂාව ඇති වුණා ම කරන පළමු දෙයක් වෙන්න ඕන ප්‍රතිවාදීුන් යැයි කිව හැකි අපේක්‍ෂකයන් තරගයෙන් ඉවත් කිරීම. සජිත් ආණ්ඩු පක්‍ෂයේ යම් පිරිසකගෙ උපකාරය ඇති ව ඒ කාර්යයේ යෙදී ඉන්න බව පේනවා. සජිත් දුර්වල අපේක්‍ෂකයෙක්. ඔහුට ඕන තමන්ටත් වඩා දුර්වල විරුද්ධවාදියෙක්. ජනතා ඡන්දයක් දිනා ගන්න බැරි අයෙක්. විශ්වාසභංගය ඒ ඒ වෙන්ඩ අපේක්‍ෂකයන්ට හා ඔවුන් සමග ඉන්න අයට විරුද්ධවයි. ගම්මන්පිළ 2024 වෙන්ඩ ජනාධිපති අපේක්‍ෂක කෙනකු කියා මා නම් හිතන්නෙ නැහැ. අනෙක් අය නම් කරන්න බැරි නිසා ගම්මන්පිළට විරුද්ධ ව පමණක් තෙල් කතන්දරේ දඩමීමා කර ගෙන විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා. අර ගෙදර තියෙන මුවහමට තඩි බානවා වගේ වැඩක්.

 

මේ විශ්වාසභංගය ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ යන රාජපක්‍ෂලාටත්, විමල්  වීරවංසටත් විරුද්ධ ව ගෙන එන්නක්. ජී එල් පීරිස්ටවත් සාගර කාරියවසම්ටවත් විරුද්ධ ව ගෙන එන්නක් නො වෙයි. මේකෙ අන්තිම කතාව කරන්නෙ සජිත් ප්‍රේමදාසත් නො වෙයි.