Main Logo

Wednesday 16 June 2021

ඉගැන්වීම ගැන ඉගෙනීමක්

 

ඉගැන්වීම ගැන ඉගෙනීමක්

 

ඉගැන්වීමෙන් කෙරෙන්නේ යම් සමාජයක පවතින දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීමට කටයුතු කිරීමයි. එයින් කියැවෙන්නේ සමාජයේ පවතින සියලු දැනුම් ඊළඟ පරම්පරාවට ලබා දෙන බව නො වෙයි. දැනුමෙන් කොටසක්, විශේෂයෙන් ඒ සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය රැකියාවක් කිරීම ඇතුළු ජීවනෝපායක් සඳහා අවශ්‍ය කොටසක්,  ලබා දෙන අතර ඉතිරිය ලබා ගැනීම සඳහා වූ මග පෙන්වීම ඉගැන්වීමෙන් කෙරෙනවා. ආගමික දැනුම්වලින් මරණින් මතු ජීවත්වීම ගැන ද කියනවා. බුදුදහමින් නම් කියන්නේ නැවත නූපදින විධියට ජීවත්වෙන්න කියා.  වත්මන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විශාල දැනුම් සම්භාරයක් ඉංගිරිසියෙන් තියෙනවා. ඒ දැනුම ලබා ගැනීම ඉංගිරිසියෙන් තමයි කරන්න වෙන්නෙ.

 

පැරණි ආසියාතික ලෝකයේ දැනුම ලබා ගත හැක්කේ පාලි සංස්කෘත චීන භාෂාවලින් කියා හිතනවා. පස්වැනි සියවසේ සිංහලෙන් තිබූ බුදුදහම පාලියට පරිවර්තනය නොකරන්න සිංහලත් දැනුම ලබා ගැනීම සඳහා වෙනත් අය ඉගෙන ගන්නා තවත් භාෂාවක් වන්නට ඉඩ තිබුණා. ඒ අවස්ථාව මග හැරී යෑම පිළිබඳ ව මට නම් ඇත්තේ කණගාටුවක්.

 

මා ඉංගිරිසි ඉගෙන ගැනීම සඳහා අවශ්‍යතා ලෙස ඉදිරිපත් කළ කරුණක් වූයේ ලෝකයේ පවතින දැනුම ලබා ගැනීමයි. එහෙත් ඒ එකී දැනුම ලබා ගැනීමට අවශ්‍ය අයට. අපට කතා කරන්න සිදු වී ඇත්තේ ඒ දැනුම ලබා ගැනීම ගැන නො වෙයි. පාසල්වල ඉගැන්වීම සම්බන්ධවයි.

 

මොන ඉගැන්වීමක් වුවත් කරන්න ඕනෙ ඉගෙන ගන්න අයට තේරෙන භාෂාවකින්. ඔය මව් බසින් උගන්වන්න ඕන කියන එකේ පදනම එයයි. මව් බස කියන එකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එය ගෙදර දොරේ කතා කරන බසක් හරි වෙනත් තේරෙන බසක් හරි වෙන්න ඕනෙ. මේ රටේ නම් සිංහලයන්ට පාසලේ දි උගන්වන්න තියෙන බස සිංහල. අධ්‍යාපන අමාත්‍යාංශය මොනව කිවුවත් කපිලවස්තුවේ උපන් සිදුහත් කුමරු බුදු වෙලා කිවුවෙ ජනපද නිරුක්තියෙන් ධර්මය දේශනා කරන්න කියා. බුදු හාමුදුරුවො අනුශාසනා කළේ නැහැ සංස්කෘතෙන් ධර්මය දේශනා කරන්න. අඩු තරමෙන් මාගධීයෙන් (පාලි කියා හිතමු) ධර්මය දේශනා කරන්න කියා අනුශාසනා කෙළේ නැහැ. අපේ අය නම් පොත් ටික පාලියට පෙරලා ගත්තා.

 

හෝඩියේ නොවෙයි අටේ පන්තියෙ සිසුවකුටවත් ක්වොන්ටම් යාන්ත්‍රිකයෙ සමීකරණ උගන්වන්නෙ නැහැ. අවශ්‍ය නම් ක්වොන්ටම් යාන්ත්‍රිකය, තන්තු ප්‍රවාදය (string theory) , කළු කුහර (black holes) ආදියත් සිංහලෙන් උගන්වන්න පුළුවන්. ක්වොන්ටම් යාන්ත්‍රිකය නම් උගන්වන්න පුළුවන් හොඳම භාෂාව සිංහල වෙන්න පුළුවන්. අතනයි මෙතනයි දෙතැන ම ඉන්න කතා සිංහලෙන් හොඳට කියන්න පුළුවන්.

 

ඒ මොනව වුණත් සිංහල කතා කරන ළමයින්ට මූලික අධ්‍යාපනය ඔවුන්ට නොතේරෙන ඉංගිරිසියකින් ඉගැන්වීමට යෝජනා කිරීම ම තකතීරු වැඩක්. කපිලවස්තුවේ ගෞතම බුදු හාමුදුරුවන් නම් අනුශාසනා කෙළෙ ජනපද නිරුක්තිය යොදා ගන්න කියලා. වත්මන් කිඹුල්වත වෙනස් වෙලා නම් කරන්න තියෙන්නෙ ආපහු බුදු හාමුදුරුවන්ට යන එකයි. 

 

මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැනුම නිර්මාණය එහෙම නැත්නම් සංස්කරණය කිරීමයි. දැනුම සංස්කරණය වෙන්නෙ යම් චින්තනයක් පදනම් කරගෙන යම් සංස්කෘතියක. බටහිර දැනුම, සංකල්පීය ප්‍රවාදාත්මක දැනුම සංස්කරණය වෙන්නෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කර ගෙන. අද ඒ චින්තනයෙහි කප්පිත්තන්ගෙන් විශාල පිරිසක් යුදෙවුවන්.   යුදෙවුවන්ගෙ සංඛ්‍යාව එතරම් විශාල නැහැ. එහෙත් අර කප්පිත්තන් නම් ඉතා විශාල සංඛ්‍යාවක් යුදෙවුවන්. අප විද්‍යාඥයන් හැටියට බොරුවට කෑ ගැහුවත් අපට බටහිර විද්‍යාවෙ සංකල්ප, ප්‍රවාද සංස්කරණය කරන්න බැහැ. අපට පුළුවන් පරිධියෙ සෙල්ලම් කරන්න විතරයි. සමහර විට තාක්‍ෂණික වැඩත් පුළුවන්. පේටන්ට් බලපත්‍ර ගන්නත් පුළුවන්.

 

බටහිර ප්‍රවාදාත්මක දැනුමක් සංස්කරණය කරන්න බැරි අපට පුළුවන් බටහිර නිපදවන දැනුම ඉංගිරිසියෙන් කියවල ඒ නොකියවූ අය ඉදිරියේ තම පඬි බව විදහා දැක්වීම පමණයි. ඒත් තමන් මොණර රැඟුමක් නටමින් පිල් විදහන බව ඔවුන් දන්නේ නැහැ. අර තරුණ සිහින සැබෑ කරන්න නිෂ්පාදනය කරන වැඩ සටහනක් විනිශ්චය කරන්න එන අයකු ඊනියා පශ්චාත්නූතනවාදී වචන ඇද බාන්නේ ඒ සංකල්ප අද පරිහාණියට ගොස් ඇති බව නො දැන.

 

බුදුහාමුදුරුවන් ජනපද නිරුක්තියෙන් ධර්මය දේශනා කිරීමට අනුශාසනා කළත් බුදුදහම ඉංගිරිසියෙන් දේශනා කරන එක තරමක ප්‍රශ්නයක්. ඉංගිරිසිය වඩා හොඳ ව්‍යාපාර ලිපි ලියන්න හා ගිවිසුම් කෙටුම්පත් කරන්න. ඉංගිරිසියෙන් බටහිර විද්‍යාවත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් ක්වොන්ටම් භෞතිකය  ප්‍රකාශ කරන්න බැහැ. ඔවුන් එහි දී අතරමං වීමක් පෙන්නුම් කරනවා. බුදුහාමුදුරුවන් ජනපද නිරුක්තිය ගැන සඳහන් කරන්න ඇත්තේ දකුණු හා අග්නිදිග ආසියාව සම්බන්ධයෙන් පමණක් වෙන්න පුළුවන්.

 

චතුස්කෝටික කතා ඉංගිරිසියෙන් කියන්න බැහැ. එහෙම කියන්න ගියා ම වෙනත් දෙයක් කියන්න වෙනවා. මහාචාර්ය කේ එන් ජයතිලකට එය සිද්ධ වුණා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙන්න සිද්ධ වෙන එක අවස්ථාවක් අපේ දැනුම් ඉංගිරිසියෙන් කීමට යෑමේ දී උදා වෙනවා. 

 

දැනුම සංස්කරණය කිරීමේ දී හිතන්න වෙනවා. හිතන්නේ මොන බසින් ද? දැනුම සංස්කරණයේදී බොහෝ විට හිතෙනවා. ඒ හිතනවා නො වෙයි. හිතෙන්නෙ මොන බසින් ද? හිතනවා හා හිතෙනවා කියන අදහස් ඉංගිරිසියෙන් කියන්න පුළුවන් ද? පොඩ්ඩක් හිතල බලන්න. මොනව ද හිතෙන්නෙ.