දිලිප් කුමාර් හා කළුකුමා
ඉංගිරිසි ඉගෙනීමේ කිසි වරදක් නැහැ. මා කලින් ලිපිවල සඳහන් කරුණු ඉංගිරිසි ඉගැන්වීමට හා ඉගෙනීමට හේතුවෙයි. එහෙත් අවධාරණය කළ යුත්තක් නම් අප රටේ ඉංගිරිසි උගන්වන්නේ ඉංගිරිසින් ආරම්භ කළ නිසා බවත් ඔවුන් අපට ඉංගිරිසි ඉගැන්වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහාත් ඔවුන්ගේ ඇතැම් රැකියාවන්ට මෙරටින් පිරිසක් පුහුණු කිරීම සඳහාත් බවයි. ඉංගිරිසින් මැකෝලිගෙන් පසුව බලාපොරොත්තු වූ ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමේ අරමුණ නම් සාර්ථක වී නැහැ. ඒ ඇතැම් විෂය විශ්වවිද්‍යාලයේ දී ඉංගිරිසියෙන් ඉගැන්වීමෙන් පසුවත්. ඉංගිරිසි ඉගෙන ගත්තත් ඉංගිරිසියෙන් ඉගෙන ගත්තත් ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. එය චින්තනය හා සංස්කෘතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්.
කෙසේ වුවත් අද ලෝකය ගමන් කරන දිශාව අනුව නම්
චීන භාෂාව ඉගෙනීමත් වැදගත් වෙනවා. චීන භාෂාවෙන් වත්මන් දැනුම ලබා ගන්නවාට වඩා
ඉංගිරිසියෙන් ලබා ගන්න පුළුවන්. චීන භාෂාවෙන් අලුත් දැනුමක් ලබා දෙනවාට වඩා තවමත්
ඉංගිරිසියෙන් ලබා දෙන්න පුළුවන්. තව කලක් යන තුරු ගණුදෙනු කෙරෙන්නේ යුවාන්වලට වඩා
ඩොලර්වලින්. ඒත් ගණුදෙනු කිරීමේ භාෂාච චීන වීමට ලොකු ඉඩ කඩක් තියෙනවා.
චීනයට අවශ්‍ය ලෝක වෙළෙඳාම තමන්ට අවශ්‍ය වන
විධියට කිරීමටයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙළෙඳ ආධිපත්‍යයක් ඇති කර ගැනීමට. එය
බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට වඩා වෙනස්. අතීතයේත් චීනුන් උනන්දුවක්
දක්වා ඇත්තේ වෙළෙඳාමට. පැරණි සේද මාර්ගයත් ඒ සඳහා යොදා ගත් එකක්. නව සේද මාර්ගයත්
ඔවුන් ඒ සඳහා යොදා ගනීවි. ඔවුන්ට අවශ්‍ය වනවා ඩොලර් වෙනුවට යුවාන් ආදේශ කිරීමට.
එහෙත් එයට තරමක කාලයක් යාවි. ඒ කෙසේ වෙතත් ඉදිරියේ දී චීන භාෂාව ලෝක වෙළෙඳ භාෂාව
වෙනවා. ව්‍යාපාරිකයන් හා වෙනත් අය චීන බස ඉගෙනීම වැදහත් වේවි. අධ්‍යාපන ඇමතිතුමා ඒ
ගැන සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි.
අපේ රටේ මා හිතන්නේ සෑම පාසලක ම පාහේ අඩු
තරමෙන් තුන්වැනි ශ්‍රේණියේ සිට ඉංගිරිසි ඉගැන්වෙනවා. එහෙත් එය සාර්ථක නැහැ. එය අධ්‍යාපන
මාධ්‍යය සමග සම්බන්ධ නැහැ. සිංහලෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත් සමහරුන්ට හොඳින්
ඉංගිරිසි පුළුවන්. ඈත ගම්වල පාසල්වලින් සිංහලෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් ඇතැම් කාර්යාලවල ඉංගිරිසියෙන් කටයුතු කරනවා.
ඇතැම් ඉංගිරසි පුවත්පතක කතෘ මණ්ඩලයේ එලෙස ගම්වල සිිංහලෙන් අධ්‍යාපනය ලැබූ අය
කටයුතු කරනවා.
ඇතැම් විශ්වවිද්‍යාලයීය පීඨවල ඉගැන්වීමේ මාධ්‍යය
ඉංගිරිසි. මා හිතන්නේ ශාස්ත්‍ර පීඨවල හැරෙන්න අනෙක් පීඨවල අවුරුදු හතරේ හෝ පහේ හෝ
පාඨමාලාවල ඉගැන්වීම කෙරෙන්නේ ඉංගිරිසියෙන්. ඒත් එසේ ඉංගිරිසියෙන් ඉගෙන ගත් පමණින්
ඔවුන්ට ඉංගිරිසි බස හැසිරවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉංගිරිසියෙන් කියවා තේරුම්
ගැනීම, ඉංගිරිසියෙන් ලිවීම හා ඉංගිරිසියෙන් කතා කිරීම
කියන්නේ කුසලතා තුනක්. ඉංගිරිසි ඉගෙනීම හා ඉංගිරිසියෙන් ඉගෙනීම කියන්නේ දෙකක් බව
ඇතැමුනට තේරෙන්නේ නැහැ.
පාසලේ තුන්වැනි ශ්‍රේණියේ සිට ඉංගිරිසි
ඉගැන්නුවත් ඇතැමුනට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමෙන් පසුව ඉංගිරිසි ඉගැන්නුවත්
ඉංගිරිසි බැහැ. එයට හේතු ගණනාවක් තියෙනවා. ඉංගිරිසි දැනුම මෙරට හුදු දැනුමක් නො
වෙයි. සිංහල දන්නා තැනැත්තාට නැති වැදගත්කමක් නැත්නම් තැනක් ඉංගිරිසි දන්නා අයට
සමාජයේ තියෙනවා. ඉංගිරිසියට සමාජයේ ඇත්තේ අධිකාරී බලයක්. අප ඉංගිරිසියට බයයි. එහි
අධිකාරී බලයෙන් අප පීඩාවට පත් කරන්න පුළුවන්. ඉංගිරිසියට කඩුව කියන්නේ ඒ අධිකාරි
බලය සංකේතවත් කිරීමටයි.
ඉංගිරිසිය තවමත් අපේ ස්වාමිවරුන්ගේ භාෂාව.
තවමත් අපට ස්වාමිවරුන් ඉන්නවා. සිංහලයන් තරම් අනුකාරකයන් පිරිසක් ලෝකයේ තවත් නැහැ.
අප ඉංගිරිසි කතා කරන්න, උචචාරණය කරන්න උත්සාහ ගන්නේ ඉංගිරිසින්
කතා කරන විධියට. එහෙත් එංගලන්තයේත් ඒ ඒ කෝරළවල ඉංගිරිසි උච්චාරණය වෙනස්. යෝක්ෂයරය
නැත්නම් යෝක් කෝරළය එයට කදිම උදාහරණයක්. බසයට බුස් කියන කෝරළ එංගලන්තයේ තියෙනවා.
එහෙත් අප ඔන්න බුස් එක එනවා කියා ඊනියා සිංහලෙන්වත් කියන්නේ නැහැ.
අපට අවශ්‍ය ඔක්ස්බ්‍රිජ් උච්චාරණය. ඔක්ස්ෆර්ඩ්
හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සමග සම්බන්ධ යැයි කියන උච්චාරණය. අපට ඕන ඉංගිරිසින්ටත්
වඩා හොඳින් ඔක්ස්බ්‍රිජ් උච්ාරණය. මේ දීනකම අපට ලැබෙන්න ඇත්තේ ඉංගිරිසින්ගෙන්මයි.
එකල සමහරුන් අමාරුවෙන් හරි ඒ උච්චාරණයට හුරු වෙන්න ඇති. ඒ සිංහලයන් ඉංගිරිසි
කතාකරන දෙමළ ජනයාට හිනහවුණා. සාමාන්‍යයෙන් එකලත් ඉංගිරිසි උගත් දෙමළ ජනයා ඉංගිරිසි
උගත් සිිංහලයන් මෙන් ඔක්ස්බ්‍රිජ් උච්චාරණය පසුපස ගියේ නැහැ. සිංහලයන්ගේ ගතියක්
තියෙනවා හරයට වඩා මතුපිට දේට සැලකීම. දෙමළ ජනයාගේ ඉංගිරිසි උච්චාරණය හාස්‍යයට
ලක්කරමින් නාට්‍ය පවා නිපදවා තියෙනවා.
ඉන්දීයයන්ගේ ඉංගිරිසි උච්චාරණයත් ඔවුන්ට අවශ්‍ය
අන්දමට මිස ඉංගිරිසින්ට අවශ්‍ය අන්දමට නො වෙයි. දෙමළ ජනයා හා ඉන්දීයයන් සමහරුන්
ඔක්ස්බ්‍රිජ් උච්චාරණය අනුකරණය නොකරනවා නො වෙයි. එහෙත් ඔවුන් පොදුවේ සිංහල අප මෙන්
ඒ පස්සේ යන්නේ නැහැ. ඉන්දියයන් ආර් ශබ්දය හොඳින් රෝල් කරනවා කියනවා. ඔවුන්ට ඇත්තේ
මදර් ඉන්ඩියා මිස මද ඉන්ඩියා නොවෙයි.
දිලිප් කුමාර් මිස දිලිප් කුමා කෙනකු ඔවුන්ට නැහැ. අපට නම් ඇත්තේ කුමාර්ලා
නොව කුමාලා. කළුකුමාලා ද දන්නෙ නැහැ. සිංහල භාෂාවේ අර උගුරෙන් ශබ්ද කරන ඔ ශබ්දය
නැහැ. අප කොලේජ් හි කො ශබ්ද කරන්නේ කොලේ වහල හි කො කියන ආකාරයට. ඒ විධියට කොලේජ්
කිවුව ම ඇතැමුන් හිනහවෙනවා.
ඉංගිරිසියෙහි ව්‍යවහාරය ද වෙනස්. වාක්‍ය තැනීම
වෙනස්. ක්‍රියා පදය වාක්‍යයෙහි මැද තියෙනවා. මා පාසල් ගියා කියන එක අයි වෙන්ට් ටු
ස්කූල් කියා මිස අයි ස්කූල් වෙන්ට් හරි අයි වෙන්ට් ස්කූල් හරි කියා කියන්නේ නැහැ.
කඩුව අතින් කටින් ගත් අය වැරදි උච්චාරණයට වැරදි ව්‍යාකරණයට හිනහ වෙනවා. අප කැමති
නැහැ අපට කිසිවකු හිනහ වෙනවට. ඉංගිරිසි ඉගෙනීම අත්හරිනවා. අපට ඉංගිරිසි ඉගෙනීම එපා
කරන්නේ බොහෝ විට ඉංගිරිසි දන්නා අය.
අනෙක් අතට ඉංගිරිසි ඉගැන්වීමේ ක්‍රමයේත් මොකක්
හරි වැරැද්දක් තියෙනවා. විශ්වවිිද්‍යාලයට පැමිණීමෙන් පසු විවිධ භාෂා ඉගෙන ගන්නා අය
ඉන්නවා. ඔවුන්ට ඒ ඒ භාෂා කතා කරන්නත් පුළුවන්. ඒත් තුනේ පංතියේ සිට ඉංගිරිසි ඉගෙන
ගත්තත් ඇතැමකුට ඉංගිරිසි බැහැ. අපි තාමත් ඉංගිරිසියට බයයි. ඉංගිරිසියට ගරු කරනවා.
සිංහල වරද්දන්න බය නැහැ. ඒත් ඉංගිරිසි වරද්දන්න බයයි. ඉංගිරිසි ඉගෙන ගන්න මේ බය
නැති කර ගන්න ඕන.