Main Logo

Wednesday 30 June 2021

රොකෆෙලර්ලාගේ හරිත විප්ලවය හා ඊරි

 

රොකෆෙලර්ලාගේ හරිත විප්ලවය හා ඊරි

 

පසුගිය විසිඅටවැනි දා ලිපියෙන් රසායනික පොහොර භාවිතය බටහිර විද්‍යාව හා ධනවාදය අතර ඇති සම්බන්ධය ගැන කෙටි හැඳින්වීමක් කෙරුණා. අද එය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තුවෙනවා. මා මේ ලිපිවල ලියන දේට ජාතිකත්ව කඳවුරේ බොහෝ දෙනා විරුද්ධයි. විශේෂයෙන් ම ගුණදාස අමරසේකර, අශෝක අමරතුංග වැනි "යථාර්ථවාදී" විද්‍යාඥයන් විද්‍යාව වෙනුවෙන් එක් කල්ලියක් හැටියට කටයුතු කරනවා.

 

පසුගිය දා තිස්සමහාරාම වැවේ මඩ සුද්ධ කිරීමේ කාර්යයට ගොස් චීන ජාතිකයන් පිරිසක් මඩ ගා ගත්තා. වැව් පිරිසිදු කිරීම බටහිර තාක්‍ෂණය යොදා ගෙන කරන්න පුළුවන් දෙයක් නො වෙයි. චීනුන් කරන්නේත් බටහිර තාක්‍ෂණය යොදා ගැනීමයි. අපේ පැරණි වැව් තාක්‍ෂණය ගැන දන්නා අය තවමත් ඇති.  අපවත් වී වදාළ මළගනේ අත්ථදස්සි හාමුදුරුවන්ටත් කලකට පෙර අප අතරින් වියෝ වූ අගමැති අයියා හෙවත් නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් මහතාටත් ඒ ගැන යම් අවබෝධයක් තිබුණා. අප වහාම පැරණි වැව් තාක්‍ෂණය ගැන දන්නා අය සොයා ගත යුතුයි. බටහිර ඉංජිනේරුවන්ට වැව් සුද්දකරන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ.

 

මා ඒ කාරණය මතක් කෙළේ තාක්‍ෂණය, දැනුම, ජීවන රටාව චින්තනය ආදිය අතර ඇති සම්බන්ධය ගෙනහැර දැක්වීමටයි. අර වැව් දාහක් ප්‍රතිසංස්කරණය කරනවා යැයි කී ජ වි පෙ ධනදාසලාට යටත්විජිතලාට වුණේ මොකක් ද කියා දන්න අයෙක් ඉන්නවා ද? ඊනියා උගත් ගැමි තරුණයන් දන්නෙත් බටහිර තාක්‍ෂණය මිසක් වැව් තාක්‍ෂණයක් නො වෙයි. ඔවුන්ට වැව් තාක්‍ෂණය කියා දෙන්නෙ කවුද?

 

බටහිර විද්‍යාව හා බටහිර තාක්‍ෂණය ඇති වීමෙන් පසුවයි යුරෝපයේ ධනවාදය ඇති වුණෙ. බටහිර තාක්‍ෂණය නොතිබෙන්නට ධනවාදයක් ඇති නොවන්න තිබුණා. මා කතා කරන්නේ මාක්ස්ගේ සමාජ විකාශය නො වෙයි. එය පුස්සක් බව දැන් පැහැදිලියි. තවමත් එය පුස්සක් බව නොදන්නේ බොරු සමාජවාදයක් ගැන කෑම දිරවා ගැනීමට කතා කරන පුස්සන් පමණයි. කෘෂිකාර්මික සමාජයේ ධනය එකතු වූ තැන් කිහිපයක් තිබුණත් වෙළෙඳාම හා සම්බන්ධ ධනවාදයක් ඇති වුණේ තාක්‍ෂණය නිසා වෙනස් වූ නිෂ්පාදනය නිසයි. බටහිර විද්‍යාව බටහිර තාක්‍ෂණය ධනවාදය ආදිය එකම චින්තනයක් මත පදනම් ව ඇති වූ දේ.

 

බටහිර තාක්‍ෂණයේ වර්ධනයත් සමග ධනවාදීන් ඒ දැනුම කෘෂිකර්මයට ද යොදන්න තීරණය කළා. ඒ ප්‍රධාන වශයෙන් සිදු වුණෙ පනහේ හා හැටේ දශකවල. ඊනියා හරිත විප්ලවය පළමුවෙන් පටන් ගත්තේ මෙක්සිකෝවේ. එයට එක්සත් ජනපද ආණ්ඩුව, එක්සත් ජාතීන්, ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, රොකෆෙලර් පදනම ආධාර කළා. එක්සත් ජනපදවලට අවශ්‍ය වූයේ තම අසල්වැසි මෙක්සිකෝව බටහිර විද්‍යා තාක්‍ෂණ දැනුම මගින් තම ග්‍රහණයට ගැනීම. මෙක්සිකෝවේ හරිත විප්ලවය 1950-70 කාලයේ තිබුණා. එහි ලද අත්දැකීම් සමග හරිත විප්ලවය ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ පැතිරෙව්වා. අපටත් 1965-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව යටතේ හරිත විප්ලවය ගෙනත් දැම්මා.

 

ඒ සමග තමයි ඔය කෘෂිරසායනික පොහොර භාවිතය හඳුන්වා දෙනු ලැබුයේ. එදා ගොවීන් ඒ රට පොහොරවලට විරුද්ධ වුණා. රට පොහොර හඳුන්වා දීමත් ක්‍ෂණික ව ක්‍රියාත්මක කෙළේ. ගොවීන් එයට පුරුදු කරනු ලැබුවා. එදා ගොවීන් අමුඩ ගස්සා කොළඹට ගෙන ඒමට විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ.

 

ඔය අතර තවත් වැදගත් දෙයක් සිදුවුණා. ඒ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය (International Rice Research Institute -IRRI- ඊරි) බිහි කෙරීම. එය පිහිටුවනු ලැබුයේ 1960 දී පිලිපීනයේ. එයට ෆෝඩ් පදනම , රොකෆෙලර් පදනම හා පිලිපීන ආණ්ඩුව ආධාර කළා. පිලිපීන රජය හා එක්සත් ජනපද රජය අතර සම්බන්ධකම් තිබුණා. මේ ආයතනය ආසියාවට වැඩි අස්වැන්නක් ලබා දෙන වී වර්ග නිෂ්පාදනය කළා. ඒත් මේ වී වර්ග නිකම් ලැබුණේ නැහැ. ඒවාට රසායනික පොහොර යොදන්න ඕන වුණා. ඒවට හොඳින් සාත්තු කරන්න ඕන වුණා. ඒ සියල්ල නිෂ්පාදනය කරන්න ඕන. ඒව ලබා ගැනීමට මුදල් වියදම් කරන්න ඕන.

 

ඒ මදිවට රසායනික පොහොර යොදා ගැනීමෙන් භූමියේ ජීවත්වන ගැඩවිලුන් වැනි සතුන් සහ භූමියේ වැඩෙන පැලෑටි නැති වෙනවා. ගොවි බිමක් කියන්නෙ පරිසරයෙන් ඉවත් කළ බිම් කැබැල්ලක් නො වෙයි. ගොවි බිමක විවිධ ජීවීන් සප්‍රාණික මෙන් ම අප්‍රාණික, දකින්න පුළුවන්. එහි යම් සමතුලිතතාවක් තියෙනවා. ගැඩවිලුන් වැනි සතුන් බිම පෙරළීම මගින් ගොවි බිම සරු කරනවා. ඒ පොහොර දැමීමක්. රසායනික පොහොර ඉසීමෙන් අර ජීවීන් නැති වුණා ම ඒ ස්වාභාවික ව ලැබෙන පොහොර ලැබෙන්නේ නැහැ. පස නිසරු වෙනවා. එවිට තව තව රසායනික පොහොර අවශ්‍ය වෙනවා.

 

ගොවීන් ද වඩ වඩා අස්වැන්න ලබා ගැනීමට වඩ වඩා රසායනික පොහොර යොදනවා. ඒ සමග පස තව තවත් නිසරු වෙනවා. එවිට තව තවත රසායනික පොහොර අවශ්‍ය වෙනවා. රොකෆෙලර් පදනම තරවෙනවා. මෙය චක්‍රීය ව සිදුවන්නක්. අද අපේ ගොවීන් මේ චක්‍රයට හසු වෙලා. කැෂිරසායනික ගොවිතැන සඳහා යන වියදම ගණන් බලා තියෙනවා ද? රොකෆෙලර්ලා ඊරි ආයතනය ඇති කෙළෙත් ඊනියා හරිත විප්ලවයක් දියත් කළෙත් අත ලෙව කන්න නො වෙයි. ධනවාදය හා බටහිර දැනුම එකට යන ආකාරය මෙයින් ද පැහැදිලි වෙනවා.

 

මෙයට අමතර ව අද වී වර්ග බීජ සියල්ල ම මෙන් ඊරි ආයතනයේ තැන්පත් කර තිබෙනවා. එමෙන් ම වකුගඩු රෝගය වැනි රෝග ව්‍යාප්තියට ද රසායනික පොහොර බලපානවා. ඒ රෝගීන්ට ප්‍රතිකාර ගන්න වෙන්නෙත් රොකෆෙලර්ලාගෙන්. අප නොදැනීම හැම අතින් ම අපි ධනවැද්දන්ගේ ග්‍රහණයට හසු වෙලා. ධනවැද්දන්ගේ නියෝජිතයන් බටහිර වෙද මහතුන් අතර මෙන් ම බටහිර දත් දොස්තරලා අතරත් ඊනියා කෘෂි විශේෂඥයන් අතරත් දකින්න පුළුවන්. ඔවුන් සමහරුන් ධනවාදයට විරුද්ධ අය ලෙසත් ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් ඊනියා සමාජවාදයක නාමයෙන් සේවය කරන්නේ ධනවාදයට.

 

මේ චක්‍රය කොතනින් හරි ඉක්මනින් කඩන්න ඕන.