Main Logo

Saturday, 5 June 2021

පාදඩ ධනවත්තු

 

පාදඩ ධනවත්තු

 

මාක්ස්වාදී සාහිත්‍යයෙහි ලංකාවේ කියැවෙන ආකාරයට සංකල්පයක් වන්නේ ලුම්පන් ප්‍රොලිටේරියට් යන්නයි. එය සාමාන්‍යයෙන් පාදඩ කම්කරු පංතිය ලෙස පරිවර්තනය කෙරෙනවා. රනිල්දාසලාට හා කෙකරගාමීන්ට නම් එය පාදඩ නිර්ධන පංතිය විය හැකීයි. මෙහි පාදඩ යන්නට පහත් නැත්නම් අසංවිධිත යන ආකාරයෙන් තේරුම් දෙන්න පුළුවන්. මාක්ස්වාදී සමාජවාදීන් විසින් සංවිධානය කෙරෙන කම්කරුවන් සහ වෙනත් කම්කරුවන් ඉන්නවා. එදිනෙදා කුලියක් කරගෙන ඉන්න ආයතනයක රැකියාවක් නොකරන කම්කරුවන් ඉන්නවා. ඔවුන් සංවිධානය කෙරී නැහැ. ඔවුන් පාදඩ ද කියා මා දන්නේ නැහැ.

 

එහෙත් මෙරට තබා ලොවේ කොහේවත් පාදඩ තියා සංවිධිත කම්කරු පංතියක්වත් නැහැ. කම්කරුවන් හිටියට කම්කරු පංතියක් නැහැ. කම්කරු පංතියක් නැති වුවත් පාදඩ නිර්ධනයන් සමහර විට රනිල්දාසලා හා කෙකරගාමීන් සමග ඇති. ඒ කුමක් වුවත් අද මෙරට සමාජය පාදඩ සමාජයක් බවට පත්වෙලා. ඔය තරම් අත්‍යවශ්‍ය සේවවාවන් තිබීමෙන් මෙන් ම පෙන්වන්නේ සමාජයේ පාදඩකරණයයි.

 

මෙරට කාර්මික නිෂ්පාදනයෙහි යෙදුණු ධනපතියන් ඇති වුණේ නැහැ. ගම්පෙරළියෙහි පියල් කොග්ගල සිට කොළඹ ආවේ සේවවාවන් සැපයීමටයි. මට මතක හැටියට හෝටලයකට යම් යම් ද්‍රව්‍ය සැපයීම ඔහුගේ කාර්යය වුණා. ඉංගිරිසින්ටත් අවශ්‍ය වූයේ වැවිලි ආර්ථිකයක් ඇති කිරීමයි. ඒ කාර්මික නිෂ්පාදන නොවෙයි. වැවිලිවලට අමතර ව පතල් කැණීම් කෙරුණා. ඒ හැරෙන්න අරක්කු පෙරුවා. ඒ සමග රේන්දය ගත් අය ඇති වුණා. කොළඹ වරාය මිළ දී ගැනීම හා විකිණීමේ (බයින් ඇන්ඩ් සෙලින්) හදවත වුණා. එහි වැඩ කළ කම්කරුවන් අතින් කාර්මික නිෂ්පාදනයක් වුණෙ නැහැ. එහෙත් මෙරට මාක්ස්වාදීන් විප්ලව කරන්න බැලුවේ වරාය කම්කරුවන් හා වතු කම්කරුවන් අල්ලා ගෙන. ඉස්සර නම් බස් සමාගම් සේවකයන් ද අල්ල ගෙන. බස් ජනසතු කළාට පස්සෙ ටික කලකින් විප්ලවය බස් ගැමුණු අතට ගියා.

 

ලෙනින්ටත් කාර්මික කම්කරුවන් හිටියේ නැහැ. කාර්මික කම්කරුවන් හිටිය බටහිර රටවල විප්ලව ඇතිවුණෙත් නැහැ. අද ලෙනින්වත් මාඕවත් කස්ත්‍රෝවත් නැහැ. මා හිතන විධියට මාක්ස්වාදය තරම් බංකොළොත් ප්‍රවාදයක් ලෝකයේ බිහි වී නැහැ. අද වමක් නැහැ. වමාලත් නැති වේගන යනවා. ඒත් සමහරුන් තමන් මාක්ස්වාදීන් කියා ගනිමින් ස්වයං වින්දනයක යෙදෙනවා. පැරණි මාක්ස්වාදීන් ගැන කම්කරුවන් හා රට ම දැන හිටියා. අද ඉන්න මාක්ස්වාදීන් ගැන ඔවුන්ගෙ ගෙවල්වල අයවත් දන්නෙ නැහැ.

 

මට කියන්න ඕන වුණෙ එක්තරා ආකාරයකට මෙරට ඇති වුණෙ පාදඩ ධනපතියන් පිරිසක් බව. මාක්ස්වාදයේ පාදඩ ධනපති පංතියක් ගැන කියැවෙන්නේ නැහැ. පංතිය කොහොම වෙතත් මෙරට බොහොමයක් ඉන්නේ පාදඩ ධනපතියන්. ඔවුන් සේවා සපයනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය පමණක් නොව මකේක්‍ෂ මූල්‍ය ආයතන වූ බැංකු ද කරන්නේ සේවා සැපයීමක්. ඔවුන් කරන්නේ අවශ්‍ය මූල්‍ය සම්පත් සැපයීම. ඒ මූල්‍ය සම්පත් ලබා ගෙන කාර්මික නිෂ්පාදන ආරම්භ කරන්නන් විරලයි. ඔවුන් වරාය හරහා මිළ දී ගැනීම් හා විකිණීම් කරනවා. රථවාහන ගෙන්වා විකුණන ධනපතියන් හා මහරගම නිමි ඇඳුම් වෙළඳම් කරන්නන් අතර සංකල්පීය වෙනසක් නැහැ.  සේවා සැපයීම් සූදු කෙළීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙනත් සැපයීමක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ ධනපතියන් දේශපාලනඥයන් සමග ඩීල් දානවා. ඩීල් දේශපාලනය හා පාදඩ ධනපතියන් එකට බැඳිලා.

 

අද තවත් පාදඩ ධනවතුන් පිරිසක් ඇති වෙලා. මේ ධනවතුන් කරන්නෙත් එක්තරා ආකාරයකට සේවා සැපයීමක් ඒ සේවාව රූප ලාවන්‍යය වෙන්න පුළුවන්, උපකාරක පංති පැවැත්වීම වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ජනමාධ්‍ය ආශ්‍රිත වෙන්න පුළුවන්, අපි වින්දන සේවාව කියමු. වෙනත් සේවවාවක් වෙන්න පුළුවන්.  සමහරුන්ට අර වින්දනය වදයක් වෙන්නත් පුළුවන්. ඒත් වින්දනය එසේ නොවන විශාල පිරිසක් මේ පාදඩ සමාජයේ ඉන්නවා. ඔවුන්ට ඒ වින්දනය අත්‍යවශ්‍ය සේවයක්.

 

පියල්ගේ මව අමාරුවෙන් ජීවත් වූ අයෙක්. ලංකාවේ පාදඩ ධනපතියන්ගේ දෙමව්පියන් බොහෝ විට ආච්චිලා සීයලා ගම්වල සාමාන්‍ය මිනිසුන්. ඒ පාදඩ ධනපතියන්ගේ ආරම්භය. පාදඩ ධනපතියන් ඉංගිරිසින් සමග සම්බන්ධකම් ඇති කරගෙන ඔවුන්ගේ යටත්විජිත ආර්ථිකයට යම් ආකාරයකින් ඇමුණුනු අය. දැන් ඉන්න පාදඩ ධනවතුන් දශක තුන හතරක කාලයක ඇති වූ අය. ඊනියා විවෘත ආර්ථිකයෙන් පසු බිහි වූ අය.  අද රටේ රූප ලාවන්‍ය කරන තැනක් ඊනියා සැලොනයක් නැති නගරයක් නොවෙයි ගමක් හොයා ගන්න පුළුවන් ද?

 

පාදඩ ධනපතියන්ට යම් කම්කරුවන් පිරිසක් අවශ්‍යයි. අවශ්‍ය නම් සේවකයන් කියමු. එහෙත් පාදඩ ධනවතුන්ට එවැනි සේවකයන් පිරිසක් අවශ්‍ය නැහැ. රූප ලාවන්‍යය විකුණන්න හරි කලාව විකුණන්න හරි උපකාරක පංතියක් කරගෙන යන්න හරි අඩ හෙළුවෙන් දුවන්න හරි එතරම් සේවකයන් අවශ්‍ය නැහැ. පාදඩ ධනවතුන්ගේ පැටිකිරිය හෙව්වොත් පේන කාරණය තමයි ඔවුන් බොහෝ විට පාදඩ ධනපතියන්ටත් වඩා අමාරු පසුබිමකින් මතු වූ අය බව. සමහරු සිංහල සමාජයට අවශෝෂණය වෙලත් එතරම් කාලයක් නැහැ. පාදඩ ධනපතියන්ට වඩා පාදඩ ධනවතුන් සමාජයේ  නමක් ඇති කරගෙන තියෙනවා. පාදඩ ධනවතුන් ගැන සමාජය දන්නවා. ඒ නිසා ඔවුන් තරු හෝටලයක උපන්දින උත්සවයක් පැවැත්තුවත් ප්‍රසිද්ධිය ලැබෙනවා. මා කියන්නේ නැහැ විසාලා මහා නුවර මොන මගුල්  ද කියල. උපන් දිනය පැන්නොත් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. එන අවුරුද්දෙත් කොවිඩ් තිබුණොත් වයිරසයේ වෙනත් විකෘතියක් ආවොත්. වෙනත් ප්‍රභේදයක් ඇති වුණෙත්. 

 

මේ පාදඩ ධනවතුන් ද කසිකබල් මාක්ස්වාදයට අහුවෙන්නෙ නැහැ. ඔවුන් ළඟ එතරම් සේවකයන් නැහැ. ඒත් පදඩ ධනවතුන්ටත් දේශපාලන සම්බන්ධකම් තියෙනවා. ඒ තමයි මෙරට පාදඩ දේශපාලනය. සමාජය ම පාදඩ වෙලා තියෙන විට පාදඩ ධනවතුන් ගැන විතරක් කතා කරන්නෙ ඇයි ද කියල දැන ගන්න ම ඕන නම් ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න.