Main Logo

Monday 12 June 2023

රනිල් පොහොට්ටුව හා විපරිත තත්වය

 

රනිල් පොහොට්ටුව හා විපරිත තත්වය

 

රනිල් ජයගත් පාර්ලිමේන්තු මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි නැහැ. 2001 දීත් ඔහු ජයගත්තා නොව චන්ද්‍රිකා පරාජය වුනා. 2015 දීත් සිදු වූයේ රාජපක්‍ෂලාගේ පරාජයක්. අවස්ථා දෙකේ දීම ජනාධිපති සිටියේ වෙනත් පක්‍ෂවල අය. ඔහුගේ අගමැති පදවි අසාර්ථකයි. ඔහු දෙවැනි වර ඊනියා යහපාලන කාලයේ දී කළේ ඉතා වැඩි පොලියට ඩොලර් බිලියන ගණනක් ණයට ගැනීමයි. මෙවරත් ඔහු වැඩි පොලියට ඩොලර් මිලියන පන්සීයක් පමණ ණයට ගෙන ඇතැයි පැවසෙනවා. ඔහු අගමැති සිටි අවස්ථා දෙකේ දීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජා පැරදුණා. ඔහු පරාජිතයකු බව දන්නා නිසාමයි බොහෝ ජා පාක්‍ෂිකයන් ඔහු අත්හැර ගොස්  2020 දී සජිත් ප්‍රේමදාස තම නායකයා ලෙස තෝරා ගත්තේ. 2019 දීත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කෙරුණේත් සජිත්. එහෙත් සජිත් පරාජිතයෙක් පමණයි. අද සමගි ජන බලවේගයට නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. ජාතිකත්වයටත් කලකට පසු නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. වමක් නැති නිසා වමට නායකත්ව ප්‍රශ්නයක් නැහැ.

 

කාට හරි කියන්න පුළුවන් ලංකාවේ පක්‍ෂයක් මැතිවරණයකින් ජයගන්නවාට වඩා පක්‍ෂයක් පරාජය වීමෙන් අනෙක් පක්‍ෂය ජය ගෙන ඇති බව. එහෙත් එසේ නොවන අවස්ථා කිහිපයක් තියෙනවා. 1956, 2010 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය, 2019 ජනාධිපතිවරණය, 2020 පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථා ලෙස හඳුනගන්න පුළුවන්. 1956 බණ්ඩාරනායක, 2010 මහින්ද රාජපක්‍ෂ, 2019 ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රාහකයන්. මේ ජයගත් අවස්ථාවල දී පැහැදිලිව ජාතිකත්වය ඉස්මතු වුනා. 1970 බණ්ඩාරනායක මැතිණියගේ ජයග්‍රහණයේදීත් ජාතිකත්වය ඉස්මතු වුනා. එහෙත් කාට හරි තර්කයක් ගේන්න පුළුවන් එය ජා ආණ්ඩුවේ පරාජයක් කියලත්.

 

1952 මින්නේරිය අතුරු මැතිවරණයෙන් පසු ජාතිකත්වයට දේශපාලන පක්‍ෂයක් ලැබුණා. එයට කලින් විසිවැනි සියවසේ මුල අනගාරික ධර්මපාලතුමාගේ ජාතිකත්ව නායකත්වයක් තිබුණට බලය ලබා ගැනීම සඳහා වූ දේශපාලනයක් තිබුණේ නැහැ. කොහොමටත් එකල දේශපාලන පක්‍ෂ හරි සර්වජන ඡන්ද බලය හරි තිබුණෙත් නැහැ. 1952න් පසු මෙරට පාර්ලිමේන්තු දේශපාලනයේ ගාමක බලවේගය ජාතිකත්වයයි. ජාතිකත්වයට ශක්තිමත් නායකත්වයක් ලැබුණු විට ජයග්‍රහණය සහතික වුනා. 1952න් පසු වම ක්‍රමයෙන් පරිහානියට පත් වුනා. අද වමාලා මෙටාවට හා මොටාවට (විශ්වවිද්‍යාලවලට) පමණක් කොටු වී තියෙනවා.  

 

රනිල් කිසිම ජාතිකත්වයක් ඇති අයෙකු නො වෙයි.  ඔහූ මෙවර බලයට පත් කෙරුණේ ඉන්දියාවේ ආධාරයෙන් බටහිරයන් විසින්. එය මුළුමනින් බටහිර සැලැස්මක්. ජාතිකත්වයේ ජයග්‍රහණවලින් පරාජයට පත් වී සිටි එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය තිබුණා. ඔවුන් දෙමළ විසිරුණු ජනයා ආධාර කර ගනිමින් පරගලයක් සැලසුම් කළා. එයට ඇතැම් අරාබි රටවලුත් උදවු කළා. එය සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපෘතියක්. සඳහා බටහිරයන්ට සුදුසු දේශපාලනඥයා වුනේ රනිල්.

 

ගෝඨාභය දරුවන් සන්දා ගත යුතු ඇතැම් පියවර ගත්තේ නැහැ. ඔහු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට තැත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී හමුදාවත් ඔහුට නැති වුනා. පරගලය මැඩලිය හැකි තිබුණේ හමුදාව මැදිහත් කිරීමෙන් හරි පරගලයේ අවශ්‍යතාව ඉටු කිරීමෙන් හරි. මහින්ද ඉවත් කිරීමෙන් පසු අගමැති ධුරය භාර ගැනීමට හිටි හොඳ තැනැත්තා වූයේ පරගලයේ අවශ්‍යතාව වූ රනිල්. ගෝඨාභය පරගලය මැඩලීමට හමුදාව වෙනුවට රනිල් තෝරා ගත්තා. එහෙත් ඔහු ඊළඟ පියවර ගත්තේ නැහැ. ඔහු පසුව රනිල් ඉක්මණින්ම ඉවත් කරලිය යුතුව තිබුණා.

 

ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රනිල් වැඩබලන ජනාධිපති ලෙස පත්වුනේ බටහිර හා ඉන්දීය අපේක්‍ෂා මුදුන්පත් කරමින්. එහෙත් ඔහු වැඩබලන ජනාධිපති පමණයි. පාර්ලිමේන්තුව ඔහු ජනාධිපති ලෙස පත්කර ගත යුතුව තිබුණා. පොහොට්ටුව තීරණයක් ගත්තා රනිල් ජනාධිපති කිරීමට. පවිත්‍රා වන්නිආරච්චි බව ප්‍රසිද්ධියේ කියා තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇතිවෙනවා. පොහොට්ටුව එවැනි තීරණයක් ගන්නේ කිනම් අරමුණු ඉටු කර ගැනීමට ?

 

ඔවුන් ප්‍රසිද්ධියේ කියා නැති වුනත් ඔවුන්ට අවශ්‍ය වූයේ රනිල් ලවා තම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට මිස රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ දීමට නො වෙයි. එහෙත් රනිල් ක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්නේ තම ප්‍රතිපත්ති. එනම් පරාජිත ප්‍රතිපත්ති. මෙය විපරිත තත්වයක්. මගේ ජ්‍යොතිෂවේදී මිතුරකු කියන්නේ රනිල්ට විපරිත රාජ යෝගයක් ඇති බව. එහි අරුත කුමක් කියා මා දන්නේ නැහැ. එහෙත් අද ඇත්තේ විපරිත තත්වයක්.

 

පොහොට්ටුවේ පිහිටෙන් බලයට පත් කෙරුණු රනිල් (බටහිර සැලැස්ම අනුව) අද පොහොට්ටුවෙන් (ගෝඨාභය) පත් කෙරුණු ආණ්ඩුකාරවරු අස් කර සඳහා තම හිතවතුන් පත් කරනවා. පහුගිය කාලයේ පත් කෙරුණු රාජ්‍ය නිලධාරීන් අස්කර හරි ඉල්ලා අස්වෙන තැනට පත්කර හරි තමන්ට අවශ්‍ය අය පත් කරනවා. පොහොට්ටුවට අවශ්‍ය පරිදි ඇමතිකම් දෙන්නේ නැහැ. උතුරු හා නැගෙනහිර පළාත්වල පොහොට්ටුවේ ප්‍රතිපත්ති නොව ඡන්දදායකයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරුණු දෙමළ ජාතිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

 

ඔහුට ජාමුලෙන් ලැබුණු සොච්චම හැරෙන්න ණය ලබා ගන්න වෙන්නෙ ඉහළ පොලියකට. අප ණය  නොගෙවන තෙක් හොඳයි. අද කවුරුන්වත් විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් දෙන්නේ නැහැ බැංකු මගින් මුදල් නොඑවන ලෙස. අද රුපියල ශක්තිමත් වන්නේ හේතු මිස රනිල් අපනයන වැඩි කිරීමෙන් නො වෙයි. අපනයන කොහොම වෙතත් ජාමුලෙ අවශ්‍යතාව උඩ ආනයන සීමා නම් ඉවත් කරනවා.

 

මේ විපරිත තත්වය හරහා සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත්වය නෑති කෙරෙනවා. අද ඇති විපරිත තත්වයේ බිරිතානි ඇමරිකානු තානාපති නිලධාරීන් දළදා වඳින්න අටමස්ථාන වඳින්න යනවා. ඔවුන් බෞද්ධයන් වී නො වෙයි. අද බෝන් අගේන් මතු වෙලා. ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ දිගුවක් කියා අහන්න වෙනවා. එහෙත් රනිල් සමහර විට යම් හේතු නිසා එයට අකමැති වෙන්න පුළුවන්. අද ඇතැමුන් අහනවා ආගම ප්‍රචාරය කිරීම වරදක් බුදුහාමුදුරුවන් කෙළේ එය නො වෙද කියා. බුදුහාමුදුරුවන් ආගමක් ප්‍රචාරය කෙළේ නැහැ. බුද්ධාගම හෙවත් බූඩිසම් යන්න බටහිරයන්ගේ නිර්මාණයක්. බුදුදහම ආගමක්වත් දර්ශනයක්වත් නොවෙයි. සමහරුනට අවශ්‍ය ඇති බුදුහාමුදුරුවන් සොක්‍රටීස් කෙනකු කරන්න.  බුදුහාමුදුරුවන් චරත භික්ඛවෙ කියා දේශනා කර ඇති බව සැබෑව. එහෙත් භික්‍ෂූන් වහන්සේ සමග අවිගත් භටයන් හරි කහවණු පොදි රැගත් පුද්ගලයන් හරි ගියේ නැහැ.

 

අද ඇති වී තිබෙන විපරිත තත්වයෙන් මිදීමට පොහොට්ටුව කරන්නේ කුමක් ? රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරීය කියන බයෙන් පසුවෙනවා ? අද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන කරන්නේ සැමරීම් පමණයි. අද වමාලා කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම හරි රනිල් තවත් රාජපක්‍ෂ කෙනකු එහෙම නැත්නම් රාජපක්‍ෂලාගේ රුකඩයක් බව කියමින් පඬිනැටි කතා කියන එක පමණයි. රනිල් පොහොට්ටුවේ රූකඩයක් වුනා නම් ඇමතිවරුන් ආණ්ඩුකාරවරුන් වන්නේ කවුද? වමාලා හැමදාමත් තම කසිකබල් පංති විග්‍රහයට ගොස් වරද්දා ගන්නවා. එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ගේ කසිකබල් පංති විග්‍රහයට ජාතිකත්වය හසුවන්නේ නැහැ.  මෙටාවෙන් හා මොටාවෙන් පිට ඔවුන් ගැන දන්නා අය විරලයි. මොටාවත් දැන් සෙප්පන්ගෙන් ජෙප්පන් වෙත හැරෙන්න ඉඩ තියෙනවා. ජෙප්පන් දැන් වම අත්හැරලා.