Main Logo

Friday 23 June 2023

මෝදි මගින් වෙල්ලාලයන් වෙත

 

මෝදි මගින් වෙල්ලාලයන් වෙත

 

මෝදිගේ ඇමරිකානු සංචාරය අදින් අවසන් වෙනවා. ඔහූ ඇමරිකාවේ දි යෝග අභ්‍යාසවල යෙදුණා. ධන කුවේරයකු වූ මස්ක් මුණ ගැහුණා. බයිඩන් ගෙ එළවළු පමණක් තිබූ රාජ්‍ය භෝජන වැළඳුවා. කොංග්‍රසය ඇමතුවා. මදිවට ධවල මන්දිරයේ දි මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්තුවා. ඉන්දියාවෙ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙ නැති මෝදි ජර්මනියට ගිය වෙලාවෙ මාධ්‍ය සාකච්ඡා නොපැවැත් වූ මෝදි ධවල මන්දිරයෙ දි සාම්ප්‍රදායනුකූල මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒත් එය ප්‍රශ්න කිහිපයකට පමණක් සීමා වුනා කියලයි කියන්නෙ.

 

සාකච්ඡාවෙ දි මෝදි කියලා තියෙනවා ඉන්දීය රජය ජනකොටස් සම්බන්ධයෙන් කිසිම ආකාරයක වෙනස්කමක් නොකරන බව. බයිඩ්න් මොකුත් කියල නැහැ. ඉන්දියාවෙ මාධ්‍යවේදීන් තුන් හතර දෙනකු අවුරූදු පතා ඝාතනය කෙරෙනවා කියනවා. මෝදි කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නහරවල ගමන් කරනවා කියලා. මොන තරම් දෙයක් ? මා ගැන ප්‍රශ්න කරනවා නො වෙයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කොයි රටෙත් ක්‍රියාත්මක වෙන්නෙ නහරවල මිසක් නගරවල නො වෙයි. 

 

ඒකට ලංකාවෙ උගතුන්. ජනවාර්ගික ප්‍රශ්න ගැන මානව අයිතිවාසිකම් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන තමයි පඬි නැට්ටන්ගෙ හා ඇතැම් ජඩමාධ්‍යවේදීන්ගෙ එක කතාව. එයට හේතුවක් තියෙනවා. තමයි ලංකාව බටහිරයන්ට වැඩක් නැති වුණත් සංස්කෘතික තර්ජනයක් වූ සිංහල බෞද්ධ රටක් වීම. මට කතා කරන්න ඕන ඉන්දියාව හා මෝදි ගැන නො වෙයි. එහෙත් ඉන්දියාවට වඩා සංස්කෘතික සහනශීලී ලංකාවේ ඇති ප්‍රශ්නය කුමක් යන්නත් එය බටහිරයන් යොදා ගන්නා ආකාරයත්. මෙහි දී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රධාන රට එංගලන්තය බව අවධාරණය කරන්න ඕන.

 

මෙරට ඇති ප්‍රශ්නය වෙල්ලාලයන් අනෙක් දෙමළ කතා කරන ජනයාට ඉතා අමානුෂික සැලකීමත් අතර බටහිරයන්ගේත් ආධාරයෙන් දෙමළ කතා කරන ජනයාට එසේ සිදුවන අමානුෂික සැලකීම සිංහල බෞද්ධයන් නිසා සිංහල බෞද්ධ ආණ්ඩුව නිසාත් සිදුවන බව පවසමින් තමන් කොළඹ පදිංචි වී සිටිමින් උතුරු පළාතේ දේශපාලන බලයක් පවත්වාගෙන යෑම. තමන්ට මුළු ලංකාවේ පවත්ව ගෙන යන්න බැරි වුණු පාලනය උතුරු පළාතේ පවත්වා ගෙන යෑම. ඉන්දියාවත් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙල්ලාලයන් මගින් තම ආධිපත්‍යය පවත්වාගෙන යෑමට ඊනියා අසාධාරණකම් ගැන දොඩවන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදයට නහරවල දුවන්න සලස්සමින්. අප චීනය සමග සතුරු පිළිවෙතකට ගියොත් මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය එක රැයෙන් නැති වෙනවා.

 

එහෙත් අප එසේ කළ යුතු නැහැ. අප කළ යුතු වන්නේ උතුරු පළාතේ වෙල්ලාලයන්ගේ ආධිපත්‍යයට හා ඇතැම් අරාබි රටවල ආධාරයෙන් මෑතක සිට කරළියට පැමිණ ඇති විශේෂයෙන් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන වහාබ්වාදී ආධිපත්‍යයට විරුද්ධ ක්‍රියා කරමින් වෙල්ලාල නොවන දෙමළ කතා කරන ජනයාත් වහාබ්වාදී නොවන සුෆී සහ වෙනත් මුස්ලිම් ජනයාත් අදාළ ආධිපත්‍යයන්ගෙන් මුදා ගැනීමට කටයුතු කිරීමයි.

 

මා සම්බන්ධයෙන් ප්‍රායෝගික කර ඇති කාර්යය කුමක් යන්න වැදගත් නැහැ. මා පිළිගන්නවා අඩු තරමෙන් සිංහල ජනයා අතරවත් ප්‍රායෝගික දේශපාලනයක නොයෙදෙන බව. ජනයා සමග කරන ප්‍රායෝගික දේශපාලනය වැදගත් නමුත් මට කරන්න බැහැ. මගේ දුර්වලතාවක් වෙන්න පුළුවන්. පැත්තකින් තියන්න. මා කුරුන්දිය ගැන කතා කළත් කුරුන්දියේ හතර මායිමට ගිහින් නැහැ. මා සාන්ත බෝධි හිමියන් දැක නැහැ. උන්වහන්සේ සමග කතා කර නැහැ. එහෙත් මගේ බලාපොරොත්තුවක් නම් තියෙනවා වැඩි කල් නොගොස් අර බාරය ඔප්පු කරන්න කුරුන්දි යන්න.

 

පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන්. ආර්ය චක්‍රවර්තිලා රජ කෙළේ දෙමළ රාජ්‍යයක බවට සාධක නැහැ. තියෙනවා නම් ගෙන හැර දක්වන්න. ආර්ය චක්‍රවර්තිලා ද්‍රවිඩ වෙන්නෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ඔවුන් මොන ද්‍රවිඩ වුනත් යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබුණා කියන්නෙ කොහොමද?  චෝලයන් කලක් මෙරට ඇතැම් පෙදෙස් පාලනය කළා. එහෙත් මෙරට චෝල රාජ්‍යයක් තිබුණේ නැහැ. පෘතුගීසින් හා ලන්දේසීන් රටේ ඇතැම් පෙදෙස් පාලනය කළා. එහෙත් පෘතුගීසි හරි ලන්දේසි හරි රාජ්‍ය තිබුණෙ නැහැ. ඉංගිරිසින් මුළු රට පාලනය කළා. කවුරු හරි ප්‍රබුද්ධ ඉතිහාසඥයකු කියනවා මෙරට ඉංගිරිසි රාජ්‍යයක් තිබුණා කියා.

 

ලන්දේසින් යටතේ තමයි මෙරටට වෙල්ලාලයන් ගෙනාවෙ. ඊට කලින් වෙල්ලාල කිහිප දෙනකු ඉන්න ඇති. මේ වෙල්ලාලයන් ලන්දේසින්ගෙ අනුග්‍රහය යටතෙ අර සිංහල මිනිසුන් දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කරලා ඔවුන් ඊනියා අඩු කුල ජනයා බවට පත් කළා. ඇතැම් දෙමළ අඩු කුල කියන නායකයන් කියන්නෙ තමන් වහලුන් බවට පත් කළා කියලයි. අපට මතකයි සී සුන්දරලිංගම් ජනයා කෝවිලකට ඇතුල් වීමට විරුද්ධ සත්‍යග්‍රහයක් පවත්තපු ආකාරය. සත්‍යග්‍රහය කියන්නෙ සත්‍යය අල්ලා ගැනීම. ඔහු අල්ල ගත්ත සත්‍යය තමයි හින්දු ජන සමාජයේ ඇති කුල භේදය හා කුල පීඩනය දිගට පවත්වා ගෙන යා යුතු කියන එක. ඔය වෙල්ලාලයන් දුම්කොළ වගාවට ගෙනා අය. ඔවුන් අස්වැන්න නෙළා ගත්තට පස්සෙ තම නිජ භූමිය වූ දකුණු ඉන්දියාවට ගියා. නවත්තන්න තමයි තේසවලාමේ නීතිය දාල ඔවුන්ට ඉඩම් හිමි කරල අර දෙමළ සංස්කෘතියට අවශෝෂණය වු ජනයාට ඉඩම් නැති කෙළෙ.

 

සිද්ධ වෙලා තියෙන්නෙ අවුරුදු දහස් ගණනක් යාපනයෙ පදිංචි වෙලා හිටපු මිනිසුන් අවුරුදු හාරසීයකට පමණ පෙර ලන්දේසින් ගෙනා වෙල්ලාලයන් විසින් වහල් සේවයකට පත් කෙරී ඉඩම් නැති කිරීම. අසාධාරණකම් සිංහල ආණ්ඩුවක් පිටින් යැවීම තමයි වෙල්ලාලයන් කරන්නෙ. ප්‍රභාකරන්ට යම් ප්‍රමාණයකට වෙල්ලාල විරෝධයක් තිබුණත් ඔවුන් තුළ ඇති කෙරී තිබූ සිංහල විරෝධය ඉස්මතු වුණා. අද කළ යුත්තේ මේ වෙල්ලාල අමානුෂිකත්වය නැති කිරීමයි.  

 

අඩු කුල කියන ජනයා වෙල්ලාල කුල පීඩනයට විරුද්ධ වුණත් දෙමළ හින්දු විරෝධයක් නැහැ. සමහර විට ඔවුන් ඊනියා උගතුන් නොවන  නිසා ? සිංහල සමාජයේ නම් හොස්ස ළඟින් මැස්සා ගියත් අධ්‍යාපනය විසින් බිහි කෙරී ඇති උගතුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ මැස්සකු ගියා යැයි කියා පරළ වෙනවා.

 

අද අවශ්‍ය දෙමළ කතා කරන සාමාන්‍ය ජනයා හා සාමාන්‍ය සිංහල ජනයා මිශ්‍ර වීමට අවස්ථා සැලසීම. වෙල්ලාලයන් එසේ මිශ්‍ර වීමට අවහිර කරන බවත් දැන ගැනීමට තිබෙනවා. ඊනියා දියුණුවක් සඳහා නුණත් කොළඹ දඹුල්ල යා කරන අධිවේගි මාර්ගයක් හා දඹුල්ල සිට යාපනය ත්‍රිකුණාමලය මඩකලපුව යාකරන මාර්ගත් අවශ්‍ය වෙනවා.  දුම්රිය සේවයත් වර්ධනය කරන්න ඕන.