Main Logo

Thursday 8 June 2023

මෝඩාභිමාන නිෂ්පාදකයෝ

 

මෝඩාභිමාන නිෂ්පාදකයෝ

 

හිටිවන විහිළු හිටිවන කවිවලින් වෙනස් වන්නේ විහිළු ලියන්නා හා කියන්නා බොහෝ විට දෙදෙනකු වීම නිසා. මෝඩාභිමාන විහිළුව කියූ තැනැත්තියට වඩා ලියූ තැනැත්තා හරි තැනැත්තා හරි තමයි ප්‍රධාන වන්නේ. කවුද කියන්න මා දන්නේ නැහැ. එහෙත් කියූ තැනැත්තිය අත්අඩංගුවට ගැනීමත් ලියූ තැනැත්තා හෝ තැනැත්තිය හෝ අත්අඩංගුවට නොගැනීමත් කාගේ විහිළුවක් කියා මා දන්නේ නැහැ. ඇස් රතු කරන විහිළුවක් බවට පත්වී ඇති මෝඩාභිමානය පිටුපස තවත් අය ඇති. පඬිනැට්ටකු කියන්න පුළුවන් මට අවශ්‍ය සියල්ල අත්අඩංගුවට ගැනීමට කියා. නැහැ මට අවශ්‍ය මේ මෝඩාභිමානය, පරගලය, බුද්ධිමත් බව, විද්‍යාත්මක චින්තනය, තර්කනය ආදිය අතර ඇති සම්බන්ධය දැන ගැනීමටයි.

 

මා ඔය නළු නිළියන් නිෂ්පාදකයන් විහිළු ලියන්නන් ආදී කිසිවකු තරම් බුද්ධිමත් නැහැ. මා නිතර කියන කරුණක් නම් මට විද්‍යාඥයකු වීමට නොහැකි වූ බවයි. මට විද්‍යාත්මක චින්තනය නැති බව මා දන්නවා. මට තර්කනය ගැන විශ්වාසයක් නැහැ. තාර්කනික යන්න පාරිභාෂික වචනයක්. ඉංගිරිසි රැෂනල්  (rational) යන්නට දී ඇති වචනයක්. මා අසා ඇති විධියට රැෂනල් යන්න රේෂෝ (ratio) යන්න සමග සම්බන්ධයි. නිඛිල (පූර්ණ සංඛ්‍යා)  දෙකක අනුපාතය තමයි රේෂෝ කියන්නේ.  හරියට 9/14 වගේ. එක් සංඛ්‍යා වර්ගයක් තියෙනවා පරිමේය සංඛ්‍යා කියා. ඉංගිරිසියෙන් නම් රැෂනල් නම්බර්ස් (rational numbers). රැෂනල් නම්බර්ස් කියන්නෙ අර කලින් කිවුව වගේ නිඛිල දෙකක අනුපාතය හැටියට ලියන්න පුළුවන් සංඛ්‍යා. දැන් සිංහලෙන් රේෂෝ යන්නට අනුපාතය කියා රැෂනල් යන්නට පරිමේය කියන විට දෙක අතර සම්බන්ධය තේරෙන්නෙ නැහැ. මදිවට රැෂනල් යන්නට මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පාරිභාෂික වචනය තර්කනය යන්න. 

 

ග්‍රීකයන් හිතන් හිටියෙ පරිමේය සංඛ්‍යා පමණක් ඇති බවත් සංඛ්‍යාවලින් ලෝකය විස්තර කරන්න පුළුවන් කියා. එහෙත් බද්ධ පාදවල දිග ඒකකයක් වූ සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග √2 වෙනවා. √2 ලියන්න බැහැ නිඛිල දෙකක අනුපාතය විධියට. පෛතගරස්ලාගෙ රහස් සංවිධානයක් තිබුණ. ඒකෙ සාමාජිකයන් විතරයි එකල එවැනි සංඛ්‍යා තියෙන බව දැන හිටියෙ. සංඛ්‍යාවලට ඔවුන් ඉර්රැෂනල් නම්බර්ස් (irrational numbers) කිවුව. අපි සිංහලෙන් අපරිමේය සංඛ්‍යා කියනවා. එක කතාවකට අනුව Hippasus  නම් සාමාජිකයා එවැනි සංඛ්‍යා තිබෙන බව හෙළි කිරීම නිසා පෛතගරස් ඔහුට මරණ දඬුවම නියම කරලා. කොහොම හරි රැෂනල් ඉර්රැෂනල් කතාව ඇවිත් තියෙන්නෙ ඔය සංඛ්‍යා හරහා. දැන් එය රීසන් සමග බැඳිලා. රීසන් කියන වචනය සිංහලට හේතුව තර්කය වෙනවා.

 

අපි හිතනව තර්කනයෙන් ඊනියා ඇත්ත දැන ගන්න පුළුවන් කියල. ගණිතයෙ කරන්නෙ ඉදින් A වේ නම් B වේ කියා පෙන්නන එක (If A then B). එහි දී අර අනුමාන නීති (inference rules) යොදා ගන්නවා. අර පටන් ගත්ත A ඊනියා ඇත්තක් මොකක් පවතිනව නැත් ආදී කිසිවක් ගණිතයේ දී ප්‍රශ්න නො වෙයි. ගණිතයේ එහෙම පෙන්නන එකට කියනව සාධනය කරනවා කියලා. ලබා ගන්න නිගමනවලට ප්‍රමේය කියල කියනවා. ප්‍රමේය කියන්නෙ ඉංගිරිසියෙන් තියරම් (theorem) කියන එකට. තියරම් බිඳිල එන්නෙ තියො (Theo) කියන එකෙන්. එය දෙවියන් හා සම්බන්ධයි.

 

බටහිර විද්‍යාවෙ තියෙන්නෙ ප්‍රවාද. එහි ඉංගිරිසි වචනය තියරි (theory). ඒකත් බිඳිල එන්නෙ තියෝ කියන එකෙන් තමයි. ප්‍රවාදයක් කියන්නෙ කතාවක් නැත්නම් කතන්දරයක්. බටහිර විද්‍යාඥයො යම් යම් නිරීක්‍ෂණ විස්තර කරන්න කතන්දර හදනවා. සමහර කතා (හිතළු) වැඩ කරනවා. වැඩ කරන හිතළුවලට ප්‍රවාද කියනවා. බටහිර විද්‍යාවෙ ප්‍රවාද සාධනය කරන්නෙ නැහැ. බටහිර ගණිතයෙ ප්‍රමේය වැඩ කරනවා නැද්ද කියල අහන්නෙ නැහැ.

 

බටහිර දැනුම අද ලෝක ආධිපත්‍යයක් දරණවා. ගණිත දැනුමක් හරි විද්‍යාත්මක දැනුමක් හරි හින්ද නොවෙයි. දේශපාලන ආධිපත්‍යය හින්ද. එයට යම් ආකාරයකට තාක්‍ෂණය නම් උපකාර වෙලා තියෙනවා. තාක්‍ෂණය හා විද්‍යාව අතර සම්බන්ධයක් නැහැ. එඩිසන් බල්බය නිෂ්පාදනය කෙළෙ බටහිර භෞතික විද්‍යාවෙ ඕම් නියමය යොදා ගෙන නොවෙයි.

 

අද තියෙන්නෙ බටහිර සංස්කෘතික හා දේශපාලන ආධිපත්‍යයක්. දේශපාලන ආධිපත්‍යය නිසා තමයි සංස්කෘතික ආධිපත්‍යය ඇති වෙන්නෙ. සංස්කෘතිය නිසා තමයි දේශපාලන ආධිපත්‍යයට යොමු වෙන්නෙ.  දේශපාලන ආධිපත්‍යය ලබා ගැනීමට තාක්‍ෂණය යම් ආකාරයකින් උපකාර වෙලා තියෙනවා. දේශපාලන ආධිත්‍යය මගින් අප මත බටහිර දැනුම පටවනවා. අපට හිතන්න පුරුදු කරල තියෙනවා ඊනියා වාස්තවික සත්‍යයක් හරි යථාර්ථයක් හරි තියෙනවා කියාත් බටහිර ගණිතය හා බටහිර විද්‍යාව ඇසුරෙන් ඊනියා සත්‍යය කරා ළඟා විය හැකි බවත්. ගැන අපට විශ්වාසයක් ඇති කරල තියෙනවා. අතර අපට අනෙක් දැනුම් මිථ්‍යා ලෙස සලකන්න පුරුදු කරල තියෙනවා. බටහිර දැනුම කට ගා ගත් අයට මෝඩ අභිමානයකුත් ලබා දෙනවා. ඔවුන් මෝඩාභිමාන නිෂ්පාදනය කරනවා.