Main Logo

Sunday 25 June 2023

රනිල් ජනාධිපතිධුරය හා ජනමත විචාරණය

 

රනිල් ජනාධිපතිධුරය හා ජනමත විචාරණය

 

කවදා තිබ්බත් ජනාධිපතිවරණයක දී වලංගු ඡන්දවලින් සියයට පනහක ඡන්ද ලබා ගත නොහැකි බව දන්නා රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයක් පවත්වා තම ඊනියා ධුර කාල දීර්ඝ කර ගැනීමට මාන බලන බව පැහැදිලියි. වජිර අබේවර්ධන රංගෙ බණ්ඩාර අකිල කාරියවසම් ආදීන් රනිල් දක්‍ෂයකු බව කීවත් ඔහු කර ඇති දෙයක් නැහැ. ඇමතිවරයකු අගමැතිවරයකු ලෙස කටයුතු කර ඇති රනිල්ට මේ මගේ වැඩ කියා පෙන්විය හැකි දෙයක් නැහැ. ගුරු අභ්‍යාස විද්‍යාල ඊනියා විද්‍යා පීඨ බවට පත් කිරීම නිසා අධ්‍යාපනයේ සිදු වූ වෙනසක් නැහැ. ඔහු අධ්‍යාපන ඇමති වශයෙන් සිටිය දී ගෙනා ධවල පත්‍රිකාව අකුළා ගැනීමට සිදු වුණා. ඔහු දෙමළ වෙල්ලාල බෙදුම්වාදී ජාතිවාදීන් වෙනුවෙන් ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චියට නම් ගියා.

 

ඔහු ජනාධිපති වූයේ බටහිර සැලැස්මකින්. එහි මූලිකත්වය ගත්තේ එංගලන්තය. එයට මුදල් ලැබුණේ පරගලය සඳහා වියදම් කෙරුණේ දෙමළ විසිරුණූ ජනයා මගින් එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින් හා ඇතැම් අරාබි රටවලින්. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණේ මහින්ද හා ගෝඨාභය සිංහල බෞද්ධ ජාතිකත්වයට දුන් නායකත්වය නැති කිරීමත් රට බටහිරයන්ගේ අණසක යටතට ගැනීමත්. ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණේ කලාපීය වශයෙන් අප මත අණසක පැතිරවීමට. පසුගිය සතියේ මෝදිගේ ඇමරිකා සංචාරයෙන් පසු මේ බටහිර ඉන්දීය සහයෝගිතාව තවත් වැඩි වේවි. එය ලංකාවට වඩාත් අහිතකර ආකාරයකට බලපාවි.

 

රනිල් අද කරන්නේ සෙප්පඩ විජ්ජාවක්. ඔහු විදේශීය ණය නොගෙවා තවත් ණය ගන්නවා. ජාමුල ඔහුට සොච්චමක් දී තියෙනවා. ආධාර කර ගෙන ඔහු තව කීයක් හරි ණය ගනීවි. එය දක්‍ෂකමක් නොවෙයි. සියල්ල බටහිරයන්ගේ වැඩ. සොච්චම් ණය ලබා ගැනීම සඳහාත් අපට නොයෙකුත් කොන්දේසිවලට යටවෙන්න සිදුවෙනවා. ලාභ ලැබෙන රාජ්‍ය ආයතන විකුණන්න සිද්ධ වෙනවා. උද්ඝෝෂණ නැති වේවි. වෘත්තීය සමිති පාලනය සමන් රත්නප්‍රියට භාර වෙනවා. ආනයන නීති ලිහිල් කර බටහිරයන්ට තම භාණ්ඩ සඳහා රට විවෘත කරනවා.

 

ලබන වසර අවසාන වන විට ණය ගෙවන්න සිදු වෙනවා. සමග සෙප්පඩ විජ්ජා අවසන් වෙනවා. ඔහුට එවිට ජනාධිපතිවරණයකින් තබා ජනමත විචාරණයකින්වත් ජය ගන්න බැහැ. ඔහු ජනමත විචාරණයක් පවත්වන්න යන්නේ ව්‍යවස්ථාවේ 86 හා 85 වගන්ති යටතේයි. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ නීතිය හදාරා නැති මට නීතිය ගැන කතා කිරීමට සුදුසුකම් නැහැ කියා. මා සිංහල බෞද්ධ සංස්කෘතියේ. මගේ සංස්කෘතියේ දැනුම කොටු ගසා එකිනෙකින් වෙන් කරන්නේ නැහැ.බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ දැනුම පිළිබඳ ඇති වෙන් කිරීම් මට අදාළ නැහැ. වෙන් කිරීම් මා වෙත පැටවීමට කිසිවකුටවත් ඉඩ දෙන්නේ නැහැ.

 

අදාළ වගන්ති මා මෙහි උපුටා දක්වනවා. ජනාධිපති ප්‍රශ්නය ජනතාවට යොමු කරන්නේ කෙසේ සකස්කර යන්න වැදගත් වේවි. ඔහුට දීර්ඝ කළ හැකි ධුර කාලයක් නැහැ. ඔහු ගෝඨාභයගේ ධුර කාලයේ ඉතිරි කොටස සඳහා පාර්ලිමේන්තුවෙන් පත් කර ගත් අයකු පමණයි. ඔහුට ජනාධිපතිවරණයකින් ලැබුණු ධුර කාලයක් නැහැ. එබැවින් ඔහුට ඡන්දදායකයන් දුන් ධුර කාලයක් නැහැ. නිසා ඔහුට ඡන්දදායකයන්ගෙන් ධුර කාලය දික් කර දෙන ලෙස ඉල්ලන්නත් බැහැ.

 

අපි බලමු ප්‍රශ්නය සකස් කරන්නේ කෙසේ කියා. ප්‍රශ්නයට විරුද්ධ අධිකරණයට යන්න වේවි. යම් ආකාරයකින් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් 85 වගන්තිය අනුව ප්‍රශ්නය රනිල්ට අවශ්‍ය ආකාරයට දිනීමට ඉඩ නොතැබිය යුතුයි.  

 

“86. ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේ

 

85 (3) ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන ලද යම් පනත් කෙටුම්පතක් හෝ යම් පනත් කෙටුම්පතක යම් විධිවිධානයක් හෝ ජනමත විචාරණයේ දී දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතර ඡන්දයකින් අනුමත කරනු ලැබුවහොත්, පනත් කෙටුම්පත හෝ විධිවිධානය හෝ ජනතාව විසින් අනුමත කරන ලද සේ සැලකිය යුත්තේ යඃ

 

එසේ වුව , දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවේ මුළු ගණන ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද හිමියන්ගේ මුළු සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් නොඉක්මවන අවස්ථාවක දී, ඡන්ද හිමියන්ගේ මුළු  සංඛ්‍යාවෙන් තුනෙන් එකකට නොඅඩු සංඛ්‍යාවක ඡන්දයෙන් පනත් කෙටුම්පත හෝ විධිවිධානය අනුමත කරනු ලැබුවහොත් පමණක් පනත් කෙටුම්පත හෝ විධිවිධානය ජනතාව විසින් අනුමත කරන ලද සේ සැලකිය යුත්තේ .”

 

ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක් ඡන්දය නොදුන්නොත් ප්‍රශ්නය රනිල්ට අවශ්‍ය ආකාරයට දිනවීමට ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකකගේවත් කැමැත්ත ලබා ගන්න ඕන. රනිල් ජනමත විචාරණයකින් වුවත් පැරදවීමට ක්‍රම හා විධි (සංකරණ හා සංයෝජන) තියෙනවා.  අර රනිල් එළවන එක කජ්ජක් කී පරගලයන්ට කරන්න පුළුවන් දෙයක් නම් නැහැ.