සාපේක්‍ෂතාවාදය කතන්දර මා හා සුප්‍රබුද්ධයෝ
මා බටහිර විිද්‍යාවේ ප්‍රාමාණික උගතකු නො වෙයි. මට වඩා බටහිර විද්‍යාව දන්නා දහස් ගණනක් ලංකාවේ ඇති. ප්‍රාමාණික උගතකු නූණත් මා බටහිර විද්‍යාවේ දැනුම අභිසංස්කරණය (නිර්මාණය) කෙරෙන්නේ කෙසේ දැයි දන්නවා. දැන් නම් මා දන්නවා බටහිර විද්‍යාවෙත් තියෙන්නෙ කතන්දර ටිකක් කියා. ඒ කතන්දර අපේ සංස්කෘතියේ කතන්දර නොවන බවත් දන්නවා. මට එකල අවශ්‍ය වූයේ බටහිර විද්‍යාවේ දැනුම අභිසංස්කරණය කරන විද්‍යාඥයකු වීමට. මා 1969 ජනවාරියේ දී එංගලන්තයට ගියේ ඒ අදහසින්. එහෙත් මට එලෙස දැනුම අභිසංස්කරණය කිරීමට නොහැකි බව වැටහුණා. මා 1970 දී අවුරුදු එකහමාරකින් පමණ ආපසු ආවා. මා අධ්‍යයනය කෙළේ සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Theory of Relativity) හා විශ්වවේදයත් (Cosmology) එයට අවශ්‍ය පරිදි ක්වොන්ටම් භෞතිකයත්.
මා
සාධාරණ සාපේක්‍ෂතාවාදයේ
යම් වස්තුවක් තමා වටා භ්‍රමණය වන විට ඇති වන අවකාශ කාලය විස්තර කරන කර් ප්‍රමිතිකය (Kerr Metric) ඇසුරෙන් සුළු ප්‍රශ්නයක් ගැන කල්පනා කළා. එය මගේ උපදේශකවරයා දුන් ප්‍රශ්නයක් නො වෙයි. ඔහු දුන් ගැටළුව ගැන කල්පනා කරන අතරෙයි මා මගේ ගැටළුව ගැන කල්පනා කෙළේ. එහි දී මා දැන ගත්තා භ්‍රමණය වන වස්තුව භ්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට අංශුවක් විද්දත් (ප්‍රක්‍ෂෙපණය කළත්) ටික වෙලාවක් ගිය පසු අංශුව වස්තුව භ්‍රමණය වන දිශාවට ම චලනය වන බව. මෙය ඇතැම් විට අවස්ථිති සමුද්දේශ රාමුවේ ඇදී යෑම (dragging of the inertial frame of reference) ලෙස සඳහන් කෙරෙනවා.
මගේ
උපදේශකවරයා දුන් ගැටළුව අධ්‍යයනය කිරීමේ දී මා පැහැදිලි කළා අයින්ස්ටයින් කියා ඇති පරිදි ආලෝකය වස්තුවක් (මන්දාකිණියක් කියමු) අසලින් ගමන් කිරීමේ දී නැමෙන බවට අමතර ව වස්තුවක් තුළින් ගමන් කිරීමේ දීත් නැමෙන බවත් එහි දී ඈත තිබෙන වස්තුවක ප්‍රතිබිම්බ තුනක් හරි පහක් හරි නිර්මාණය වන බවත්. මෙය අද නිරීක්‍ෂණ මගින් තහවුරු වී තිබෙනවා. ප්‍රතිබිම්බ පහට අද අයින්ස්ටයින් කතිරය (Einstein Cross) නම
යොදා ගැනෙනවා. මෙහි ඇත්තේ අයින්ස්ටයින් කතිරයක ඡායාරූපය.
ඒ එකකින්වත් මා විද්‍යාඥයකු වුනේ නැහැ. මා කෙළේ තියෙන කතාවක් (ප්‍රවාදයක්) යොදා ගෙන වෙනත් සංසිද්ධි පැහැදිලි කිරීම පමණයි. මා අලුතෙන් කතාවක් ගෙතුවේ නැහැ. අලුත් දැනුමක් අභිසංස්කරණය කෙළේ නැහැ.
අලුත්
දැනුමක් කියන්නෙ ගොතන කතාවක්. එය හිතළුවක්. එහෙමත් නැත්තන් උපන්‍යාසයක් (axiom) . ඒ හිතළුව වැඩ කරනවා නම් වෙනත් විධියකට කියනවා නම් ඒ උපන්‍යාසය යොදා ගෙන යම් යම් සංසිද්ධි විස්තර කරන්න පුළුවන් නම් එයට ප්‍රවාදයක් (theory) කියනවා. මා එයට කතාවක් එහෙමත් නැත්නම් කතන්දරයක් කියනවා. එය හිතළුවක් ගොතන ලද්දක්. එහෙත් වැඩ කරන හිතළුවක්.
බොහෝ
දෙනාට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. අපට කියල දෙන්නේ නිවුටන් අරක හොයා ගත්තා. මැක්ස්වෙල් මේක හොයා ගත්තා කියලා. ඒ කියන්නෙ තියෙන දෙයක් හොයා ගත්තා කියන එක. ඒක සම්පූුර්ණයෙන් ම වැරදි කතාවක්. නිවුටන් ගුරුත්වාකර්ෂණයක්
හොයා ගත්තේ නැහැ. ඔහු කෙළේ ඇපල් වෙටෙන්නේ කොහොමද කියන එකට හිතළුවක් ගෙතීම පමණයි. ඒ තමයි ගුරුත්වාකර්ෂණය.
එය වැඩ කරනවා. එහෙත් යම් වපසරියක. ග්‍රහවස්තුවල චලනය සම්බන්ධයෙන් එය වැඩ කරන්නේ නැහැ. නිවුටන් කී විධියට ග්‍රහවස්තු ඉර වටා අචල ඉලිප්සවල යන්න ඕන. ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ. ග්‍රහවස්තු අචල ඉලිප්සවල ගමන් කරන්නෙ නැහැ. ඉලිප්සයත් කරකවමින් තමයි ගමන් කරන්නෙ.
ලංකාවෙ මට වඩා විද්‍යාව දන්නා දසදහස් ගණනක් ඉන්න බව මා දන්නවා. සාපේක්‍ෂතාවාදයේ සුළු ප්‍රශ්නයක් මා ඔවුන්ට ඉදිරිපත් කරනවා. මෙය කාලයක් තිස්සේ විවාදයට භාජනය වුනු ප්‍රශ්නයක්. මා දන්නවා ලංකාවේ ඉන්න බටහිර විද්‍යාව දන්නා අයට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා.
1909
දී තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් වුනෙ. එයට ඒරන්ෆෙස්ට් විරුද්ධාභාසය (Ehrenfest
Paradox) කියා කියනවා. අයින්ස්ටයින් ද මේ ගැන කියා තියෙනවා. 1915 ට පෙර සාධාරණ සාපේක්‍ෂතාවාදය
පිළිබඳ හිතළුව ඉදිරිපත් කිරීමේ දී අයින්ස්ටයින් ද මේ විරුද්ධාභාසය ගැන පත්‍රිකා ලියා තියෙනවා. භුමණය වන තැටියක් සලකන්න. සාපේක්‍ෂතාවාදයට අනුව වස්තුවක් චලනය වන විට එහි ගමන් කරන පැත්තට ඇති දිග නිසල නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව අඩු වෙනවා. එහෙත් වස්තුව ගමන් කරන දිශාවට ලම්බ දිශාවක් පැත්තට නිසල නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව දිග අඩුවන්නේ නැහැ. චලනය වන සමචතුරස්‍රයක් නිසල නිරීක්‍ෂයකුට සාපේක්‍ෂ ව සමචතුරස්‍රයක් වන්නේ නැහැ.
ප්‍රශ්නය වන්නේ භුමණය වන වෘත්තාකාර තැටියක් සම්බන්ධවයි. නිසල නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව එහි පරිධිය දිගින් අඩුවෙන්න ඕන. එහෙත් අරය (එහි දිග) අඩුවෙන්නේ නැහැ. ඒ අරය තැටිය භුමණය වන දිශාවට ලම්බ නිසා. දැන් ප්‍රශ්නය නිසල නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව පරිධියේ දිග හා අරය සම්බන්ධයෙන් ඇති 2πr සම්බන්ධය වලංගු වීම ගැනයි. අරය වෙනස් නොවන නිසා නිසල නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ව තැටියේ වර්ගඵලය වෙනස් නොවිය යුතු ද? එහෙත් පරිධිය දිගින් අඩු ද? ඇතැමුන් පිළිතුරු සපයා ඇති නමුත් තවමත් සතුටුදායක පිළිතුරක් නැහැ. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට මෙහි ඉඩක් නැහැ. මෙය කිසිසේත් ම ඊනියා විිද්වත් සඟරාවක් නො වෙයි. පිළිතුරක් ඇත්නම් නේචර් සඟරාවට ලියන්න.