මෝඩාභිමාන මුරුච්චි
හීනමානය අධිමානය අභිමානය කියන්නේ මාන තුනක්. ඒ විවිධ අර්ථවලින්. හීනමානය හා අධිමානය කියන්නෙ එක ම කාසියෙ දෙපැත්ත කියලත් කියන්න පුළුවන්. අභිමානය කියන්නෙ ඒ වගේ දෙයක් නොවෙයි. ඒ වගේ ම ආඩම්බරය, උඩඟුකම වගේ වචනත් තියෙනවා. දැන් කොහොම වෙතත් කලකට පෙර අපට ජාතියක් ලෙස අභිමානයක් තිබුණා. ඒ අධිමානයක්වත් ආඩම්බරයක්වත් උඩඟුකමක්වත් නො වෙයි. අපේ නිර්මාණ, අප ලෝකයාට දී ඇති දේ ගැන අපට අභිමානයක් තිබුණා.
ඒත්
එ අභිමානය දහනවවැනි සියවසේ අවසානයෙන් පසු නැති වෙන තැනට කටයුතු යෙදුවා. ඒ ඉංගිරිසින්, ඕල්කට්තුමා හා ඔවුන්ගේ අනුගාමිකයන් විසින් කෙරුණු දෙයක්. පාණදුරාවාදය අභිමානවත් කරුණක්. අපි සිංහල බෞද්ධ සංස්කෘතියට බුදුදහමට අගෞරව කරන්න අපහාස කරන්න පැමිණි පිරිස්වලට ඉඩක් දුන්නෙ නැහැ. සමහරවිට ඉංගිරිසින් එයින් පාඩමක් උගත්තා වෙන්න පුළුවන්.
පාසල්
පද්ධතිය රැකියා ඉංගිරිසින්ගෙ වරප්‍රසාද ලබා ගැනීම ආදිය මගින් දහනවවැනි සියවසේ මුල සිට ක්‍රමයෙන් හීනමානයක් අපට ඇති වෙමින් තිබුණා. ඒ 1814 පමණ කාලයක සිට. ඉංගිරිසින්ගෙන් තනතුරක් නම්බුනාමයක් ආදිය ලබා ගැනීම උසස් දේ ලෙස සැලකුණා. සිංහල සමාජයේ ඉහළ ම අය ලෙස සැලකුණේ එසේ තනතුරු ආදිය ලබාගත් අය. ඔවුන් ඉංගිරිසියෙන් කතා බස් කෙළෙ. ඉංගිරිසින් මෙන් ඉංගිරිසි උච්චාරණය කරන්න අඳින්න පළඳින්න අපට ඉගැන්නුවා.ඉංගිරිසි දැනුම ඉංගිරිසියෙන් හරි සිංහලෙන් හරි අප මත පැටෙවුවා. අපි හැකිතාක් දුරට ඒ අනුකරණය කළා.
ඒ ක්‍රියාදාමය වඩා තීව්‍ර වුණේ ඕල්කට්තුමාගෙන් පසු ඊනියා බෞද්ධ පාසල් ඇති කිරීම මගින්. ඒ පාසල්වල කෙරුණේ ඉංගිරිසි ක්‍රිස්තියානි (රජයේ පාසල් ද ඇතුළුව) පාසල් අනුකරණය කිරීම. එහි බුදුදහම ඉගැන්නුවා කියා මා හිතන්නේ නැහැ. බුද්ධාගමක් සමහර විට ඊනියා තාර්කනික බුදුදහමක් ඉගැන්නුවා. එය විද්‍යාත්මක බුද්ධාගමක් බවට යථා කාලයේ දී පත් වුණා. බුදුදහම අපෙන් ඈත්වුණා.
අපේ
අභිමානය වෙනුවට හීනමානයක් හා අධිමානයක් ඇති වුණා. අප වැවු හා දාගැබ් ගැන කිවුවෙ ඒ දැක සුද්දොත් මවිත වෙනවා කියලා. ඒ තමයි හීනමානය හා අධිමානය. සුද්දා හා ඔහුගෙ වැඩ තමයි අපේ මිනුම් දණ්ඩ වුනෙ. සුද්දා කියන නිසා අපට වැවු අගය කරන්න පුළුවන් වුනා. සුද්දා නිසා අප හීනමානය සමග අධිමානයක් අත්කර ගත්තා.
අප
කොපමණ කියා ඇත් ද ඔහු තමයි අහවල් තනතුරට පත් වූ පළමු ලාංකිකයා සිංහලයා බෞද්ධයා කියා. බෞද්ධ පාසල් සමහරකත් පළමු සිංහල විදුහල්පතිවරයකු හිටියා. අපට අප ගැන අභිමානයක් නැති වුණා. මා ඊයේ පෙරේදා දැක්කා එංගලන්තයේ පළමු යම් මහේස්ත්‍රාත් පදවියකට පත් සිංහල සම්භවයක් ඇති අයකු ගැන පුවතක්.
අප
බටහිරයන් නිර්මාණය කර ඇති යන්ත්‍රවල ඇණ මුරිච්චි තද කරන්නන් පමණයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පරිපාලන ක්‍ෂෙත්‍රයේ ඊනියා ඉහළ නිලධාරීන් ආදී සියල්ලන් ඇණ මුරිච්චි තද කරන්නන් පමණයි. අපට බටහිරයන්ගේ ක්‍රමයට හිතන්න බැහැ. අපි අපේ ක්‍රමයට හිතන්නෙත් නැහැ. එහෙම හිතන්න යන අය විහිළුකාරයන් මෝඩයන් බවට පත් කෙරෙනවා.
අපට
දියුණු රටවල් කියන සංකල්පයක් ඇති කරලා. අපි දැන් දශක ගණනාවක් තිස්සේ දියුණු වෙන්න හදනවා. දියුණු රටවල් කියන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියෙ රටවල්. ඒ රටවල පෞද්ගලිකත්වය ඉස්මුරුතෙට යමින් පවතින්නෙ. අධිපරිභෝජනය එහෙම නැත්නම් අධිශක්ති පරිභෝජනය කාමසුඛල්ලිකානුවාදය ආදිය ඔඩු දුවලා. මාටින් ලූතර් දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක් කළා. මේ පෞද්ගලිකකරණය නිසා අද ස්ත්‍රී පුරුෂ බව තීරණය කිරීමත් පෞද්ගලික කටයුත්තක් බවට පත්වේගෙන යනවා. ඊනියා තාර්කනිකත්වයක්
මිණුම් දණ්ඩ වෙලා. තව කලක් මේ විධියට ගියොත් පෞද්ගලිකත්වය තීරණය කිරීමත් පෞද්ගලික කටයුත්තක් වෙලා පුද්ගලයා යනු කවුද යන්නත් ප්‍රශ්නයක් වේවි. කමක් නැහැ අපි දියුණු වෙමු.
ඊනියා
මෝඩාභිමානය අප ලැබූ තවත් දියුණුවක්. හිටිවන විහිළු නමින් හැඳින්විය හැකි ස්ටෑන්ඩ් අප් කොමඩි දැන් දශක ගණනාවක් තිස්සේ බටහිර ඊනියා දියුණු රටවල තියෙනවා. ඒත් ඒ විහිළු හිටිවන කවි වගේ නොවෙයි. හිටිවන විහිළු ලියන අය ඉන්නවා. අප
දැන් හිටිවන විහිළු අනුකරණය කරනවා. සැම දෙයක් ම වගේ අප අනුකරණය කරන්නේ ඇණ මුරිච්චි තද කරන්නන් ලෙස. අප හිතනවා ඊනියා දියුණු රටවල ඇති හැම දෙයක් ම අපි පුළුවන් විධියට අනුකරණය කළ යුතු ය කියා. එසේ අනුකරණය කිරීම
තමයි මෝඩ අනුකරණය නැත්නම් මෝඩාභිමානය. එය අභිමානයක් නො වෙයි. මෝඩ අනුකරණයක්. මෝඩාභිමානය ඇතිවෙන්නෙ ම හීනමානය නිසා.
මේ
සමහර අනුකාරකයන්ට ඇණ මුරිච්චි තද කරන්න තියා ඇණ මුරිච්චි වෙන් කරගන්නවත් බැහැ. ඔවුන් මෝඩාභිමානයෙන් මූර්ච්ඡා වෙලා එහෙම නැත්නම් මුරුච්චි බවට පත් වෙලා.