Main Logo

Wednesday 14 June 2023

පොහොට්ටුව මොකද කරන්නෙ

 

පොහොට්ටුව මොකද කරන්නෙ

 

අද අහන්න තියෙන ප්‍රශ්නය රනිල් මොනවද කරන්නෙ කියන එක නොව ආණ්ඩු පක්‍ෂය හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් කරන්නෙ මොකද කියන එක. රනිල් තමා බලයට පත්කළ බටහිරයන්ට දෙමළ විසුරුණු ජනයාට හා යම් ප්‍රමාණයකට ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව පැහැදිලියි. පුරාවිද්‍යා ආඥාපනතට විරුද්ධ ගිහින් හරි දෙමළ ජාතිවාදීන්ට කුරුන්දි විහාරය සතු ඉඩම් ලබා දීමට ඔහු සූදානම්. එහි නීතිමය තත්වය අනුව ජනාධිපතිට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරල්වරයාට නියෝග දෙන්න බැහැ පුරාවිද්‍යා ආඥාපනතට විරුද්ධ කටයුතු කරන්න කියා. එය අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩලය හා ව්‍යවස්ථාදායකය තීරණය කළ යුත්තක්.

 

මා ඉතිහාසය ගැන කතා කරන විට මගේ සුදුසුකම් මොනවා කියා අහන මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන්  රනිල් වික්‍රමසිංහ ඉතිහාසය කතා කරන විට උද්‍යොගිමත් ඔල්වරසන් දෙනවා එහෙම නැත්නම් නිහඬ ඉන්නවා. පඬි නැට්ටන් බොරු වාම කතා කිවුවත් රනිල් සමග එක පිළේ නිසා. පඬි නැට්ටන් කියන්නේ බටහිර පඬියන් කියන විධියට වල්ගය (නැට්ට) වනන බැවින්. රනිල් කරන්නේත් බටහිරයන් කියන දේ.

 

මා ඉතිහාසය විකෘති කර නැහැ. එහෙත් රනිල් ඉතිහාසය විකෘති කරනවා.පඬි නැට්ටන් කරන්නේ එයමයි.  කුරුන්දි විහාරය දෙමළ බෞද්ධයන්ගේ විහාරයක් බව කීම ව්‍යවස්ථාවට විරුද්ධ වීමක්. ඛල්ලාටනාග රජු කර වු විහාරය හත්වැනි සියවසේ පොත්ථකූඨ කළ විහාරයක් හැටියට කියා පෑම නවවැනි ව්‍යවස්ථාවට පිටු පෑමක්. එය උල්ලංඝණය කිරීමක්. නවවැනි ව්‍යස්ථාව මෙසේයි.

 

“ 9. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ . එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ () ඡේද‍යෙන් සියලූ ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ .”

 

රනිල් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝණය කරන්නේ බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමට ? අස්විය යුතු තිබුණේ පුරාවිද්‍යා කොමසාර්ස් ජෙනරාල්වරයා නොව ජනාධිපතිවරයා.

 

දැන් පොහොට්ටුව හා ආණ්ඩු පක්‍ෂය කරන්නේ කුමක් ? රනිල් ජනාධිපති කෙරුණේ පොහොට්ටුව විසින්. සාගර කාරියවසම් මෙන් පවිත්‍රා වන්නිආරච්චිත් කියා තිබෙනවා පොහොට්ටු මන්ත්‍රීවරුන්හේ රැස්වීමක දී රනිල් ජනාධිපති කිරීමට තීරණය කළ බව. රනිල් අගමැති බවට පත්කෙරුණේ ගෝඨාභය විසින්. අප එකල යෝජනා කෙළේ දිනේෂ් ගුණවර්ධන හරි සරත් ෆොන්සේකා හරි අගමැති කළ යුතු බවයි. යම් හේතු නිසා කෙරුණේ නැහැ. රනිල්ට පාර්ලිමේන්තුවේ කිසිම සහායක් තිබුණේ නැහැ. එහෙත් ඔහුට පරගලය අවසන් කරන්න ශක්තිය තිබුණා. පරගලය කෙරුණේ ඔහු වෙනුවෙන්.

 

පඬි නැට්ටන්ට මේ කිසිවක් ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ සිංහල බෞද්ධ නායකත්වය එනම් ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීම පමණයි. ඊනියා ක්‍රම වෙනස කුමක් කියාවත් ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් මෙටාවේ හා මොටාවේ ලියන කියන පඬි නැට්ටන් පමණයි. ක්‍රම වෙනස තබා සුසමාදරශී වෙනස කියන්නෙ මොකක් කියාවත් ඔවුන් දන්නේ නැහැ. සුසමාදර්ශය ප්‍රවාදය අතර වෙනස දන්නෙත් නැහැ. එහෙත් පොහොට්ටුව තමන් කරන්නේ කුමක් දැයි දැන හිටින්න ඕන. තම කඳවුරට පැමිණි රනිල් පාලනය කිරීමට පොහොට්ටුවට ශක්තිය තිබුණා. එහෙත් පොහොට්ටුව එසේ කළේ නැහැ. අප  කියා සිටියේ රනිල් වහාම අගමැති ධුරයෙන් අස් කළ යුතු කියා. එය සිදු වුණා නම් ගෝඨාභය ඉවත් කිරීමෙන් පසු රනිල් වැඩ බලන ජනාධිපති වන්නේ නැහැ.

 

පොහොට්ටුව ඉනුත් ඔබ්බට ගොස් රනිල් පාර්ලිමේන්තු සම්මතයෙන් ජනාධිපති කිරීමට තීරණය කළා. රනිල් හැසිරවීමට පොහොට්ටුව සමත් විය යුතුව තිබුණා. අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියල්ලන් පොහොට්ටු සංධානයේ මන්ත්‍රීවරු. රනිල්ට පාර්ලිමේන්තුවේ ඉන්නේ එක මන්ත්‍රීවරයායි.  අද වන විට රනිල් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය උල්ලංඝණය කරලා. ප්‍රශ්නය පොහොට්ටුව  කරන්නේ කුමක් යන්නයි. ආණ්ඩු පක්‍ෂයෙන් සුවාදීන වූ කණ්ඩායම් අද විසිරිලා හරි විසිරෙමින් පවතිනවා හරි. ඔවුන්ගෙන් ඇතැමකු සජිත් සමග එකතු වන්න වෙර දරනවා.

 

අද රට පාලනය කරන්නේ බටහිරයන් හා ඉන්දියාව. දෙමළ විසිරුණු ජනයා එහි දී මූල්‍ය වශයෙන් වැඩ කොටසක් කරනවා. මෝඩාභිමානය පසුපස ඔවුන් ඉන්නවා. සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන ඇමති විධුර පඬිතුමා මෙන් ක්‍රියා කරන්නේ නැහැ. අපේ ඊනියා ස්වාධීනත්වය දැන් බල්ලට ගිහින් කියා මා කියන්නේ නැහැ. අපේ මැතිවරණ තීරණය කෙරෙන්නේ ඉන්දියාවේ අවශ්‍යතා උඩ. ඉන්දියාවට අවශ්‍ය පළාත් සභා මගින් උතුරු හා නැගෙනහිර පළාත් වක්‍ර පාලනය කිරීම. කුරුන්දි කතාවත් එයට සම්බන්ධයි. අනෙක් කටයුතු ජාමුල මගින් බටහිරින් පාලනය කෙරෙනවා. ඊනියා ආණ්ඩු පක්‍ෂය කරන ආණ්ඩු කිරීමක් නැහැ. අද බල්ලා නගුට වනනවා වෙනුවට නගුට බල්ලා නටවනවා.