Main Logo

Tuesday 13 February 2024

ඒ මේ රුපියල නො වේ

 

මේ රුපියල නො වේ

 

දැන් ඉන්දියන් රුපියලෙන් ලංකාවෙ ගණුදෙනු කරන්න පුළුවන්. ඒකෙන් ලංකාවට වෙන වාසිය මොකක් කියන එකට කිසිවකු පිළිතුරක් දෙන්නෙ නැහැ. පස්සෙ කාලෙක ඉන්දියාවෙදි ලංකා රුපියල්වලින් ගණුදෙනු කරන්න පුළුවන් කියල හිත හදාගන්න කියනවා. අපට ඩොලර් ටිකක් එන්න තියෙන එක නම් මග හැරෙන බව තමයි පෙනී යන්නෙ. ඉන්දියාවට ඩොලර් ගන්න ඕනෙ නැහැ. ඉන්දියාව තවම ඩොලරයේ මට්ටමට ඇවිත් නැහැ. ඒකට තව සෑහෙන කලක් යාවි. ඒත් අතර ඉන්දියාව ඩොලර් ටිකක් ඉතුරු කරගන්න හදනවා.  වාසිය නම් අපට නොවන බවයි පේන්නෙ.

 

අපට ඉන්දියන් රුපියල් ලැබෙනවා කියමු. ඉන්දියන් රුපියල්වලින් අපට ලබා ගන්න පුළුවන් භාණ්ඩ මොනවා ? භාණ්ඩ තියෙන්නෙ කොහේ ? චීනයෙන් අපට ඉන්දියන් රුපියල්වලට භාණ්ඩ ලබා ගන්න පුළුවන් ? යුරෝපයෙන් පුළුවන් ? ඉන්දියාව එක්ක ඉන්දියන් රුපියල්වලින් ගණුදෙනු කිරීමට මුරුසියත් එකඟ වෙලා. ඉන්දියාව මේ පොඩි රටවල් හරහා කරන්න යන සෙල්ලම මොකක් ? මෝදිදාස්ගෙන් අහමු ? ඉන්දියාවෙ ක්‍රිකට් කණ්ඩායමට දෙවුදතුවකු එකතු වෙන්න යනව කියනවා. ඒකත් හොඳයි.

 

මොකක් වුණත් ඉන්දියන් රුපියල භාවිතා කරන්න යන ප්‍රීතිය නිසා ඔකඳ වූ ඇමතිවරයෙක් ලංකාව ඉන්දියාවෙ කොටසක් බව කියලා. එවන් ඇමතිලා ඉන්න විට මෝදිලා මොකට ? මෙරට දෙමළ ජනකොටස්වලට නම් දකුණු ඉන්දියාවට ගියා සංස්කෘතික සමීප බවක් දැනෙනවා. ඔවුන් හරීහරන්ල යාපනේ සංගීත සන්දර්ශනවලට ගෙන්නනවා. ඒත් සිංහලයන්ට ඉන්දියාවෙ බෙංගාලයටවත් ඔඩෙස්සාවටවත් (කාලිංගයටවත්) කේරළයටවත් ගුජරාටියටවත් ගියොත් එවැනි සමීප බවක් දැනෙන්නෙ නැහැ. ඇතැම් සමානකම් ඇති. එහෙත් අර සමීප බව නැහැ.

 

අප භාරතයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අයගේ හා මෙරට විසුවන්ගේ මිශ්‍රණයකින් පැවත එන්නන්. මෙරටට පළමුවෙන් එන්න ඇත්තේ වෙළෙන්දන්. සිංහල කියා වෙළෙන්දකු ගැනත් කියැවෙනවා. සේන ගුත්තික එළාර ආදීනුත් වෙළෙන්දන්. වෙළෙන්දන් සමහරු මෙහේ බින්න බැහැල තියෙනවා. තවත් සමහරු රජවරු නැත්තන් ක්‍ෂත්‍රියයන් ලෙස පැමිණිිල තියෙනවා. අපට පන්ජාබ සම්බන්ධකම් නැත්නම් වත්මන් පකිස්ථාන සම්බන්ධකම් තියෙනවා. ඉම්රාන් ඛාන් හිරේ ඉඳන් දිනලා. අපත් විරුද්ධවාදීන් හිරේ දානවා, ප්‍රජා අයිතිවාසිකම් නැති කරනවා සහ තවත් දේ.

 

සියල්ල මිශ්‍ර වී අප අනන්‍ය වූ සංස්කෘතියක් නිර්මාණය කරන් තියෙනවා. දෙමළ ජනකොටස්වලට එසේ කරගන්න බැරි වෙලා. ඔවුන්ගේ වූ සංස්කෘතියක් මේ රටේ නැහැ. එහෙත් අද අප ඉතා වේගයෙන් ඉන්දියාවට යට වී ගෙන යනවා. ඉන්දියාවට අවශ්‍ය කලාපයේ තනි බලවතා වෙන්න. අඩු තරමෙන් දකුණු ආසියාව තම ග්‍රහණයට හසු කරගන්න. තම නූතනත්ව යටත්විජිත ප්‍රතිපත්තියට අනුව.

 

මෙරට පඬි නැට්ටන් ජෙප්පන් තරම් බුද්ධිමතුන් ලෝකයේ වෙන  කොහේවත් නැතුව ඇති. ඔවුන් හිතන්නේ මෝදිදාස්ට ඉන්දියාවට එන්න කිවුව ඉන් කියැවෙන්නේ ඊළඟ ජනාධිපතිට ආරාධනයක් කර ඇති බවයි. මෝදිදාස් ජනාධිපති නොවන බව ඉන්දියාව හොඳින් දන්නවා. මෝදිදාස් නේපාලය පැත්තට ගියේ නැද්ද? රටත් අප වගේ කුඩා රටක්.

 

මා කියා තිබුණා 1980 දී මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වුණේ මාක්ස්වාදය විද්‍යාත්මක කියන ප්‍රශ්නය අසමින් බව. පඬි නැට්ටකු තම බුද්ධි මහිමය විදහා දක්වමින් අහනවා පට්ටපල් බොරු විද්‍යාවට මාක්ස්වාදය ගැලපෙනවා කියා ඇහීම විහිළුවක් නේ කියා. පඬි නැට්ටා දන්නේ නැහැ අසූවේ මුල මා බටහිර විද්‍යාව ප්‍රශ්න නොකළ බවත් ප්‍රශ්න කෙළේ අනූවේ දශකයේ බවත්. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා වටහා ගත්තේ මාක්ස්වාදය ප්‍රශ්න කර අවුරුදු දහයක් පමණ ගියාට පසු. අද වන විට මා දන්නවා කළු කුහර නැති බව පමණක් නොව ඊනියා ගුරුත්වාකර්ෂණය වස්තු තුළ විකර්ෂණයක්  බවට පත්වෙන බව. කළු කුහරවල අපූර්වතාව දෙවියන් වහන්සේගෙන් ගලා එන්නක් බවත් මට පේනවා.

 

අපට ඉන්දියාවට නමස්කාර කිරීමට සිදු වී ඇත්තේ අපේ අවිචාරය නිසා. පැරණි රජදරුවන් භාරතයට හිස නොනමා ඉන්න දැන හිටියා. අපේ පැරණි අධ්‍යාපනයේ ප්‍රතිඵල. අප කිසි දිනෙක මෙරට ඉන්දියාවේ කොටසක් ලෙස සැලකුවේ නැහැ. ලයිට්හවුස් වර්මන් වුවත් පල්ලව රාජ්‍යයෙන් ආධාර ගත්තත් වර්මන් නමත් ගත්තත් අප පල්ලව රාජ්‍යයේ කොටසක් කරන්න ගියේ නැහැ.

 

ඒත් දැන් ලැබෙන්නේ තනිකර බටහිර අනුකාරක අධ්‍යාපනයක්. එය ඉහළ ගණයේ අනුකරණයකුත් නො වෙයි. අධ්‍යාපනයෙන් බිහිවන්නන් අද දේශපාලනයේ පරිපාලනයේ මොටාවේ මෙටාවේ ජඩමාධ්‍යයේ හැම තැන දකින්න පුළුවන්. ඒත් අපට බටහිරයන් පිහිට වන්නෙත් නැහැ. ඔවුන් ඉනදියාව තරහ කර ගන්නේ නැහැ. අප බටහිර අනුකරණය කරමින් ඉන්දියාවට යට වෙනවා.