ජ වි පෙ විකාශය හා වාම හැව ඇරීම
ජනතා විමුක්ති පෙරමුණ ගැන එක දිගට තුන්වැනි දවසකත් ලියන්න අවශ්‍ය වන්නේ ඒ පක්‍ෂය සාර්ථක ගමනක යෙදෙන නිසා නො වෙයි. මෙටාවෙ හා මොටාවෙ සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් ජෙප්පන් ආදීන් නම් කියාවි පල ඇති රුකට ගල් ගහනවා කියලා. ඒ රුකේ කිසිම පලක් නැහැ. එල්ලපු බනිස් ගෙඩියක්වත් නැහැ. එහෙම වුණත් ජවිපෙ ගැන කියන්න කරුණු රාශියක් තියෙනවා. මෝදිදාස කිසිම දවසක ලංකාවෙ ජනාධිපති වෙන්නෙ නැහැ. ඔහු තඹුත්තේගමින් දිල්ලි ගිය පුද්ගලයෙක් පමණයි. අපේ ගෙවල්වල එකල කතාවක් තිබුණ යන දිල්ලියක ගියාවෙ කියලා.
ජවිපෙ ඊර්ෂ්‍යාව වෛරය ද්වේෂය මත ගොඩනැගුණු කුලවාදී පක්‍ෂයක්. එය ගොවිගම විරෝධී පක්‍ෂයක් ලෙසයි බිහිවුණෙ. එයට කරාවෙ විමුක්ති පෙරමුණ නැත්නම් කේවීපී කියල නමකුත් පටබැඳුණා. එය ග්‍රාමීය පක්‍ෂයක් කියන එක වැරදියි. අම්බලන්ගොඩ මුල් කරගත් ධර්මාශෝක විද්‍යාලය ඇසුරෙන් බිහි වූ පක්‍ෂයක්. එය කොළඹ කේන්ද්‍රීය නොවීය කියන එක නම් පිළිගන්න පුළුවන්.
එයට
ගැමි තරුණ තරුණියන් ඇදි ගියා. ලංකාවෙ හැම පක්‍ෂයකට ම ගැමියන් ඇදී යනවා. ගැමියන් නැතුව පක්‍ෂයක් පවත්වගෙන යන්න බැහැ. ඊනියා නාගරික කම්කරු පංතියක් ගැන කතා කළ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලටත් හේවාගම් කෝරළයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ
මාතර දිස්ත්‍රික්කයේ
ගැමියන් අවශ්‍ය වුණා.
ජවිපෙට ඇදී ගියේ ඊනියා වාම ප්‍රතිපත්ති තිබූ ගැමියන්ගෙ දරුවන්. ඒ දරුවන් බොහෝ දෙනකු ගොවිගම නොවන කුලවල අය. ඔවුන් උගත් අය. එහෙත් ඔවුන්ගේ උගත්කම බටහිර උගත්කම. ඔවුන්ට ජාතිකත්වයක් තිබුණේ නම් ඒ දෙමවුපියන්ගෙන්
ලැබුණු සිංහල බෞද්ධ ජාතිකත්වය. එහෙත් ඒ ජාතිකත්වය උඩින් පමණක් තිබුණු එකක්. ඔවුන් අනුගමනය කෙළේ තමන්ට තේරුණු මාක්ස්වාදය. පේරාදෙණිය මොටාවෙ මාර්ස් ශාලාවේ සඟවා තිබූ බෝම්බ වැල්ලවායෙ තරුණයන්ට දිනය උදාවෙන්නෙ කොයි වෙලාවෙද යන්න ගැන දැනුමක් නොතිබීම ආදිය හරහා මේ මාක්ස්වාදය පෙන්නුම් කෙරුණා.
මෙය
ළදරු වලිකුලප්පුවක් ලෙස පැරණි වම විසින් හඳුන්වනු ලැබුයේ ලෙනින්ගේ පොතක් ඇසුරෙන්. පැරණි වම සුචරිත ගම්ලත් විජේ ඩයස් ආදීන් දක්වා පොත් කියවූ අය. එහෙත් ඔවුන්ට තම ගෝලයන් කියන පරිදි මා පොත්වල පෙරවදන් පමණක් කියවා ලියූ මාක්ස්වාදයේ දරිද්‍රතාවය අපෝහකයේ රූපිකය පොත් ගැන පිටුවක විවේචනයක්වත් පළ කර ගන්න බැරි වුණා. සමහර විට කියන්න ඉඩ තියෙනවා පිටුවක් නොවෙයි වාක්‍යයක්වත් ලියන්න වටින්නෙ නැහැ කියා. ඔවුන්ට කියන්න පුළුවන් දරිද්‍රතාවය යන්න දරිද්‍රතාව විය යුතු ය කියා විතරයි.
විජේවීරගේ ජවිපෙ අර දෙමවුපියන්ගෙන් ලැබුණු වාම අදහස්වලත් ජාතිකත්ව අදහස්වලත් නොගැඹුරු සංකලනයක් පමණයි. එය අර
වෛරය ද්වේෂය ඊර්ෂ්‍යාව හා ගොවිගම ප්‍රභූ විරෝධය මත පදනම් වුණා. ඔවුන් කම්කරු පංතියක් ගැන වෙනුවට නිර්ධන පංතියක් ගැන කතා කළා. බටහිරයන් සැලසුම් කළ පරගලයත් අවසාන විග්‍රහයේ දී සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක් වූ බව අප කියන්නේ මුල සිටයි.
හැටගණන්වල සිට දළ වශයෙන් විසිඑක්වැනි සිය වසේ පළමු දශකය දක්වා ජවිපෙ ක්‍රියාත්මක වුණෙ ඒ පදනමින්. කෙසේ නමුත් අසුවේ දශකයේ අගභාගයෙන් පසු ඊනියා දෙවැනි විප්ලවය අතුගා දැමීමෙන් පසු කිසියම් ආකාරයකින් ඉන් හිරිහැරයක් නැතුව දිවි ගලවාගත් පිරිසක් ජවිපෙ නායකත්ව මණ්ඩලවලට පැමිණියා. 2005
ජනාධිපතිවරණයේදීත් මැතිවරණවලදීත් ජ වි පෙ රාජපක්‍ෂලා සමග හිටියෙ.
පනස්හයේ සිට අනූහතර දක්වා ශ්‍රී ල නි පක්‍ෂය නියෝජනය කෙළේ එක්තරා ආකාරයකින් වාම ජාතිකත්වයක් කියන්න පුළුවන්. ජාතිකත්වය යන්නට ප්‍රබල මතවාදයක් එකල නොතිබෙන්න ඇති. එහෙත් චන්ද්‍රිකාගමනය
සිදුවෙන තුරු ශ්‍රී ල නි ප, ම එ පෙරමුණ ආදී පක්‍ෂ වාම ජාතිකත්වයක හිටියේ යැයි කියන්න පුළුවන්. එ ජා ප බටහිර ගැති විජාතික පක්‍ෂයක්.
අනුහතරේ චන්ද්‍රිකාගමනයත් සමග ජාතිකත්ව ශ්‍රී ල නි ප විජාතිකත්වයකට යට වුණා. රාජිත සේනාරත්න වික්ටර් අයිවන් රෙජිනෝල්ඩ් කුරේ ආදීන් ඒ පසුපස හිටියා. ම එ පෙ අනූහතරෙ මැතිවරණයේ දී චන්ද්‍රිකාගේ විජාතිකත්වයට පැකේජයට ආදියට එරෙහිව තනියම තරග වැදුණා. මාත් එවර කළුතර දිස්ත්‍රික්කයට
තරග කළා. මෙරට ඡන්දදායකයන් එවර ඉතිහාසයේ විශාල වරදක් කළා. ඒ මට කළුතර දිස්ත්‍රික්කයෙන් මනාප පන්දාහක් පමණක් ලබා දී පරාජය කිරීමෙන් නො වෙයි. දිනේෂ් ගුණවර්ධන බොරළුගොඩ ද අවට ප්‍රදේශ ද අයත් වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීමෙන්. අදටත් ඒ පරාජයේ දෝංකාර ඇසෙනවා.
එහෙත්
මෙරට ජාතිකත්වය දේශපාලන පක්‍ෂවල ව්‍යාපෘතියක් නොවන නිසා චන්ද්‍රිකාටවත්
ජී එල් පීරිස්ටවත් පැකේජයක් සම්මත කර ගන්න බැරි වුණා. මහින්ද කරළියට පැමිණියා. ජ වි පෙ මහින්දට වැඩ කළා. එහෙත් ඒ සමස්ත ජ වි පෙරමුණ ම නොවෙයි. සෝමවංස අමරසිංහ විමල් වීරවංස ඇතුළු කණ්ඩායමක්. අනෙක් පිරිසට එදා පක්‍ෂයේ එතරම් බලයක් තිබුණේ නැහැ. ඒ පිරිසට වාම ගතියක්වත් ජාතිකත්වයක්වත්
තිබුණේ නැහැ. ඔවුන් කිසියම් ආකාරයකින් අසුගණන්වල ඊනියා විප්ලවයෙන් පසු දිවි ගලවාගත් පිරිසක්.
ඒ පිරිස කෙමෙන් බලවත් වුණාට වඩා කෙරුණා. 2009 කොටි පරාජය කිරීමේ මෙහෙයුම් තිබිය දී එවර අයවැය පරදවා මෙහෙයුම් හා ආණ්ඩුව පරාජය කිරීමේ සැලසුමක් ඒ පිරිසට තිබුණා. ඒ අවස්ථාවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් හා මා ජ වි පෙ මූලස්ථානයට ගොස් සෝමවංස අමරසිංහ හමු වී අයවැය සම්මත කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කළා. ඒ නිසා හරි වෙනත් කරුණක් නිසා හරි අයවැයත් යුද මෙහෙයුමුත් ජයග්‍රහණය කළා.
පසු
කලෙක විමල් වීරවංසත් සෝමවංස අමරසිංහත් පක්‍ෂයෙන් අස් වුණා. එහෙමත් නැත්නම් අස්වෙන තැනට කරුණු යෙදුණා. එදා සිට ජ වි පෙ සිංහල බෞද්ධ විරෝධී විජාතික පක්‍ෂයක්. එය දැන් බුද්ධිමතීත් සමග ජාතික ජන බලවේගය වෙලා. මෙටාවෙ සිංහල බෞද්ධ විරෝධීන් ජාතික ජන බලවේගයට ආධාර කරන්නේ එබැවිනුයි.
එහෙත් තවමත් ජාතික ජන බලවේගය වාම හැව ඇරලා නැහැ. ඊනියා වාම දේශපාලනයක් නැති වුවත් ජා ජ බලවේගයට වාම හැව තියෙනවා. මෝදිදාසගේ දිල්ලි සංචාරයෙන් පසු යථා කාලයේ දී ඒ හැවත් ගලවා දමනවා.