Main Logo

Thursday 1 February 2024

කැලණි මොටා හා ක්‍රිකට් නාටක

 

කැලණි මොටා හා  ක්‍රිකට් නාටක

 

කැලණිය මොටාවෙ පසුගිය දා රංගනයක් දැක ගන්න හැකි වුණා. එවැන්නක් නොවූවත් එයට නොදෙවෙනි රංගනයක් ආසියානු ක්‍රිකට් සම්මේලනයේ දී දකින්න පුළුවන් වුණා. රටට රංගන දැක ගැනීමට අවශ්‍ය මොහොතක් නොවුණත් රංගන ගැන නොලියා සිටීම රංගන ශිල්පීන්ට කරන මදි පුංචිකමක්.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවලා හුඟක් කල්. ඒත් එයට නිවහනක් තිබුණේ නැහැ. විවිධ තැන්වල කුලියට ගත් ගොඩනැගිලිවල තමයි ආයතනය පවත්වා ගෙන ගියේ. අවුරූදු තිහකටත් එහා එය තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුඩා ගොඩනැගිල්ලක. එකල එහි අධ්‍යක්‍ෂ වූයේ මහාචාර්ය ජෝතිය ධීරසේකර. එතුමා ගවේෂකයන් සමගත් සම්බන්ධ වී හිටියා. ගවේෂකයන් කිහිප දෙනකු ආයතනයෙන් පශ්චාත් උපාධි ලබගත් බව මට මතකයි. ධීරසේකර මහතා පසුව පැවිදි වුණා.

 

දැන් ආයතනයට විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් ලැබිල තියෙනවා. එහි වැඩ පටන් ගත්තේ රනිල් යහපාලන ආණ්ඩුවේ අගමැති වෙලා හිටිය කාලෙ කියනවා. එය විවෘත කිරීමට රනිල් ජනාධිපති ලෙස පහුගිය දා කැලණි මොටාවට ගිහින්. මහා ශිෂ්‍ය සංගමය නමින් හඳුන්වාගනු ලබන එහෙත් කිසිම මහා ගුණයක් නැති මොටා ශිෂ්‍ය සංගමය රනිල් එනවට විරුද්ධ කලින් දවස් දෙකක උද්ඝෝෂණයක් පැවැත්වූවා. පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගෙන හිටියා. අප ප්‍රවෘත්ති ප්‍රචාරවලින් දුටුවා හමුදුරුවරුන්  සිසුවියන් ගේට්ටුව උඩින් පරිපාලන ගොඩනැගිල්ලට යන මනස්කාන්ත දර්ශන.

 

මා හිතුවා ඔවුන් උයා පිහගෙන කාල රනිල්ට පැත්ත පළාතෙ මොටා බිමට ඇතුල් වෙන්න ඉඩ දෙන එකක් නැහැ කියලා. රනිල් ඕවට මුහුණ දෙන්නත් දන්නවා. ගෝඨාභය නම් උද්ඝෝෂණය කර ගන්න කියල පැත්තකට වේවි. රනිල් එහෙම නො වෙයි. ඔහු උද්ඝෝෂකයන් හමුදාව පොලීසිය දාල පිට කරනවා.

 

ඒත් එහෙම දෙයක් වුණේ නැහැ. සිසුසිසුවියන් නාගන්න හිටියෙ නැහැ. පොලීසිය හමුදාව එන්න ඉස්සෙල්ලා ඔවුන් පිට වෙන්න තීරණයක් අරගෙන. ආණ්ඩුවට වතුර බවුසර ගණනාවක් ඉතිරි වුණා. රනිල් මොටාවට ආවා. හිටිය හැමෝට බුදුදහම කියා දුන්නා. මා හිතුවා පාලියෙන් කතා කරාවි කියා. සුපුරුදු පරිදි තායිලන්තය ගැන කිවුවා. ඉංගිරිසියෙන් පොත් ලියන එකේ වැදගත්කම කිවුවා.

 

මෙන්න රනිල් ගියා විතරයි. ඊනියා මහා ශිෂ්‍ය සංගමය මහා උද්ඝෝෂණයක් පැවැත්තුවා. ආයෙත් එහෙම එන්න එපා කිවුවා. ආවොත් බලා ගන්න පුළුවන් කිවුවා. මට මතක්  වුණේ ගම්වල සමහර චන්ඩි. ඔවුන් ගමට කවුරු හරි එන බව දැන ගත්තොත් එන්න දෙන්නෙ නැහැ කියනවා. පුළුවන් නම් එන්න කියනවා. ඒත් අමුත්තා එන වෙලාවට චන්ඩි නැහැ. ඇවිත් ගියාට පස්සෙ නැවත සරම උස්සා ගෙන කැගහනවා. උගෙ හොඳ වෙලාවට මං හිටියෙ නැත්තෙ. හිටිය නම් මොකෙන් මොක වෙයි දන්නෙ නැහැ. ආයෙත් ආවොත් බලා ගන්න පුළුවන්. චන්ඩියාගෙ පස්සෙන් යන එවුන් හුරේ දානවා විසිල් ගහනවා. වැඩ කෝටියයි.

 

අපි ඊළඟ නෑමට සූදානම් වෙමු. ඊනියා මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවන්නෙ ජෙප්පන්   සෙප්පන්ද කියා මා දන්නෙ නැහැ. දැන ගන්න වුවමනාවකුත් නැහැ. දෙගොල්ලන් එකයි. ඔය කොයි කවුරුත් බටහිරයන්ගෙ පරගලයෙදි ආතල්ගම හිටියෙ රනිල් එක්ක. දැන් ඔවුන් රනිල් එක්ක නාට්‍ය සංදර්ශන පවත්වනවා. අපි කාට බය. අපිට කවුද බය. නාට්‍ය පිටපත කාගෙ ? තිර රචනය අධ්‍යක්‍ෂණය කාගෙ ?

 

ක්‍රිකට් කතාව ඊට හපන්. අද ක්‍රිකට් පාලනය කරන්නෙ ඉන්දියාව. ආසියාවෙ ක්‍රිකට් රැල්ලක් ඇති වෙලා. ටික කලකට ඉහත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාව තහනම් කළා. ආණ්ඩුව ක්‍රිකට් පරිපාලනයට මැදිහත් වෙනවා කියල. ක්‍රිකට් ආයතනයෙ දූෂිතයන් ඉන්නවා නම් හොයන එක අදාළ ඇමතිගෙ වගකීම. එහෙම හොයන්න එපා කියලයි ක්‍රිකට් කවුන්සිලය කිවුවෙ. රනිල් මේ නාටක දෙකේ ඉන්නවා. රනිල් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අස් කළා. රණසිංහ දැන් දේශපාලන සංධානයක් හදන්න යනවා. අලුත් ඇමති හරින් ප්‍රනාන්දු දක්‍ෂයෙක්. දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාවෙ ක්‍රිකට් තහනම අයින් කරලා. අතර ෂම්මි කපුර් නැහැ නැහැ ෂම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙ  සභාපති ධුරයට ජාගෙ නම යෝජනා කරලා. යෝජනාව එක හඬින් සම්මත කරලා.

 

මෙවර හොඳ අධ්‍යක්‍ෂණය හොඳ නළුවා සහාය නළුවා තිර රචනය ආදිය කවුරුන් වේවි ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳ නිළිය කවුද? අර ගේට්ටුවෙන් හොඳට පැන්නෙ කවුද? නැහැ නැහැ කඩුලු හතක් පැන්න අය නො වෙයි.