ඕල්කට්තුමා ගැන තවදුරටත්
මෙරට බෞද්ධ පුනර්ජීවනයට හේතුව වූයේ ඉංගිරිසි ක්‍රිස්තියානි (ඇංග්ලිකන්) හා මෙතෝදිස්ත සභා බුදුදහමට හා සසුනට එරෙහි ව කළ අපහාස උපහාස නින්දා ආදිය. ඒ සභා දෙක ම එංගලන්තයේ ඇති වූ සභා. ඔවුන්ට මෙරට ඉංගිරිසි පාලකයන්ගේ සහාය ලැබීම අරුමයක් නො වෙයි. මෙතෝදිස්ත සභාව තමයි ලංකාවේ පළමු ක්‍රිස්තියානි පාසල බිහි කෙළේ. ඒ 1814 දී පිහිටු වූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහල. රාජකීය විදුහල හිල් ස්ට්‍රීට් පාසල නමින් පිහිටුවන ලද්දේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාව මගින් 1835 දී. එය පසුව කොළඹ ඇකඩමිය වී පසුව රජයේ විදුහලක් බවට පත්වුණා. රජය කියන්නේ ඉංගිරිසි ආණ්ඩුකාරයාගේ රජය එය සිංහල බෞද්ධ රජයක් නො වෙයි. ඇතැමුන් නම් හිතන්නේ එය ඊනියා ඓහික (secular) පාසලක් කියා. මෑතක දී නව විදුහල්පතිවරයා වැඩ භාර ගැනීමේ දී බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කිරීම ගැන ආදි ශිෂ්‍ය සංගමයෙන් විශාල උද්ඝෝෂණයක් පවත්වා තියෙනවා. එහෙත් පාසල් ගීය මට නම් ඇහෙන්නේ ක්‍රිස්තියානි ගීතයක් ලෙස. ලංකාවේ කිසිම ඓහික පාසලක් නැහැ. සියළු පාසල් ක්‍රිස්තියානි/කතෝලික පාසල්.
කෙසේ නමුත්
මෙතෝදිස්ත හා ඇංග්ලිකන් සභාවලට විරුද්ධ ව භික්‍ෂූන් වහන්සේ නැගී හිටියා. පංච මහා වාද එහි ප්‍රතිථලය. එයට දායකත්වය සැපයුවේ ඉංගිරිසි ආර්ථිකය නිසා ම ධනවත් බවට පත් වූ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධ යන නම එදා ව්‍යවහාර වුණේ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. මෙහි දී මතක් කළ යුතු ප්‍රධාන ම කරුණ ඒ වාදවල නායකත්වය ගත්තේ භික්‍ෂුන් වහන්සේ වීමයි. ගිහියන් දායකත්වය සැපයුවා පමණයි.
පාණදුරා වාදයේ ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමාත් බ්ලැවට්ස්කි මැතිණියත් මෙරටට ආවා. ඔවුන් බෞද්ධයන් නො වෙයි. බ්ලැවට්ස්කි මැතිණිය රුසියන් කාන්තාවක්. ඇය භූතවේදය දැනගත් පිළිගත් අයෙක්. ඕල්කට්තුමා පරම විඥනාර්ථවාදී ඇමරිකානුවෙක්. ඒ දෙදෙනා ම ඉන්දියාවේ කලක් වැඩ කිරීමෙන් පසුවයි ලංකාවට පැමිණියේ. ඒ සංයෝගය ලෝකයේ අවසන් ඇමරිකන් රුසියන් සංයෝගය ද කියා මා දන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් ඔවුන් බුදුසසුනට ඉන්දියාවේ දී කළ සේවය කුමක් ද? ඔවුන් වැඩ කළ පළාත්වල බුදුසසුන නගා හිටීුවුමට කළ වැඩක් වේ ද? ඉන්දියාවේ බුදුසසුන වෙනුවෙන් මෑත කාලයේ දී සේවයක් කළ ප්‍රධාන තැනැත්තා අනගාරික ධර්මපාලතුමා. ඉන් පසුව අම්බෙඩ්කාර් මහතා.
ඕල්කට්තුමා ලංකාවට පැමිණ පන්සිල් ගෙන බෞද්ධයකු වූ බව කියනවා. එහෙත් එතුමා කිසි දා තම පරම විඥානාර්ථවාදය අත්හැරියේ නැහැ. එතුමා පිහිටු වූ ඊනියා බෞද්ධ පරම විඥානාර්ථ සමාගම බෞද්ධ ද? බෞද්ධයන්ට පරම විඥානාර්ථවාදීන්
විය හැකි ද? ඕල්කට්තුමා පැමිණීමට පෙර මෙරට බෞද්ධ පාසල් පාණදුරේ හික්කඩුව වැනි ප්‍රදේශවල තිබුණා. මා පළමුවෙන් ඉගෙන ගත් පාණදුරේ වෑකඩ බෞද්ධාලෝක පාසලත් ඉන් එක් පාසලක්. ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පසුවයි මෙරට ඉංගිරිසි බෞද්ධ පාසල් ඇති වුණේ. ඒ 1886 දී ආනන්ද විදුහල පිහිටුවීමත් සමග. පසුව ධර්මරාජ මලියදේව මහින්ද මියුසියස් වැනි පාසල් ඇති වුණා. ඊටත් පසුව විශාඛා විදුහල ඇති වුණා. මේ පාසල් මෙන් ම වෑකඩ පාසල වැනි පාසල් ද පසුව ඊනියා බෞද්ධ පරම විඥානාර්ථ සමාගම මගින් පාලනය වුණේ. මා කුඩා කල පිටකොටුවේ පවත්වාගෙන ගිය එකී සමාගමේ කාර්යාලයට තාත්තා සමග ගිහින් තියෙනවා. එය අද මා දකින්නේ පරිපාලන ආයතනයක් ලෙස පමණයි. එදත් එහි බෞද්ධකමක් දැක්කේ නැහැ.
ආනන්ද
විදුහලේ ප්‍රථම විදුහල්පති වූයේ එංගලන්තයෙන් ආනයනය කළ ලෙඩ්බීටර්. ඔහු බෞද්ධයකු නො වේ. පසු කලෙක ඔහු ඕස්ත්‍රේලියාවේ
සිඩ්නි නුවර ක්‍රිස්තියානි පූජකයකු වශයෙන් කටයුතු කර තියෙනවා. රාජකීය විදුහල එංගලන්තයේ ඊට්න් විදුහල අනුකරණය කළා. මෙරට අනෙක් පාසල් හැකි ප්‍රමාණයෙන් රාජකීය විදුහල අනුකරණය කළා. මා මෙසේ කියනවාට බෞද්ධ පාසල්වල ඉගෙන ගත් අය කැමති වෙන එකක් නැහැ. එහෙත් ඒ පාසල් බෞද්ධ ආලේපයක් රැගත් විවිධ මට්ටම්වල රාජකීය විදුහල් පමණයි. හොඳ ම උදාහරණය තමයි ජපුර මොටාව. එය පාසලක් නොවන බව මා දන්නවා. එහි අධ්‍යාපනයේ ඇති බෞද්ධකමක් නැහැ. බෞද්ධකම ඇත්තේ පාරට පේන්න බිත්තියේ ආලේප කර ඇති බෞද්ධ කොඩියේ පමණයි. මේ කොඩිය ගැනත් පසුව වචනයක් කියන්න ඕන.
ඕල්කට්තුමා පැමිණියේ නැත්නම් කුමක් වීමට තිබුණි ද යන්න වැඩකට නැති ප්‍රශ්නයක්. එහෙත් එතුමා පැමිණීම නිසා බුදුසසුන පසුබා තියෙන බව නම් කියන්න පුළුවන්. ඊනියා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ නායකත්වය එදත් පසුවත් තිබුණේ ගිහියන් අතර. තරුණ බෞද්ධ සංගමය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි ආයතනවලත් නායකයන් ගිහියන්. බෞද්ධ මහා සම්මේලනය නම් අද භික්‍ෂුන් වහන්සේ නායකත්වයේ තබා ගෙන කටයුතු කිරීමට සූදානම් වීම යහපත් ලක්‍ෂණයක්.
අද
භික්‍ෂුන් වහන්සේ හුදෙක් අටපිරීකර පූජා කිරීමට පාංශුකුලය පිළිගැන්වීමට බණ කීමට හා සිල් සමාදන් කරවීමට වැඩ ඉන්න පිරිසක් පමණක් බවට පත් කෙරී තියෙනවා. උන්වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් වන්නේ ද? එසේ නොවන්නේ ඇයි? එකල අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා භික්‍ෂුන් වහන්සේගේ මැදිහත් වීම ඉතා ඉහළ තැනක තිබුණා. අද බුදුදහම සම්බන්ධයෙන් වුණත් මූලික ව කරුණු කියන්නේ ගිහියන්. අවාසනාවකට මහාචාර්ය භික්‍ෂූන් වහන්සේ ගිහි මහාචාර්යවරුන් අනුගමනය කරනවා. අද බැරි වෙලාවත් පාණදුරා වාදයක් තිබුණොත් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?
ඕල්කට්තුමා සිංහල බෞද්ධකමක් ගැන කතා කෙළේ නැහැ. එතුමාට අවශ්‍ය වුණේ ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ඇති කරන්න, අදත් මෙරටත් බෞද්ධයන් ඇතැමකු සිංහල බෞද්ධයන් යැයි කීම බුදුදහමට එකඟ නැහැ කියනවා. ඔය ශාක්‍යසිංහ වගේ යෙදුම් බුදුදහමට එකඟ ද කියා අප ඔවුන්ගෙන් අහනවා. ගුණානන්ද හිමියන් කිසිසේත් ඕල්කට්තුමා නිසා බිහී වූ භික්‍ෂූන් වහන්සේ නමක් නො වෙයි. ධර්මපාලතුමා ගැන සමහර විට එවැන්නක් කියන්න පුළුවන්. එහෙත් එතුමාට තම මවගෙන් විශාල බලපෑමක් සිදු වී ඇති බව පැහැදිලියි.
කෙසේ
වෙතත් ගුණානන්ද හිමියන් හා ධර්මපාලතුමා ඕල්කට්තුමා කවුදැයි පසුව දැන ගන්න ඇති. සිංහල බෞද්ධයා පත්තරේ ම ඕල්කට්තුමාට විරුද්ධ ව ඇති කළ එකක්. ජාත්‍යන්තර බෞද්ධයන් (ඕල්කට් බෞද්ධයන්) වෙනුවට සිංහල බෞද්ධයන් ඇති කිරීමයි ධර්මපාලතුමාට අවශ්‍ය වුණේ. අදත් අප කළ යුත්තේ සිංහල බෞද්ධකම වර්ධනය කිරීමයි.
අර
බෞද්ධ කොඩිය ගැනත් වචනයක් කියන්න ඕන. එය ලිඳමුලගේ පරම්පරාවේ තීරු කොඩිය අනුව ඕල්කට්තුමා හා පිරිස සකසා ගත්තක්. එතුමාට එ කොඩිය දී ඇත්තේ ලිඳමුලගේ පරම්පරාවේ කාන්තාවක්. ඒ තීරු කොඩිය මට තේරෙන විධියට ලිඳමුලගේ පරම්පරාව යුරෝපයෙන් ගත්තක්. අපේ පන්සල්වල තීරු කොඩි නැහැ. අපට පන්සල් ආශ්‍රයෙන් බෞද්ධ කොඩියක් නිර්මාණය කර ගැනීමට නොහැකී වීම ගැන මා සිංහල බෞද්ධයකු ලෙසත් ලිඳමුලගේ පරම්පරාවේ අයකු ලෙසත් කණගාටුවෙනවා. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ලිඳමුලගේ පරම්පරාවේ කොඩියයී.